අලි බොරු කියන්නේ ධනිෂ් අලි ද? ආණ්ඩුවද?

207

අලි’ අල්ලාගත් මෙහෙයුම

මොහොමඩ් අලී යනු ලොව සුපතලව සිටි බොක්සිං ක්‍රීඩකයෙකි. වේගවත් ප්‍රහාර කීපයකින් පසුව ප්‍රතිවාදියාව මෙල්ල කිරීමට සමත් බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස ජගත් බොක්සිං ඉතිහාසයට එක්වන මොහොමඩ් අලී පිළිබඳ මෙනෙහි කරමින් මෙම සටහන ආරම්භ කරන ලද්දේ මේ දිනවල මෙරට නිතර කතාබහට ලක්වන තවත් ‘අලි’ කෙනකු පිළිබඳ සටහනක් තැබීමේ අටියෙනි.

ඔහු නමින් ධනිෂ් අලීය. මොහොමඩ් අලී මෙන් නොව ධනෂ් අලී යනු අරගලකරුවෙකි. අරගලය හේතුවෙන් බොහෝ දෙනකුගේ කතා බහට ලක්වූ පුද්ගලයෙකි. කැරලි සහිත කොණ්ඩයක් සහ හොඳින් වැඩුණ රැවුලක් සහිත අරගලකරුවකු වූ ධනිෂ් අලී පාපන්දු ක්‍රීඩාව ප්‍රිය කරන්නෙකි. ගාලු මුවදොර අරගලය ආරම්භයත් සමග තමන් ප්‍රියකරන පෞද්ගලික සිතැඟියාවන් පසෙකින් තබන ධනිෂ් අලී අරගලය හා සම්බන්ධ වන අතර එහි පෙරමුණ ගත් ක්‍රියාකාරිකයෙකි. තරමක් අවේගශීලී හා කලබලකාරී බවක් නිතර නිතර ඔහුගෙන් ප්‍රදර්ශනය වූ අතර එහි උච්චතම අවස්ථාව එළඹුණේ ඉකුත් 13 වැනිදා ය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ක්‍රියාත්මක වූ දැවැන්ත ජන අරගලයේදී එක්තරා පිරිසක් විසින් රූපවාහිනී සංස්ථාව වැටලීමට කටයුතු කළ අතර එම සිදුවීමේදී ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු පවා තාවකාලිකව නතර කරන ලදි. එහිදී අරගලකරුවන් විසින් රූපවාහිනී බලධාරීන් හුමවේ සඳහන් කර සිටියේ එතැන් සිට අරගලයට අදාළ දේ පමණක් විකාශනය කරන ලෙසත් රූපවාහිනී සංස්ථාවේ බලය ඒ ඔවුන් අත්පත් කරගෙන ඇති බවත්ය.

එම අත්පත් කර ගැනීමේ මෙහෙයුමේ මූලික වැඩකොටසක් ඉටුකළ අරගලකරුවන් අතර ධනිෂ් අලී පෙරමුණ ගත්තකු විය. රූපවාහිනී සංස්ථාවට කඩා පනින ධනිෂ් අලී ඉන් නොනැවතී එහි නිලධාරීන්ට බලපෑම් සිදුකරමින් සජීවී වැඩසටහනක් ද ඉදිරිපත් කළේය.

‘ටෙලිකාස්ට් එක නතර කරන්න. අරගලයේ ටෙලිකාස්ට් එක විතරයි යන්න ඕන. කෝ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් ලිස්ට් එක. ප්‍රෝගෑම් ලිස්ට් එක ගන්න. අපි අරගකරුවෝ එච්චරයි…’ ධනිෂ් අලී විසින් ඉදිරිපත්කරන ලද එම කෙටි වැසඩටහන එදින රටේ බොහෝ දෙනෙක් නැරඹූ වැඩසටහනක් බවට ද පත්වුණි. අරගලය තුළ ඔහු විසින් කරන ලද ක්‍රියාකාරකම් එතෙකින් නතර වන්නේ නැත.

අලි බොරු කියන්නේ ධනිෂ් අලි ද? ආණ්ඩුවද?

ඉකුත් 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උසස් නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මුණගැසීම පිණිස එම අමාත්‍යාංශයට පැමිණීමේදී එහි ගේට්ටුව අවහිර කරමින් ධනිෂ් අලී විසින් එම දෙපිරිස මුණගැසීම වළක්වාලීමේ අරමුණින් කටයුතු කරන ලදි. එමෙන්ම පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවයක් අතරතුරදී පොදු දේපළ හානි කිරීම සම්බන්ධව පොලිසිය විසින් ධනිෂ් අලීව අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණය මගින් ඔහුව ඇපමත මුදාහරින ලදි. ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රීතව ඉකුත් 12 දා විරෝධතාකරුවන් රැඳී සිටි අවස්ථාවේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්හට පහරදී ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ධනිෂ් අලී සැකකරුවකු බව පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි. මෙවැනි චෝදනා රාශියකට සම්බන්ධ ධනිෂ් අලීට විරුද්ධව පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කොට තිබුණි. ඒ අතරින් මුදල් අමාත්‍යාංශයේ ගේට්ටුව අවහිර කිරීම සම්බන්ධව ඔහුට විරුද්ධව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධව එම අධිකරණයෙන් ඔහුට විරුද්ධව වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.

ඉකුත් 26 වැනි දා මෙරට වේලාවෙන් පස්වරු 6.35ට පමණ ඩුබායි බලා ගුවන්ගත වීමට නියමිත යූ. එල්. 225 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට ධනිෂ් අලී විසින් කටයුතු කරනු ලබන්නේ එවැනි වටපිටාවකය. පොලිසිය පමණක් නොව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද ඔහු ගැන විමසිල්ලෙන් පසුවන අවස්ථාවක සිදුවන මෙම ගුවන් ගමන නිරුපද්‍රිතව නිම කරන්නට ධනිෂ් අලීට නොහැකි වන්නේ ඒ වනවිට ද නීතියේ ඇස ඔහු පසුපස ලුහුබැඳීමට ගැනීම හේතුවෙන්ය. ගුවන් ගමන් තහනමට ලක්නොවූ සාමාන්‍ය ගුවන් මගියකු ලෙස ගුවන්තොටුපොළ සියලු නිෂ්කාශන කටයුතු නිමකරන ධනිෂ් අලී ආගමන විගමන නීති රීතිවලට අනුකූලව සිය අසුන වෙත පිවිසීමෙන් අනතුරුව සිදුවන්නේ ඔහුවත් යූ.එල්. 225 ගුවන් යානයේ අසුන් ගෙන සිටි අනිකුත් ගුවන් මගීන්වත් කිසිසේත් අපේක්‍ෂා නොකළ සිදුවීමකි.

යානය ගුවන් ගතවීමට නියමිතව පැවැතියේ තවත් හෝරාවකට අඩු කාලයක්ය. වේලාව පස්වරු 5.45ට පමණ ආසන්නය. එකවරම යානයට ගොඩවන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ය. ඔවුන් එලෙස ගුවන් යානය වෙත පිවිසෙන්නේ ධනිෂ් අලී අත්අඩංගුවට ගැනීමේ අරමුණින් යුක්තවය. එම තත්ත්වයත් සමග ගුවන් යානය තුළ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. එම අවස්ථාවේදී ධනිෂ් අලී තමන්ව අත්අඩංගුවට ගැනීමට විරුද්ධව දැඩි විරෝධයක් දැක්වීමට ගැනීමත් සමග යානයේ අසුන්ගෙන සිටි ගුවන් මගීන් කීපදෙනෙක් විසින් ද එහි පැමිණි නිලධාරීන් හමුවේ ප්‍රශ්න කර සිටින්නේ ධනිෂ් අලීට විරුද්ධව විදේශ ගමන් තහනමක් හෝ වරෙන්තුවක් වේනම් එය ඉදිරිපත් කරන ලෙසත් එවැනි දෙයක් ඇත්නම් නිෂ්කාශන කටයුතු සිදුකළේ කෙසේද යන්නත් යනුවෙන්ය. ‘මේක පුද්ගලික පළිගැනීමක්. හැම කෙනාම දෙන නියෝග ඔයාල පිළිපඳින්න එපා’ යනුවෙන් ද ගුවන් මගීන් කීපදෙනෙක් උස් හඬින් ප්‍රකාශ කර ඇත. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ ධනිෂ් අලීගේ වරෙන්තුව ලබාදී තිබෙන අතර එවර ධනිෂ් අලී විසින් සඳහන් කර සිටින්නේ එය ඡායා පිටපතක් බැවින් තමන් එය භාර ගැනීමට සූදානම් නැති බවක්ය. එහිදී තවත් පොලිස් නිලධාරියකු විසින් තම අතවූ ජංගම දුරකථනයෙන් වරෙන්තුවේ මුල් පිටපතක් ධනිෂ් අලී හට දැකගැනීමට අවස්ථාව සලසා දී ඇත.

එහිදී නැවත වරක් ධනිෂ් අලී උස් හඬින් පවසා සිටින්නේ ‘ගෝඨාභය පන්නන්න ආපු අපට ඔයා ලොකු මනුස්සයෙක් නොවෙයි… අරගලය කළේ ජනතාව වෙනුවෙන්…’ යනුවෙන්ය. තවත් වරෙක පොලිසියෙන් බේරීම පිණිස එම නිලධාරීන් සමග ධනිෂ් අලී පොරබදන ලද බවට ද තොරතුරු වාර්තා විය.

ඉකුත් 26 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තෙටුපොළින් ගුවන් ගත වීමට නියමිතව පැවැති ගුවන් යානයක් තුළදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් 31 හැවිරිදි රොෂාන් ධානිෂ් අලී යනු කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මාවතගම පොලිස් බල ප්‍රදේශයේ උපත ලැබූවෙකි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති ඔහු පාසල් අවධිය තුළ ද විවිධ දේශපාලන ක්‍රියාකාරකම් ආදියට සම්බන්ධ වූවෙකි. පසුව විවාහ ජීවිතයට පිවිසෙන ධනිෂ් අලී ඉන් අනතුරු පදිංචිය පිණිස තෝරා ගනු ලබන්නේ සිය බිරිඳට අයත් දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක්ය.

දිගු කොණ්ඩයක් සහ රැවුලක් සහිතව අරගලය තුළ පෙනී සිටි ධනිෂ් අලී අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට පිළිවෙළකට කොණ්ඩය සහ රැවුල කපා ගත් පුද්ගලයෙක් බවට පත්වී ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටිය දී මාධ්‍යවේදීන් හමුවේ ධනිෂ් අලී සඳහන් කර සිටියේ සිය නිවසින් කොණ්ඩය, රැවුල කපන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් සිදුකළ බැවින් එය එසේ ඉටුකළ බවත් අද (26) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම් දීමක් සිදුකොට නැති බවත් ඉකුත් 21 දා අරගලයට ප්‍රහාරයක් එල්ල කළ බැවින් පසුදා (22 දා) අධිකරණය වෙත යෑමට තරම් සුදුසු මානසිකත්වයක් තමන්ට නොතිබූ බවත්ය.

කෙසේ වෙතත් මෙම සටහන තබන අවස්ථාව වනවිට ද අරගලය තුළින් කරළියට පැමිණි ධනිෂ් අලී පසුවන්නේ රක්‍ෂිත බන්ධනාගාර ගතවය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අරගලකරුවෙක් වූ ධනිෂ් අලී කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 05 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට ඇත.

ධනිෂ් අලී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීම රටේ ම කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත්ව ඇත. එහිදී එම ගුවන් යානය තුළ රැඳී හුන් ගුවන් මගීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත තම විරෝධය එළිපිටම දක්වන ලද ආකාරයක් දැකගත හැකි විය. ඊට අමතරව අදාළ සිදුවීම සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල සේවය කළ විමසා බැලීමේදී නීතිවේදීන් පිරිසක් අවධාරණයකර සිටියේ ගුවන් යානයක් තුළ මෙලෙස සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවකට අමතරව අධිකරණය විසින් පනවන ලද විදේශ ගමන් තහනමක් ද පැවැතිය යුතු බවය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධනිෂ් අලී පිළිබඳ විවිධ පාර්ශ්වයන් විසින් විවිධ මතවාද ඉදිරිපත් කරමින් ඇත. එවැනි තත්ත්වයන් තුළ ඉකුත් 28 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු ඇතුළු අරගලයට සම්බන්ධ විසිඑක් දෙනකු වෙත විදෙස් ගමන් තහනමක් පනවා ඇත. දමිළ ජාතික සම්භවයක් සහිත පුද්ගලයකු ලෙස ධනීෂ් අලී අරගලයට සම්බන්ධ වන්නේ කුමන අභිලාෂයකින් ද එසේත් නැත්නම් වෙනත් අරමුණක් මුදුන්පත් කරගැනීම පිණිස ඔහු විසින් අරගලය පාවිච්චි කළා ද යන්න පිළිබඳව දැකබලා ගැනීමට හැකි වන්නේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුවය.

අලි බොරු කියන්නේ ධනිෂ් අලි ද? ආණ්ඩුවද?

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment