අල්ලාගත් සීනි මෙටි‍්‍රක් ටොන් 29000ක් රජයට පවරා ගනී – මුතුරාජවෙල මෙටි‍්‍රක්ටොන් 6100ක ගබඩාවකටත් මුද්‍රාතබයි

132

* සීනි සහ සහල්වලට අද සිට මිල පාලනයක්

ලියාපදිංචි නොකළ ගබඩාවල සඟවා තිබී නීතියේ රැහැනට කොටුකර ගත් සියලූ ආනයනික සීනි තොග ඊයේ (1 දා) අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මැදිහත්ව රජයට පවරා ගැනීමෙන් පසු පාරිභෝගික ජනතාවට අලෙවි කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් සතොස හා සමුපකාර වෙළෙඳ සල් හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මෙලෙස පවරා ගත් සීනි සතොස, සමුපකාර හා සුපිරි වෙළෙඳ සල් හරහා පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ලබා දෙන බවත්, ඒ අනුව වෙළෙඳ පොළේ පවතින සීනි හිඟය මගහැරී යනු ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම සීනි සහ සහල් සඳහා අද (2 දා) සිට මිල පාලනයක් හඳුන්වා දෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

වෙළෙඳ පොළේ කෘතීම සීනි හිඟයක් මවාපාමින් මිල ඉහළ දැමීමට කූඨ ව්‍යාපාරිකයින් ආනයනය කරන ලද සීනි තොග නීති විරෝධීව සඟවා ඇති බවට ලද පැමිණිලි ඔස්සේ කරන ලද වැටලීම්වලදී වත්තල, කිරිබත්ගොඩ, මුතුරාජවෙල යන ප‍්‍රදේශවල ස්ථාන කිහිපයක ගබඩාවල සඟවා තිබී මෙටි‍්‍රක් ටොන් 25,000කට ආසන්න සීනි තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගැනුණි.

කූඨ ව්‍යාපාරිකයින්ගේ අක‍්‍රමිකතා වැළැක්වීමට ජනාධිපතිවරයා විසින් සඳුදා මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළව හදිසි නීති රෙගුලාසි ප‍්‍රකාශයට පත්කරමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් පත්කෙරුණු මේජර් ජෙනරල් එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා භාරයට ගැනුණු මෙම සීනි තොගය පාරිභෝගික සේවා අධිකාරය හරහා සතොස හා සමුපකාර, සුපිරි වෙළෙඳ සල් මගින් කඩිනමින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට අලෙවි කෙරෙනු ඇත.

මේ අතර මුතුරාජවෙල ප‍්‍රදේශයේ නීති විරෝධීව ගබඩා කර තිබූ තවත් සීනි මෙටි‍්‍රක් ටොන් 6100ක් තිබූ ගබඩාවකට ඊයේ මුද්‍රා තබා ඇති පාරිභෝගික අධිකාරිය එම සීනි තොගය ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා භාරයට පත්කොට ඇත.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment