අලි ප්‍රශ්නයට විසදුම් නැහැ… හම්බන්තොට ගොවියෝ අයෙත් පාරට

179

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරලා මාස 08 වෙලත් තවම මොකුත් කරලා නෑ. ජාවාරම්කාරයෝ තවමත් අලි කැලේ බදු අරන්. වලව ගොවියෝ යළි පාරට.

හම්බන්තොට වන අලි ගැටලූවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවියෝ මේ වසර ආරම්භයේදී දැවැන්ත විරෝධතා, අඛණ්ඩ උපවාස හා මාරාන්තික උපවාසය පවා ආරම්භ කෙරුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස රජයේ මැදිහත්වීමෙන් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සිදු කෙරුණි. ඒ අනුව එදා දින 108ක් තිස්සේ පැවැති ගොවි විරෝධතාව ගොවි ජනතාව එක්ව අවසන් කෙරුණේ දහසක් බලාපොරොත්තු ඇතිවය. සිය ඉල්ලීම් වෙනුවෙන් රජය පාර්ශ්වයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබීම නිසාය. ඒ අනුව හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සිදුකෙරුණු අතර ගොවීන්ගේ සතුට දෙගුණ තෙගුණයක් බවටද පත්වීමට මේ ගැසට්ටුව හේතුවක් බවට පත්විය. ගැසට්ටුව මුද්‍රණය වීමත් සමග ගොවි ජනතාවගේ මුවඟට ආවේ පුදුම තරමේ සතුටකි. ඒ අන් කිසිවක් නිසා නොව අදින් පසුවවත් දරුමල්ලන් සමග ගොවිතැනක් බත් කරගෙනවිත් නිදහසේ වන අලි කරදරයකින් තොරව ජීවත්වීමේ අවස්ථාව තමන්ට උදාවේවි යන සිතුවිල්ල නිසාය. එදා ගොවි ජනතාව දුටු සිහිනය මාස 08ක් ගතවුවත් එය යථාර්ථයක් බවට පත්කිරීමට බලධාරීන් අපොහොසත් විය. වන අලි කරදරය වෙනදටත් වඩා උග‍්‍ර අතට හැරෙන්නට විය. ගැසට්ටුවට අදාළ නීති රෙගුලාසි නිකුත් කිරීම්ද දිනෙන් දින පස්සට ගියේය. කැලෑ පාළුවන් වන අලින් ජීවත්වෙන කැලේ අරක්ගැනීමද දිනෙන් දින ඉහළ යන්නට විය. අවසන් ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රදෙශයේ ගොවි ජනතාවට මහ දවාලේ පවා පාරක තොටක යෑමට නොහැකි තරම් වන අලි කරදර උග‍්‍ර වීමය. බලධාරීන් දුන් පොරොන්දුව ඉටු නොවීම නිසා ගොවි ජනතාවට යළි තීන්දුවක් ගැනීමට සිදුවිය. ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසුවද බලධාරීන් මාස 08ක් තිස්සේ මීට අදාළ නීති රෙගුලාසි සකස් කර වන අලින් සිටින කැලයේ සිටින ජාවාරම් කාරයන් ඉන් ඉවත් කර වන අලින්ට අයිති භූමිය ඔවුන්ට ලබාදීමට අපොහොසත් විය. මේ නිසා යළි පසුගිය 21 වන දින සිට වලව ගොවියෝ යළි පාරට බැස්සේ එදා බලධාරීන් දුන් පොරොන්දුව ඉටු නොකිරීමට විරෝධට පළකරමිනි. ඒ අනුව එදා සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ දින 108ක් තිස්සේ පැවති ගොවි විරෝධතාව හා අඛණ්ඩ සත්‍යග‍්‍රහය මෙවර හම්බන්තොට කටුවැව හන්දියේදී පසුගිය 21 දින ආරම්භ කෙරුණේ සාකච්ජා එපා. වැඬේ කර පෙන්වනකම් අපේ අරගලය නොනවත්වන බව පවසමිනි.

බලයට පත්වන සෑම රජයක්ම හම්බන්තොට පවතින මෙම වන අලි ගැටලූවට ස්ථිර විසඳුම් දෙන බවට පොරොන්දු ලබා දුන්නද ඒවා මේ වනවිටත් හුදෙක්ම පොරොන්දුවක් පමණක් බවට පත්ව තිබීම හේතුවෙන් ජනතාව කබලෙන් ළිපටම ඇද වැටෙමින් ඇති බව සත්‍යග‍්‍රයට එක්ව සිටින ගොවි ජනතාව පෙන්වා දෙයි. ගොවි ජනතාව වසර ගණනාවක් තිස්සේ බලධාරීන් පසු පස මෙම අලි මිනිස් ගැටලූවට විසඳුම් ඉල්ලා කොතෙකුත් හඬගෑවද ඒ සියල්ල බීරිඅලින්ට වීණා වයන්නාක් මෙන් වී තිබේ. මේ හේතුව නිසාම වන අලි ගැටලූවෙන් පීඩාවට පත් හම්බන්තොට සමස්ත ජනතාව වෙනුවෙන් වලව ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයන් තවත් ප‍්‍රදේශයේ ගොවි සංවිධාන 84ක ගොවි නියෝජිතයන් සමග එක්ව පාරට බැස්සේ අලියට හිමි කැලය අලියට දී ගොවි ජනතාවට නිදහසේ සිය වගා කටයුතු කරගෙන ජීවත් වීමට හැකි පරිසරයක් උදාකරදෙන ලෙසට රජයට බලකිරීමටය.

ඒ පිළිබඳව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් අයි. කේ. සමන් සුදර්ශණ මහතා මෙලෙස පැවසීය.

අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරලා දැන් මාස 08ක් වෙනවා. නමුත් තවම මේ වෙනකම් ඊට අදාළ කිසිදු නීති රෙගුලාසියක් ගැසට් කරලා නෑ. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිත මෙහෙයුම් කමිටුව කියලා එකක් හැදුවා. නමුත් ඒ කමිටුව මේ වෙනකම් කැඳවලා නෑ. වීරවිල ගුවන් හමුදා නිලධාරීන් ආවා විදුලි වැට හදන්න කියලා. නමුත් වනජීවි එකෙන් ඒ සඳහා අවශ්‍ය උපකරණ දුන්නේ නෑ. සහාය දුන්නේ නෑ මේ වැඬේ කරන්න.

ගොවි විරෝධතාව නවත්තන්න බලධාරීන් බොරුවට ඇවිත් අපිට සුදු අලියෙක් පෙන්නලා ගිය එක විතරයි වෙලා තියෙන්නේ. වන අලි ගැටලූව ගැසට් එකක් ආවා කියලා චුට්ටක්වත් අඩු වුණේ නෑ. දිනෙන් දින අලි ගැටලූව වැඩි වුණ එක විතරයි වෙලා තියෙන්නේ. අද වෙනකොට ගොවි ජනතාවට පවුල් පිටින් මේ ගෙවල් දොරවල් අතහැරලා යන්න වෙලා තියෙන්නේ. කිසිදු බලධාරියෙක් මේ වෙනකම් මේ ගැටලූව දෙස බැලූවේ නෑ. අලි කළමනාකරණ රක්ෂිතය කියලා ගැසට් කළ ප‍්‍රදේශයේ තවමත් ඉන්නේ අනවසර වගා කරුවෝ. අපි උපවාස කරන මේ මොහොත වන විටත් කැලේ අනවසරයෙන් සුද්ද කරමින් සිටිනවා. අනවසර වගා කරුවන් ඉවත් කරන්න කියලා අනවසර වගා කරුවන්ට එරෙහිව නඩු දමන්න කටයුතු කළ කොට්ඨාස කළමනාකාර වරයත් ගිරාඳුරුකෝට්ටේ මාරු කළා. ඒකෙන්ම තේරෙනවා මේ බලධාරීන්ට මේ ගැටලූව විසඳන්න ඕනි කමක් නෑ කියලා. රක්ෂිතය ලෙස ගැසට් කළ ප‍්‍රදේශයේ තවමත් ගල් කොරි ක‍්‍රියාත්මක වෙනවා. රක්ෂිතයක් ලෙස ගැසට් කළා කියලා බලධාරීන් කළේ ජනතාව නොමග යවපු එක විතරයි. කැලේ ඇතුළේ ඉන්න ජාවාරම්කාරයෝ තවමත් කිසිදු බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වෙනවා. ගමේ ඉන්න අසරණ ගොවියා ඒ නිසා වන අලි ගැටලූවෙන් පීඩාවට පත්ව තිබෙනවා. මේ නිසා තමයි අපි යළි එදා සූරියවැව වල්සපුගලින් පටන් ගත්ත ගොවි අරගලයේ දෙවෙනි අදියර හැටියට මේ හම්බන්තොට කටුවැවදී මේ අඛණ්ඩ සත්‍යග‍්‍රහය හා උපවාසය පටන් ගත්තේ. මේ වෙලාවේ අපි බලධාරීන්ට කියනවා අපි කිසිම අයුරකින් මෙවර නිලධාරීන් එක්ක සාකච්ඡාවකට යන්න සූදානම් නෑ. අපි කියන්නේ මේ අනවසර වගාකරුවන් ඉවත් කරලා ගැසට් කරපු කැලෑ කොටස වන අලින් සඳහා වෙන් කරලා දීලා මේ ජන ජීවිත සුරක්ෂිත කරන්න කියලා යැයි ඔහු පැවසීය.

එම්. ජී. තිලකරත්න මහතා – කටුවැව
ප‍්‍රාර්ථනා ගොවි සංවිධානය.

මම අඟුණුකොලපැලැස්සේ තමයි මුලින් පදිංචි වෙලා හිටියේ. එහේ ඉද්දී තමයි අපිට ඉඩම් දීලා කටුවැව පදිංචි කෙරෙව්වේ. ඒ කාලෙත් සාමාන්‍ය විදියට මෙහේ අලි කරදර තිබුණා. නමුත් අද වන විට මේ ප‍්‍රදේශයේ ජීවත්වෙන්න බැරි තරමටම වන අලි කරදර උග‍්‍රවෙලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලයි. වන අලි කරදරේ නිසා

වගාවක් කරන්න තියා ජීවත් වෙන්නවත් බැරි තත්ත්වයට පත් වෙලා. මේ වෙනකොට වන අලි තුන්දෙනෙක් මහ දවාලේ ගම් වදිනවා. දුවගන්න පුළුවන් හේනකට පිටියකට යද්දි අලියාට අහුවුණොත් දුවගන්න පුළුවන් කෙනෙක් වුණොත් දුවලා හරි ජීවිතය බේරා ගන්න පුළුවන්. බැරි කෙනෙක් වුණොත් අලියට බිලිවෙන්න තමයි වෙන්නේ. පහුගිය දවසේ බයික් එකකින් මම වගාවට යමින් සිටියදී අලියා බයික් එකට ගැහුවා. මමත් එක්ක තව එක්කෙනෙක් ගියා. අලි පහරදීමෙන් අපි දෙන්නා දෙපැත්තට විසිවෙලා ගියා. මන් අලියගේ බඩ යට හිටියේ. අලියා වැටිච්ච බයික් එකට ගහන්න යද්දී මගේ කකුලේ එක ඇ`ගිල්ලක් අලියගේ කකුලට පෑගුණා. මේ තරම් දුකක් අපි වන අලි නිසා විඳිනවා. ගැසට් එකක් ගහලා වන අලි කළමනාකරණ රක්ෂිතය නම් කෙරුණම අපි හිතුවේ දැන්වත් නිදහසේ ඉන්න පුළුවන් වේවි කියලයි. නමුත් ඉතින් ඒකත් නමට විතරක් වුණා. තවමත් අලින්ට ඉන්න තියෙන කැලේ ඉන්නේ ජාවාරම් කාරයෝ. කැලේ අලින්ට ඉන්න ඉඩක් නෑ. ඒ නිසා අපි ඉල්ලන්නේ අලින්ගේ කැලේ අලින්ට දෙන්න. ගොවියට වගා කරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදා දෙන්න කියලා විතරයි ඉල්ලන්නේ.

අජිත් මුල්ලවිතාරණගේ යූ. ඞී. 78 ගොවි සංවිධානයේ සභාපති.

මම මීට කලින් පදිංචි වෙලා හිටියේ තණමල්විල. අපි පදිංචි වෙලා හිටිය ඉඩම් අලි රක්ෂිතයක් සඳහා ගන්නවා කියලා අපිට මෙහෙන් ඉඩම් දීලා සූරියවැව පදිංචි කෙරෙව්වා. නමුත් අද අපිට මේ ගමේ ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා. මේ අලි ගැටලූව විසඳලා දෙන්න කියලා අපි රජයට බලකරමින් පසුගිය කාලේ උපවාස කළා. උද්ඝෝෂණ කළා. මාරාන්තික අපවාස කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට රජයේ නිලධාරීන් කටයුතු කළා. නමුත් ඒක නමට විතරක් වුණා. අද වෙනකම් රක්ෂිතයට අදාළ කිසිදු නීති රෙගුලාසියක් ගැසට් කරලා නෑ. අලින්ට ඉන්න තියෙන කැලේ අදටත් ඉන්නනේ ජාවාරම් කාරයෝ. අද මේ උපවාසය කරන අවස්ථාව වන විටත් අලින්ට ඉන්න තියෙන කැලේ මහාපරිමාණ වගා සඳහා සුද්ද කරමින් තිබෙනවා. ඒවාට කිසිදු නිතියක් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. අපි රජයේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ අලින්ට අයිති කැලේ අලින්ට දෙන්න කියලයි.

වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්. කේ. මහින්ද සමරවික‍්‍රම මහතා.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිබෙන වන අලි ගැටලූවට විසඳුමක් දෙන්න කියලා අපි අවස්ථා ගණනාවකදීම උද්ඝෝෂණ පෙළපාලි සංවිධානය කළා. බලධාරීන්ට ලිඛිත දැනුම්දීම් කළා. එකක්වත් වැඩක් වුණේ නෑ. බැරිම තැන අපි වලව ඒකාබද්ධ ගොවි සංවිධානය වටා එකතුවෙලා ඉන්න ගොවි සංවිධාන 84ක නියෝජිතයන් සමග එකතුවෙලා පසුගිය ජනවාරි 18 දින සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ දින 108ක අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් සිදුකළා. අවස්ථා දෙකකදී මාරාන්තික උපවාස සිදු කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය අපේ‍්‍රල 09 වන දින වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස හෙක්ටයාර 23746ක භූමියක් ගැසට් කළ බවට ගැසට් පත‍්‍රයක් පවා මුද්‍රණය කළා. ගොවි නියෝජිතයන් විසින් අඛණ්ඩ සත්‍යග‍්‍රහය අසලට පැමිණි දේශපාලන අධිකාරිය හා රජයේ නිලධාරීන් එක්ව එහිදී අපිට පොරොන්දු වුණා යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ සියලූ කටයුතු පසුගිය අගෝස්තු මස 31 දින වන විට සිදුකර අවසන් කරන බවට. නමුත් මේ වෙනකම් ඒ කිසිදු පොරොන්දුවක් ඉටු වී නෑ. වන අලි ගම් වදින එක හා ජන ජීවිත වන අලින්ගේ බිල්ලක් වීම පවා මේ වන විට දිනෙන් දින උග‍්‍ර වෙලා තියෙනවා. යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය කියලා මුද්‍රණය කළ ගැසට් එක නමට විතරක් තියෙනවා.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment