අලි මිනිස් ගැටුම ගිය වසරේදී උච්චම තැනට

429

අලි මිනිස් ගැටුම් නිසා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම පුද්ගල සහ වල් අලි මරණ ඉකුත් වසරේ දී (2022) සිදුවූ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය.

දිවයින ඉරිදා සංග්‍රහය කළ විමසීමේදී එහි උසස් නිලධාරියකු පැවැසුවේ පසුගිය වසරේදී සිදුවූ එම

ගැටුම්වලින් පුද්ගල මරණ 145ක් සහ වල් අලි මරණ 433ක් සිදුවූ බවට වාර්තා ලැබී තිබෙන බවය.

වල් අලින්ගේ සංක්‍රමණික මාර්ග, අලි මංකඩ අනවසරයෙන් අල්ලා ගැනීම/රාජ්‍ය පෞද්ගලික විවිධ පුද්ගලයන් අලිමංකඩ සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා

ගැනීම/ගොවීන් වගාවන් සහ මිනිස් ජනාවාස සඳහා වන ඉඩම් අල්ලා ගැනීම අලි මිනිස් ගැටුම් උග්‍රවීමට බලපා තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව පැවැසීය.

2022 වසරේදී වල් අලින් පහරදීමෙන් සිදුවූ මරණවලින් 36ක් අනුරාධපුර වනජීවී කලාපයෙන් වාර්තාවී ඇත. නැගෙනහිර කලාපයෙන් පුද්ගල මරණ 32ක්, මහවැලි කලාපයෙන් පුද්ගල මරණ 26ක්, වයඹ කලාපයෙන් පුද්ගල මරණ 15ක්, දකුණු කලාපයෙන් පුද්ගල මරණ 12ක් වශයෙන් ඉහළ පුද්ගල මරණ වාර්තා වී ඇත.

ඉහළම අලි මිනිස් ගැටුම් පවතින මහවැලි වනජීවී කලාපයෙන් අලි මරණ 82ක්, නැගෙනහිර කලාපයෙන් අලි මරණ 79ක්, අනුරාධපුර කලාපයෙන් අලි මරණ 76ක්” වයඹ කලාපයෙන් අලි මරණ 49ක් සහ දකුණු කලාපයෙන් අලි මරණ 32ක් වශයෙන් ඉහළ අලි මරණ සිදුව ඇත.

සිදුවූ අලි මිනිස් ගැටුම්වලින් වෙඩි තැබීමෙන් වල් අලින් 58ක්, හක්ක පටස් නිසා 55ක්, විදුලි සර වැදීමෙන් 47ක්, අනාරක්ෂිත වගා ළිංවලට ඇද වැටීමෙන් 18ක්, දියේ ගිලීමෙන් 15ක්, දුම්රියේ ගැටීමෙන් 14ක්, වෙනත් අනතුරුවලින් 05ක්, මහා මාර්ගවලදී සිදුවූ අනතුරුවලින් 03ක්, විෂ ශරීර ගතවීමෙන් 01ක් සහ ස්වාභාවික හේතූන් නිසා 217ක් වල් අලින් මිය ගොස් ඇත.

අලි මිනිස් ගැටුම් බහුලව සිදුවූ කලාප ලෙස වයඹ මහවැලි නැගෙනහිර අනුරාධපුර සහ දකුණු වන ජීවී කලාප හඳුනාගෙන ඇත.

මාතලේ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment