අලිමංකඩ 13ක් වැහිලා…අලි විතරක් නොවෙයි මිනිස්සුත් නන්නත්තාර වෙලා

220

අද වන විට ශ්‍රී ලංකාවේ රජය මුහුණදී සිටින බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටලුව බවට පත්ව ඇත්තේ අලි – මිනිස් ගැටුමය. එවැනි මොහොතක විෂය භාර අමාත්‍යවරයා අලිමංකඩවල් යළි ස්ථාපිත කිරීම පසුගියදා අමුතු උනන්දුවකින් කතා කරන අයුරු දුටුවෙමු. ඔහු එස් කියන්නේ දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ හමස්පෙට්ටියේ දමා තිබූ ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැසුම’ ක්‍රියාවට නැන්වීම අධීක්ෂණය සහ ඊට පහසුකම් සැපයීම සඳහා ආචාර්ය සුමිත් පිලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තීරණය කළ උණුසුමේය. මෙරට අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ඉතිහාසයේ තීරණාත්මක සංසිද්ධියක් ලෙස හැඳින්විය හැකි එම ක්‍රියාවලිය අලිමංකවල් ඇති කිරීමේ වෙනත් ව්‍යාපෘති පැමිණ අඩපණ වේ නම් එය ඉදිරි පරම්පරාවට වන බරපතල ව්‍යසනයකි.

මන්දයත් පසුගිය වසර පහක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 558 ක් මිනිස්-අලි ගැටුම හේතුවෙන් රටට අහිමි වී ඇති අතර එම ප්‍රමාණය වසරකට 112 ක් පමණ වේ. මෙම වසරේ ගතවුණු කාලසීමාව තුළ ද මිනිස් ජීවිත 115 ක් රටට අහිමි කිරීමට මිනිස්-අලි ගැටුම හේතුවී ඇත. මෙරට ඉතිහාසය තුළ අලි – මිනිස් ගැටුම හේතුවෙන් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වන්නේ ඉකුත් 2021 වසරේ ය. එම සංඛ්‍යාව 142 කි. 1992-2001 කාලසීමාව සමග සැසඳීමේදී මිනිස්-අලි ගැටුම හේතුවෙන් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව මේ වන විට 50% කින් වර්ධනය වී ඇති අතර 2005-2010 කාලසීමාව සමග සැසඳීමේදී 14% ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. මිනිස්-අලි ගැටුම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන්නන්ගෙන් වැඩිම පිරිසක් පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් අවරුදු 51 – 60 ත් අතර පසුවූවන් වේ. තවද වැඩිම කාන්තාවන් පිරිසක් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 61 – 70 වයස් කාණ්ඩයේය.

අදාළ කාලසීමාව තුළ අලි ඇතුන් 1683 ක් මරණයට පත්වී ඇති අතර එම ප්‍රමාණය වසරකට 337 කි. වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ පිරිමි අලින් ය. 1992-2001 කාලසීමාව සමග සැසඳීමේදී අලි – මිනිස් ගැටුම හේතුවෙන් සිදු වූ හස්ති මරණ සංඛ්‍යාව මේ වන විට 92% කින් පමණ වර්ධනය වී ඇති අතර 2005-2010 කාලසීමාව සමග සැසඳීමේදී 31% කින් වර්ධනයවී ඇත. මිනිස්-අලි ගැටුම හේතුවෙන් වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් රටට අහිමි වී ඇත්තේ 2019 වසරේය. එම සංඛ්‍යාව 405 කි. මෙම වසරේ ගතවුණු කාලසීමාව තුළ ද අලි ඇතුන් 375 ක් රටට අහිමි වී තිබේ. ලොව අලි -මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් මිය යන රටත් දෙවැනි වැඩිම මිනිස් මරණ වාර්තා වන රටත් ශ්‍රී ලංකාවයි.

මෙවැනි පසුබිමක 2020 ජූලි 22 දින ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත්කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කෙළේය. අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම කමිටුවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පරිපාලන නිලධාරීන් රැසක් ඇතුළත් විය. ඔවුන් විසින් සකස් කෙරුණු සැලැස්ම 2020 දෙසැම්බර් 17 දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා වන තුන්කල් දක්නා සාධනීය, ප්‍රායෝගික, යථාර්ථවාදී සහ සමෝධානිත වැඩපිළිවෙළක් එමගින් යෝජනා කර ඇති බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත. නමුත් මේ දක්වා දෙවසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් සැලැස්ම හමස් පෙට්ටියේ සඟවාගෙන වගකිවයුත්තෝ මෙරට අලි-මිනිස් ගැටුම තවදුරටත් අවුළුවමින් සිටින බව කනගාටුවෙන් නමුත් සඳහන් කළ යුතුය. අලි-මිනිස් ගැටුම අවම කරගැනීමට ඉතා යෝග්‍ය සැලැස්මක් මෙසේ සඟවා තබාගෙන ගතවන දිනයක් දිනයක් පාසා ජීවිත සහ දේපොළ රැසක් රටට අහිමි කරමින්, ජන ජීවිත කබලෙන් ලිපට ඇද දමමින් අදාළ බලධාරීන් මේ ඉටුකරන්නේ කාගේ අවශ්‍යතාවයන් ද යන්න උභතෝකෝටිකයක්. එහි වන්දිය වශයෙන් දිනකට එක අලියෙකුට සහ සතියකට මිනිසුන් දෙදෙනකුට ජීවිත අහිමිවීම ඉතා ශෝචනීය තත්ත්වයකි.

පසුගිය දශක කිහිපය විමසා බැලීමෙන් පෙනී යන්නේ මෙරට අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා වෙන් කරන මහජන මුදල් මකර කටට යවමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නැංවූ කිසිදු වැඩපිළිවෙළකින් ගැටුමට විසඳුම් ලැබී නොමැති බවය. ඒ සඳහා විවිධ අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම, අනවසර ඉඩම් අල්ලාගැනීම් සහ නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම් හේතුවී ඇති සැබෑය.

ඊට හේතුව අන් කිසිවක් නොව බලධාරීන් දිගින් දිගටම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ මෙවලම් සම්බන්ධයෙන් විශ්වාසය තැබීමය. මෙම ගැටුම අවම කිරීම සඳහා පුළුල්ව භාවිතා වන මෙවලම වන්නේ විදුලි වැටය. නමුත් එය අසාර්ථක වීමට හේතුව අලි ඇතුන්ගේ වාසභූමිය සහ සංවර්ධිත ප්‍රදේශය අතර මායිමේ සවි නොකර රක්ෂිත ප්‍රදේශ සීමා කිරීමට යොදා ගැනීම, නියමිත ගුණාත්මයෙන් තොරව ඉදිකිරීම සහ නඩත්තුවක් නොමැතිකමය. එම අසාර්ථක පන්නයේ විදුලි වැටවල් කිලෝමීටර් 4500 ක් පමණ දැනට රට පුරා ඉදිකර තිබේ. පසුගිය 2010-2019 කාලසීමාව තුළ වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267 ක් පමණ (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කර ඇති අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින්ද දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකි වී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පෙන්වා දී තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුතින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළ යුතු බවය. දෛවයේ සරදමකට මෙන් මෙම විගණන වාර්තාවේ පිටු වැස්මේ ඡායාරූපයක පෙනී සිටින කල්ලඩි දළ කොටා නම් ඇත් රාජයාත් පසුගිය කාලයේ කුසගින්නේ අකාලයේ මිය ගියේය. නමුත් මේ පිළිබඳව වගේ වගක් නොමැතිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජන මුදල් මෙන්ම ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයත් කාබාසීනියා කරමින් අලුතින් එළිමහන් අලි සිර කඳවුරක් ඉදිකරමින් සිටියි. බලධාරීන් මෙවැනි අසාර්ථක ක්‍රමවේද තවදුරටත් වැළඳගෙන සිටින්නේ අලි-මිනිස් ගැටුම අවම කරගැනීමට ද නොඑසේනම් අලි-මිනිස් ජීවිත තවත් බොර කරමින් වළ ඉහ ගැනීමට ද යන්න සොයා බැලිය යුතුය.

‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ ක්‍රියාවට නැන්වීම අධීක්ෂණය සහ ඊට පහසුකම් සැපයීම සඳහා ආචාර්ය සුමිත් පිලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ මෙවන් පසුබිමකය. 1959 වසරේදී ‘වනජීවී ආරක්ෂණ කමිටුව’ පත් කිරීමෙන් පසු විද්වත් කමිටුවක් පත්කර ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් කමිටුවේ සභාපති හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ වනජීවී පර්යේෂක ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සඳහන් කළේ මූලික වශයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක පාදක කරගනිමින් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට තමා අපේක්ෂා කරන බවය. ඒ සඳහා අදාළ කමිටුවට අලි -මිනිස් ගැටුමට අදාළ ක්ෂේත්‍රවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළත් වන බවත් ඔවුන් සමග සාමූහිකත්වයෙන් මෙම නිරන්තර අරගලය අවම කිරීමට සක්‍රියව මැදිහත්වීමට තමන් කැපවෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

තවද මෙම කමිටුවේද සාමාජිකත්වය දරණ, ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා පත්කළ ජනාධිපති කමිටුවේ හිටපු සභාපති සහ අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ අදාළ ඇල්මැති පාර්ශවවල සම්පූර්ණ සහයෝගය ලැබුණුහොත් ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ තෝරාගත් දිස්ත්‍රික්කවල අලි – මිනිස් ගැටුම් කැපී පෙනෙන මට්ටමකින් අඩු කිරීමට මෙම ප්‍රයත්නය හරහා හැකියාව ලැබෙනු ඇති බවය.

දැනට විශාල වශයෙන් අලි -මිනිස් ගැටුම් බලපවත්නා, එමෙන්ම විවිධ අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් සහ නීති විරෝධී ඉඩම් අත්පත්කරගැනීම බොහෝ සෙයින් සිදුවන අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අලි – මිනිස් ගැටුම් අවම කරගැනීමේ අවසන් බලාපොරොත්තුව මෙය විය හැකිය. එබැවින් නිලධාරීන් සහ බලධාරීන් මෙන්ම ප්‍රදේශයේ මහජනතාව ද මේ අවසන් අවස්ථාව හෝ මග නොහැරගනු ඇතැයි අප උදක්ම අපේක්ෂා කරමු!

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment