අලි එන කැලේ මැද ලෙදර් බෝල් ක්‍රිකට්… උතුරුමැද එකම කාන්තා ලෙදර් බෝල් ක‍්‍රිකට් කණ්ඩායම

231

පිට්ටනියේ වැලි ගොඩක්

පහසුකම් කිසිවක් නෑ

ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගෙන

හෙට දවසේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජය කෙහෙලි නංවන්නට පෙරුම් පුරමින් පෙරමඟ බලා සිටිනා දිරිය සම්පන්න දරුවන් පිරිසක් සිටින පාසලකට ගොඩවදින්නට පසුගියදා අපට අවස්ථාව ලැබිණි. ඒ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් ඇලහැර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි අතිදුෂ්කර පාසලක් වන ජයසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයයි. එය පිහිටා ඇත්තේ ඇලහැර මහ ගොවි ජනපදයට අයත් ගම්මාන රැසකට මැදිවය.

ගිරිතලේ බකමූණ ප‍්‍රධාන මාර්ගයේ ගිරිතලේ මංසන්ධියේ සිට බකමූණ දෙසට කිලෝ මීටර් 20ක් පමණ ගියපසු හමුවන අත්තනකඩවලින් දකුණට හැරී කිලෝ මීටර් 08ක් පමණ දුරගෙවූ විට එම පාසල හමුවේ තිබේ. තවත් විදියෙකින් කිවහොත් පාසල පිහිටා ඇත්තේ අඹන්ගඟට ආසන්නයේ සුදුකන්ද පාමුලට වන්නටය.

ජයසිරිපුර කණ්ෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් 188ක් පමණ ඉගෙනුම ලබන අතර පළමු වැනි ශ්‍රේණිය සිට 11වෙනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. අපමණ දුෂ්කරතා මැද අකුරු කරනා දරුවන් සිටින මෙම පාසලේ විශේෂත්වය වනුයේ ක‍්‍රීඩා කුසලතාවයන්ගෙන් හෙබි සිසු දරු දැරියන් රැසක් මේ වනවිට බිහිව තිබීමය. ඒ අතුරින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සහ පාපන්දු ක‍්‍රීඩාවේ හපන්කම් දක්වන සිසු සිසුවියන්ද වන බව අපට දැනගන්නට ලැබිණි.

මේ පාසලේ විශේෂත්වය වනුයේ උතුරු මැද පළාතේ පිහිටි පාසල් අතුරින් වයස අවුරුදු 19න් පහළ ලෙදර් බෝල් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් තිබෙන එකම පාසල මෙය වීමය. ඒ දරුවන් දැනට පුහණුවීම් කරන්නේ කිසිදු පහසුකමක් නැති වැසි දිනවල මඩ වගුරක් බවට පත්වන අඩුපාඩුකම් අඩුවක් නැති ක‍්‍රීඩා පිටියකය. එහි එක් කොටසක් වන වදුලකට මායිම්ව තිබෙන අතර පන්දුවට පහර දෙන ක‍්‍රීඩකයන් එල්ල කරන වේගවත් පිති ප‍්‍රහාරවලදී පන්දුව ඇදීයන්නේ පෙරකී වන ලැහැබටය. ඉගෙනුමේ මෙන්ම ක‍්‍රීඩාවේද හපනුන් වන ඒ දරුවන් අපට කීවේ ක‍්‍රීඩා පිටිය සකස්කර දුන්නොත් ඕනෑම මට්ටමක තරග දිනන්නට තමන්ට හැකියාව තිබෙන බවය.

දැනට මේ දරුවන් පාසල් ක‍්‍රීඩා පිටියේ පවතින නොයෙකුත් අඩුපාඩුකම් නිසා පාසල් වේලාවන් බැහැරව සහ සති අන්ත නිවාඩු දිනවලදී ක‍්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා බකමූණ නගරයට ආසන්යේ පිහිටි මහවැලි ක‍්‍රීඩාංගණය වෙත යන බවද කියති. ඒ සඳහා කිලෝ මීටර් 15ක පමණ දුරක් ගෙවා යායුතු වන අතර ඇතැම් දිනවල දරුවන් පා ගමනින්ද එහි යන බව අපට දැනගන්නට ලැබිණි. තම පාසලේ දරුවන්ගේ ක‍්‍රීඩා කුසලතා ඉහළ නැංවීමට පවතින ප‍්‍රධාන බාධක අතුරින් මූලිකම ගැටලූව අංග සම්පූර්ණ ක‍්‍රීඩා පිටියක් නොමැතිකම බව පුහුණුකරුවන ජානක වික‍්‍රමසිංහ මහතා අප සමඟ පැවැසීය.

අලි එන කැලේ මැද ලෙදර් බෝල් ක්‍රිකට්… උතුරුමැද එකම කාන්තා ලෙදර් බෝල් ක‍්‍රිකට් කණ්ඩායම

මේ වසරේ (2021) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ලැබ පළමු වතාවට වයස අවුරුදු 19න් පහළ පාසල් කාන්තා තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් පමණක් නොව උතුරු මැද පළාතෙන්ම උදාකර ගැනීමට හැකියාව ලැබුනේ මේ දුෂ්කර පාසලේ ක‍්‍රීඩිකාවන්ට පමණක් වීම සැබැවින්ම සුවිශේෂී කාරණයෙකි. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන මේ ක‍්‍රීඩිකාවන් සියලූම දෙනා දැනට පසුවන්නේ වයස අවුරුදු 13ත් 15ත් අතර වයස්වල බව ඔවුනගේ පුහුණකරු වන ජයසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ ක‍්‍රීඩා විෂය භාර ආචාර්ය ජානක වික‍්‍රමසිංහ මහතා අප සමඟ කීය. එම තරගාවලිය නියෝජනය කරන ලද්දේ දිවයිනේ පාසල් 12ක් පමණක් බවද ඒ මහතා කීය. එහිදී සුවිශේෂී දක්ෂතා දක්වන ලද ක‍්‍රීඩිකාවන් තිස් දෙදෙනකු අතරට එක්වන්නට ජයසිරිපුර කණිෂ්ඨයේ 08 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජී. ඩබ්ලිව්. ජී. සුභන්යා නිෂාදී රත්නායක සිසුවිය සමත්ව තිබේ. එය සැබැවින්ම විදුහල් මාතාව ලද සුවිශේෂී ජයග‍්‍රහණයක් මෙන්ම අනාගත ක‍්‍රිකට් කී‍්‍රඩාව සඳහා රජරට බිමෙන් කාන්තා නියෝජනයක් ලබාදෙන ප‍්‍රථම අවස්ථාවක් ලෙසද මෙය හැඳින්විය හැකි බවයි පුහුණුකරුවන වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ.

එම ක‍්‍රීඩිකාව සුභන්යා නිෂාදී රත්නායක ක‍්‍රීඩිකාව අප සමඟ පැවැසුවේද තම අනාගත බලාපොරොත්තුව අධ්‍යාපනයෙන් ඉහළට යෑමට මෙන්ම ශ‍්‍රී ලංකා ජාතික කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම බවයි.

‘‘උතුරු මැද පළාතෙන්ම වයස අවුරුදු 19න් පහළ එකම පාසල් කාන්තා ලෙදර් බෝල් ක‍්‍රිකට් කණ්ඩායම තිබෙන්නේ අපේ පාසලේ. මේ ක‍්‍රිකට් කණ්ඩායම මේ වසරේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලියාපදිංචි වුණා. ඒ වගේම වයස අවුරුදු 19න් පහළ පාසල් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාවත් කණ්ඩායමට ලැබුණා. එහිදී පාසල් 12ක කණ්ඩායම් තරග වැදුණා. ඒ පාසල් බොහොමයක් දිවයිනේ ‘ජනප‍්‍රිය පාසල්’ ඈත දුෂ්කර ප‍්‍රදේශයක පාසල් කණ්ඩායම නියෝජනය කළේ අපේ දරුවෝ විතරයි. අපේ දරුවෝ පුහුණුවීම් කටයුතු කරන්නේ හරිම දුෂ්කරතා මැද්දේ. ප‍්‍රධාන වශයෙන්ම දැනට තිබෙන මේ ක‍්‍රීඩා පිටිය ප‍්‍රමාණවත් නෑ. වේගවත් පිති ප‍්‍රහාරවලදී පන්දුව රැකගන්න බැරි වුණොත් බොහෝවිට නවතින්නේ කැලෑවේ. වැසිදාට ක‍්‍රීඩා පිටිය මඩ වගුරක්. ඒ දවස්වලට පුහුණුවීම් කටයුතු කරන්න බෑ. අඩුම තරමින් ව්‍යායාම කටයුතුවත් කරන්න බෑ. ක‍්‍රීඩා පිටියේ පවතින අඩුපාඩුකම් නිසා පුහුණුවීම්වලදී දරුවෝ බිම ඇද වැටිලා අනතුරුවලට ලක්වුණු අවස්ථාත් තිබෙනවා. ඒ නිසා දැනට අපේ දරුවෝ ක‍්‍රීඩා පුහුණුවීම් කටයුතු, ව්‍යායාම කරන්නේ මේ පාසලේ පන්ති කාමර ගොඩනැඟිල්ලක. අපිට මේ ක‍්‍රීඩා පිටිය මූලික අඩුපාඩුකම් සම්පූර්ණ කරලා අවශ්‍ය පරිදි සකස් කරලා දුන්නොත් ලොකු උපකාරයක්. මූලිකම අවශ්‍යතාවය වෙන්නේ ක‍්‍රීඩා පිටිය ඉඩකඩ මදිකම. ඒක තව ටිකක් පළල් වෙන්න ඕන. අනෙක් අඩුපාඩුව ක‍්‍රීඩාගාරයක් නොමැතිකම. අනෙක ක‍්‍රිකට් පුහුණුවීම් සඳහා පැති විකට් ඉදිකරදීම. මේ මූලික අඩුපාඩුකම් සම්පූර්ණ කරලා දුන්නොත් අපේ දරුවෝ අනාගතයේදී ඔවුන්ගේ ක‍්‍රීඩා හපන්කම් හැබෑ ලෙසටම පෙන්නාවි. එහෙම වුණොත් මේ දරුවන්ට ක‍්‍රීඩා ෙක්‍ෂත‍්‍රයේ බොහෝ දුරක් සාර්ථකව යන්න පුළුවන්වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ දරුවෝ නිතරම කියන්නේ ඒ අඩුපාඩුව සකස් කරලා දෙන්න කියලයි. කැලෑවල ඉන්න අලි ගම්වදින සිදුවීම් මේ මහවැලි ගම්මානවල නිතරම සිද්ධ වෙනවා. එහෙම රාත‍්‍රී කාලයට වගේම දවල් කාලයට කඩාවදින අලි ගම්මානවලට යන්නේ මේ ක‍්‍රීඩා පිටිය මැද්දෙන්. ඒ වගේ අනාරක්ෂිත තත්ත්වයකුත් තිබෙනවා. එම නිසා පාසල් වත්ත වඩා ආරක්ෂක විදුලි වැටක් ඉදිකරලා දුන්නොත් ඒක දරුවන්ගේ ආරක්ෂාවට ලොකු රුකුලක්.’’ යැයිද වික‍්‍රමසිංහ ගුරුතුමා කීය.

ක‍්‍රීඩා ඉසව්වලින් හපන්කම් පෙන්වන කාරණයේදී මෙම පාසලේ දරුවන් මුහුණපා සිටින ප‍්‍රධාන ගැටලූව වන ක‍්‍රීඩා පිටිය දැනට තිබෙන ප‍්‍රමාණයට වඩා තරමක් පුළුල් කර ගැනීම මූලික කාර්යක් බව අපටද හැඟීගිය කරුණයකි. ඒ බව පාසලේ ගුරු සිසු දෙපිරිසම අපට පෙන්වා දුන්හ. ඊට අමතරව ක‍්‍රීඩාගාරය ඉදිකර ගැනීම සහ පැති විකට්ටු සකස් කිරීම සපුරාගතයුතු අනෙක් අඩුපාඩුකම් බවද ඔවුහු සඳහන් කළහ.

අලි එන කැලේ මැද ලෙදර් බෝල් ක්‍රිකට්… උතුරුමැද එකම කාන්තා ලෙදර් බෝල් ක‍්‍රිකට් කණ්ඩායම

විද්‍යාලයේ විදුහල්පති යූ.ජී. සරත් ගුණසිංහ මහතා ප‍්‍රකාශ කළේ තමන් මේ පාසලේ සේවයට පැමිණ වසර 04ක් පමණ වන බවත් ඒ කාලසීමාව තුළ අවස්ථා ගණනාවක්ම මේ ක‍්‍රීඩා පිටිය සම්බන්‍ධයෙන් පවතින අඩුපාඩු සකස්කර දෙන ලෙස ඉල්ලීම් කර ඇති බවද කීය. තම පාසලේ බොහෝ දරුවන් ඉගෙනුමට මෙන්ම විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලදී විශිෂ්ඨ දස්කම් දක්වන පිරිසක් සිටින බව පැවැසීය. ඒ අතර ක‍්‍රීඩාවටද බොහෝ දක්ෂ දරුවන් සිටිතැයි කී විදුහල්පතිවරයා ඔවුනගේ එම හැකියාවන් දියුණුකර ගැනීම ප‍්‍රධාන බාධකයක්ව පවතින්නේ අංග සම්පූර්ණ ක‍්‍රීඩා පිටියක් නොමැතිකම බවද පැවැසීය.

රජරට බිමෙන් බිහිවූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මීට පෙර ජාතික මට්ටමේ පමණක් නොව ජාත්‍යන්තර කෙලිබිමේද විවිධ ක‍්‍රීඩා ඉසව්වලින් විශිෂ්ඨ ලෙස හපන්කම් දක්වා අප රටට ඉමහත් කීර්තියක් ගෙනදී ඇති බැව් අපි දනිමු. ජයසිරිපුර කණ්ෂ්ඨ විද්‍යාලයේ ක‍්‍රීඩා පුහුණුකරු ජානක වික‍්‍රමසිංහ මහතා පවසන පරිදි එම පාසලේ දරුවන් අතරේද අධ්‍යාපනයට මෙන්ම ක‍්‍රීඩාවටද මහත්සේ දස්කම් දක්වන පිරිසක් සිටිති. ඔවුනගේ එම හැකියාවන් කුසලතාවයන් ඔපදමා ඉහළට ඔසවා තබන්නට මූලික බාධකයක්වී ඇත්තේ ඔවුනට ක‍්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා සුදුසු ක‍්‍රීඩා පිටියක් නොමැතිවීමය. පාසල සතුව දැනට ක‍්‍රීඩා පිටියක් තිබෙන නමුත් එහි පවතින අඩුපාඩුකම් රැසක් නිසා ක‍්‍රීඩා කටයුතුවලට අදාළ පුහුණුවීම් සහ ව්‍යායාම ආදිය කළ නොහැකි බව පාසලේ ක‍්‍රීඩා කටයුතු පිලිබඳ ආචාර්යවරයා පෙන්වා දෙයි. ක‍්‍රීඩාපිටිය වැසි දිනවලදී මඩවගුරක් බවට පත්ව තිබෙන අයුරු අපගේද දෑස් අබිමුව දිස්විය. නිසි පරිදි සකස්කර නොමැති ක‍්‍රීඩා පිටියේ ඇද වැටී ළමුන් අනතුරට පත්වූ ගණනාවක් ඇතැයි ඒ ක‍්‍රීඩා ගුරුවරයා අප හමුවේ පැවැසූ තවත් කරුණකි. නිරතුරුම පාහේ වන අලි ගම්වදින සිදුවීම් සුලබ ඇලහැර මහ ගොවි ජනපදයේ මේ පාසල අවට ගම්මානවලටද අලි හිරිහැර නොඅඩු බව ගම්මුන් අප සමඟ පැවැසූහ. රාත‍්‍රී කාලයේ මෙන්ම ඇතැම් විට දහවලද ගම්මාන වෙත පිවිසෙන්නට කැලෑවල සිටින අලි එන්නේ පාසල් ක‍්‍රීඩා පිටිය ඔස්සේ බවද දැනගන්නට ලැබිණි. එහෙයින් මේ දරුවන් එහි ක‍්‍රීඩා පුහුණුවීම් කටයුතු කරනුයේ තවත් බරපතළ බිහිසුණු අවධානමක්ද හිසමත දරාගෙන බව අපට පැහැදිලිවූ කාරණයෙකි.

උතුරු මැද පළාත තුළ පිහිටි රජයේ පාසල්වල බොහෝ අඩුපාඩුකම් පවතින බව ඉතා ප‍්‍රකට කාරණයෙකි. ඒ අද ඊයේ නොව දැනට බෙහෝ කාලයක පටන්ය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය විෂයන්වලට පවා ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිකමින් බොහෝ පාසල්වල ගුරු සිසු දෙපිරිසම පීඩා විඳිති. පන්ති කාමර පහසුකම්, ගොඩනැඟිලි, ඩෙස්පුටු ආදී භෞතික සම්පත් නොමැතිකමද දරුවන්ගේ ඉගෙනුමට බලවත් බාධකයක්ව පවතී. ඇතැම් විට මේවා මෙලෙස පවතිනුයේ නොවිසඳෙන ප‍්‍රශ්න ලෙසිනි. මේ ආකාරයට රජරට පාසල් දරුවන් අත්විඳින දුෂ්කරතා අපමණ වුවද මේ පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ පටන් පහළම මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආයතනය වන පළාත් පාලන ආයතනය දක්වා ඉතා විශාල පිරිසක් සිටින බැව් අපි දනිමු. මොවුන්ගේ සුඛ විහරණය නඩත්තුව සඳහා අති විශාල මහජන මුදල් කන්දරාවක් වියදම් කරන බවද ප‍්‍රකට කාරණයෙකි. ප‍්‍රදේශයේ දුෂ්කර පාසලක දීර්ඝ කාලයක් තිස්සේ පවතින මූලික අඩුපාඩුවක් සකසා දෙන්නට නොහැකිවීම පිළිබඳව මේ මහජන නියෝජිත රොත්ත බුරුත්තේ වැඩිදෙනා ලජ්ජාවට පත්වියුතු බවට කිසිදු විවාදයෙක් නොමැත. රටේ සංවර්ධනයේ නාමයෙන් හරසුන් දේට මහජන මුදල් රුපියල් ලක්‍ෂ කෝටි ගණනින් වැය කෙරෙනු බොහෝවිට දක්නට ලැබේ.

රජරට බිමේ ඇලහැර පිහිටි අති දුෂ්කර පාසලක්වන ජයසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ද අප ඉහතින් සඳහන් කළ පාසල්වල පවතින අඩුපාඩුකම් නොඅඩුව අත්විඳින බව එහි ගිය ගමනේදී අපට දැනගත හැකිවිය. එවන් බොහෝ දුෂ්කරතාද විඳ ගනිමින් අකුරු කරන ඒ දරුවන් අතරේ ක‍්‍රීඩා හපනුන්ද රැසක් සිටීම විදුහල් මාතාව ලද භාග්‍යයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. උතුරු මැද පළාතේ වයස අවුරුදු 19න් පහළ එකම කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම මේ පාසලේ වීම ඊට කදිම නිදසුනකි. මේ වනවිට ඒ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ද ලබා තිබීම ඔවුන් ලද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස හැඳින්විය හැක. එමගින් 19න් පහළ මේ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් කිහිප දෙනකු ලෝක කුසලාන සංචිතයේ පුහුණුවීම් ලබන්නටද සුදුසුකම් ලබා තිබෙනු අසන්නට ලැබීම පවා සොම්නස දනවන කාරණයෙකි. එසේ වුවද මේ දරුවන්ට තම ක‍්‍රීඩා කටයුතුවල නිසි ලෙස පුහුණුවීම් කරන්නට, එහි නියැළෙන්නට පාසලේ ක‍්‍රීඩා පිටිය මේ දැනට පවතින තත්ත්වයෙන් පැවැතීම බලවත් බාධකයක් බැව් ඔවුහු යළි යළිත් පෙන්වා දෙති. ඒ අභියෝගය ජයග‍්‍රහණය කරවිය හැක්කේ මේ අහිංසක දරුවන්ට නොව සමාජයේ වගකිවයුතු පුරවැසියන්ටය. ඒ සඳහා මැදිහත් වන්නැයි ඇති හැකි අයට අපි විවෘත ආරාධනයක් කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමු.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment