අල්ලස් කොමිසමට උසාවියෙන් දෝස්මුරයක්: නඩු 11 ක් ඊයෙත් අස්කරගෙන

437

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිතෙන හිතෙන විට නඩු පැවරීමට හා ඉල්ලා අස්කර ගැනීම නිසා අගතියට පත් පාර්ශ්වවලට සිදුවන හානියට වගකියනුයේ කවුදැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (21 දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විමසා සිටියේය.

උපසභාපති තනතුරක් ඇති කර ලංකා ගමනාගමන මණ්ඩලයට සිය හිතවතකු පත් කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවට හා තවත් සැකකරුවන් පිරිසකට එරෙහිව පවරා තිබූ තවත් නඩු 11ක් ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිෂන් සභාව දැනුම් දුන් අවස්ථාවේදී ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එලෙස විමසා සිටියේය.

කුමාර වෙල්ගම මහතාගේ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට සැකකාර පාර්ශ්වයෙන් ලිඛිත ඉල්ලීමක් කර නොමැති නිසා එම නඩුව ඉල්ලා අස්කර ගැනීමක් සිදුනොකරන බව සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එහිදී අධිකරණයට කීවේය.

විත්තියේ ඉල්ලීමක් නොමැති අවස්ථාවලදී පවා තමා අධිකරණය පවරා තිබූ නඩු අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව තම අධිකරණයට පෙනී ගොස් ඇති බවත් එහිදී විවෘත අධිකරණය හමුවේදී පැවසූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා සෑම නඩු කටයුත්තකදීම අල්ලස් කොමිෂන් සභාව කි‍්‍රයා කරනුයේ ඒ ආකාරයෙන් දැයි විමසා සිටියේය.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු 50කට ආසන්න ප‍්‍රමාණයක් ගෙවුණු දෙවසරක පමණ කාලයේදී ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment