අලි කොරිඩෝවට යාබද සංගීතයේ ශබ්දවාහිනී රාත්‍රි 10 සිට උදේ 6.00 තෙක් තහනම්

507

හබරණ අලි කොරිඩෝවට යාබදව පෙබරවාරි 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිත Deep jungle music and cultural festival ප්‍රසංගයට එරෙහිව පරිසරවේදීන් විසින් ඊයේ (17) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් උසාවියේ ගොනුකළ නඩුකරයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවට සහ පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයට වලංගු වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතු බවටත් හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාතවරයා විසින් ඊයේ (17) නියෝගයක් නිකුත් කරන ලදී. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පහත සඳහන් නියෝග ද පොලිසිය හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට මහෙස්ත්‍රාතවරයා කටයුතු කළේය.

Deep jungle music and cultural festival ප්‍රසංගය ඉහත පොලිස් චක්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් පොලිසියට නියෝග නිකුත් කරන ලදි.

ඒ සමගම ඉහත කී Deep jungle music and cultural festival යන සංගීත ප්‍රසංගය එම ප්‍රසංගය පවත්නා පරිශ්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදි.

2031/2007 පොලිස්පති චක්‍රලේඛය උල්ලංඝනය වීමක් මෙහිදී සිදුකළහොත් එකිනෙහිම අදාළ ශබ්ද උපකරණ අත්අඩංගුවට ගෙන 2031/2007 චක්‍රලේඛයෙන් දැක්වෙන පරිදි කටයුතු කරන ලෙස හබරණ පොලීසියට කොන්දේසි සහිත ආඥාවක් ද මහෙස්ත්‍රාතවරයා විසින් නිකුත් කරන ලදි.

නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා මෙනෙවිය පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය හා පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මෙම නඩුව ගොනු කිරීමට දායක විය.

ජගත් කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment