අල්ලන සෙල්ලම

860

රටක හොරකම් නතර කළ විට එම රට දියුණු වන්නේ යැයි ජනකාන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් වෙමින් ඇතැයි උග්‍ර ජාතිකවාදී (ජාතිවාදී නොවේ) දේශපාලනඥයකු වන 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කර තිබේ. චම්පික ජාතිකවාදියකු යැයි අප කියන්නේ අපගේ තක්සේරුවට අනුව ය. තමා සම්බන්ධයෙන් වෙනත් තක්සේරුවක් චම්පික රණවකට තිබේ නම් අපි ආරවුලක් ඇති නොවන පරිදි අපේ අදහස අයින් කර ගන්නෙමු. හොරකම් පිළිබඳව ඔහු කතාකර ඇත්තේ ගුවන්විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි. හොරු අල්ලා රට දියුණු කරන්නේ යැයි දියත් කරන බොරුවලට නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටී. එසේම හොරු අල්ලා 60 වසරක් ගත වුවද තවමත් දිග පෝලිම් සහිත දුප්පත් රටක් බව හෙතෙම පෙන්වා දෙයි. මෙහිදී අපි කුඩා කාරණයක් එකතු කරමු. උග්‍ර, විප්ලවීය, ජාත්‍යන්තරවාදී ගරිල්ලකු වූ චේ ගෙවාරා උපන්නේ ආර්ජන්ටිනාවේ ය. ඔහුගේ මාක්ස්වාදී සෙවනැල්ල අදටත් ආර්ජන්ටිනාව පුරා වැටී තිබේ. එහෙත් ආර්ජන්ටිනාව අදටත් දූෂිත රාජ්‍ය පාලකයන්ගෙන් සහ පල් හොරුන්ගෙන් ගහන රටකි. අප මේ කියන්නේ ගෙවල් බිඳින හොරුන් ගැන නොව රාජ්‍ය භාණ්ඩාගාරය බිඳින හොරුන් ගැනය. එසේම රාජ්‍යතන්ත්‍රයේ සූරාකෑමට සහ සොරකම්වලට විශාල පහරක් එල්ල කර මාක්ස්වාදයේ නාමයෙන් සාර් රජ පෙළපත පන්නා වී. අයි. ලෙනින් බිහි කළ එක්සත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව අවුරුදු 10 ක් තුළ නැවත වතාවක් හොර ගුහාවක් බවට පත්විය. සාර්ගේ කාලයේදී රුසියාවෙන් හොරකම් කළේ සාර්ගේ කට්ටිය පමණි. එහෙත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව තුළ සිටි රාජ්‍ය නිලධාරීහු උඩ සිට පහළටම හොරා කෑහ. එසේම රාජ්‍ය දේපල අපහරණය කළහ. හොරකම යනු පෘතග්ජන ගතියකි. ආණ්ඩුවේ සල්ලි හොරකම් කර ඒ සල්ලිවලින් නැව් මිලට ගෙන ශ්‍රී ලංකාවට අයත් මුහුදේ මසුන් ඇල්ලීමෙහි යෙදෙන එකා ‘හොරා’ ය. එසේම කුඩු ගැහීමට සල්ලි නැතිව ගේකට පැන ගෑස් සිලින්ඩරයක් හොරකම් කරගෙන දිව යන එකා ද හොරාය. හොරකම වෙනස් වන්නේ ප්‍රමාණය මත මිස චේතනාව මත නොවේ. මේ ලෝකයේ ජීවත්වන අයගෙන් 99% ක්ම ස්වකීය ජීවිතයේ කිසියම් වූ අවස්ථාවක අවම වශයෙන් සීනි ඇටයක් හෝ හොරාගෙන ඇත. හොරු අල්ලා දඬුවම් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. එහෙත් එසේ දඬුවම් කළැයි හොරකම නවතින්නේ නැත. එය පෘතග්ජන ස්වභාවයයි. ආණ්ඩුවක් විසින් කළ යුත්තේ හොරා කෑමට ඇති මාර්ග නැවැත්වීම පමණි. හොරකමට ජනයා පොළඹවන සාධක ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ ඕනෑ තරම් තිබේ. කිසියම් ආණ්ඩුවක් කළ යුත්තේ හොරාකන පාරවල් වැසීම ය. එවිට හොරකම පාලනය කළ හැකිය.

කිසියම් රටක ගමනාගමන ඇමැති තවත් රටකින් බස් 500 ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වන ටෙන්ඩරයක් අනුමත කළේ යයි කියමු. එවිට බස් සාදන රටේ කොම්පැනියෙන් 10% ක කොමිස් එකක් ඇමැතිට ලැබේ. එම කොම්පැනිය එම කොමිස් එක ගෙවන්නේ බස්වලිනි. එනම් බස් 50 ක් නොමිලේම ඇමැතිගේ account එකට යයි. මේ බස් 50 තම මව් රටට ගෙනවිත් නෝන්ඩි වීමට අකැමැති ඇමැතිතුමා ඒවා ඒ රටේදීම විකුණා මුදල් විදේශ බැංකුවක තැන්පත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය තුළදී දේශපාලනඥයකු වීමට බොහෝදෙනකු කැමති වන්නේ මෙකී පෙළඹවීම නිසාය. හැබැයි රාජ්‍ය දේපල සොරාකන එකාට විරුද්ධව දැඩි නීති රීති තිබුණොත් සොරා කෑ එකා අල්ලාගෙන දඬුවම් කළ හැකිය. එසේ කියා සොරකම නවතී යැයි ඔබ සිතන්නේද? ඊළඟ අවස්ථාවේදී සොරා කල්පනා කරන්නේ වඩාත් තීක්ෂණ ලෙස හොරකම් කරන විදිහය ය. එහිදී පෙර සැලසුම මාරු කරන සොරා ඒ සඳහා අලුත්ම සැලසුමක් ඉදිරිපත් කරයි. චීනයේ ධනවාදී පාලකයකු වූ චියැන් කායිෂෙක් චීනය පාලනය කළ යුගයේදී ඒ රට හොර ගුහාවකි. ඉන්පසු මාඕ සේතුං කොමියුනිස්ට්කාරයකු ලෙස චීනයේ බලය අල්ලා ගැනීමත් සමගම රට එහෙම පිටින්ම අනෙක් පැත්තට පෙරළී සොරකම් නැති අවංක නිලධාරීන් සිටින රාජ්‍යයක් බවට පත්වෙයි. මේ තත්ත්වය අවුරුදු කිහිපයකට වඩා පැවතුනේ නැත. මාඕ සේතුංගේ ගෝලයෝ ආණ්ඩුවට සම්පත් සපයන ගොවි ජනතාවගෙන්ද, වෙළෙඳුන්ගෙන්ද පගා ගසන්නට පටන් ගත්හ. එවිට ගොවීහු අඩු අස්වැන්නක් ද වෙළෙන්දෝ අඩු ආදායමක් ද රජයට පෙන්වන්නට පටන් ගත්හ. ඒ අනුව එය රාජ්‍ය දේපල කොල්ලකෑමක් විය. මෙවැනි චෞර රාජ්‍ය නිලධාරීන් හසු වූ විට තාප්පවලට හේත්තු කර එක පෙළට තබා වෙඩි තබා මරන ලදි. එහෙත් චීනයේ හොරකම් අඩුවීද? කිසිසේත්ම නැත. එක හොරු පේළියකට වෙඩි තබා මරණ විට තවත් සොරු පේළියක් සොරකමෙහි යමින් වෙඩි කා මියයෑමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළහ. මේ අනුව සොරකම නවත්වන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරිපිටදී මුළුමහත් ලෝකයම නිරුත්තර වී සිටී. ලෝක විනාශයකින් පමණක් සොරකම් නැවැත්විය හැක.

හොරු ඇල්ලීමේ ජනකාන්ත කතාව ඡන්ද කාලයට බෙහෙවින් වැදගත් වෙයි. සිංහල අවුරුදු කාලයට හාල් පිටි මිල, පොල් පැණි මිල, පොල් තෙල් මිල සහ දර මිල ගැන සිංහල අවුරුදු කාරයෝ හොල්සේල් කතා කරති. සිංහල අවුරුද්දෙන් පසු රතිඥ්ඥා හඬ වියැකී යන්නටත් පළමුව කැවුම් සෑදීම ගැන කී කතා අතුරුදන්ව යයි. සොරු ඇල්ලීමේ කතාව මේ රටේ දේශපාලන වේදිකාවේ ප්‍රමුඛත්වයක් ගත්තේ යහපාලන ආණ්ඩුවේ ආරම්භයත් සමගය. එහෙත් අදටත් අල්ලපු හොරෙකුත් නැත. ඔය කියන විදිහට හොරු අල්ලන්ටත් බැරිය. එබැවින් එය සමාන වන්නේ අප පුංචි කාලයේදී කල අල්ලන සෙල්ලමටය. අල්ලන සෙල්ලමේදී සැඟවී සිටින එකා ස්ථිර වශයෙන්ම අසුවේ. එසේ සැඟවුණු එකාට එරෙහිව ගත හැකි නෛතික ප්‍රතිපාදන ගැන සෙල්ලමේ කොතැනකවත් සඳහනක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment