අලි මිනිසුන් මරනවා මිනිස්සු පොලිසිය මරනවා

138
මියගිය සැරයන් ඒ.පී.සුනිල්

වගකිවයුත්තෝ කර අරින අලි මිනිස් ගැටුමේ කැබිතිගොල්ලෑව ඛේදවාචකය කියන කතාව…..

අලි මිනිස් ගැටුම්වල නිමාවක් නැත. අලි නිසා මිනිසුන් ද, මිනිසුන් නිසා අලි ද මියයන පුවත් සුලබ ය. පෙරහැරකට පවා අලියෙක් සොයා ගැනීමට නොහැකි තරමට අලි වඳ වී තිබෙන කලක අලි මිනිස් ගැටුමෙන් අලි මෙන්ම අසරණ මිනිසුන් ද මිය පරලොව යන්නේ විසඳුම් නැති ගැටුමක් ඉතිරි කරමිනි.

ඉකුත් 03 වැනිදා රාත්‍රියේ වන අලි ප්‍රහාරයට ලක්වූ අසරණ ගොවි මහතෙකුගේ මරණයක් නිසා පොලිස් සැරයන්වරයෙක් ද නිරපරාදේ මියගිය පුවත රට ම කළඹවා දැමූ හැටි අපි දකිමු.

අලියා පහර දුන්නේ අසරණ ගොවියෙකුට වුවත් ඒ අලි ප්‍රහාරය නිසා කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව රාජකාරි කළ අහිංසක පොලිස් සැරයන්වරයෙක් ද ජීවිතය පූජා කළේ නීතිය අතට ගත් ගම්මුන්ගේ නොසණ්ඩාල හැසිරීම නිසා ය.

වන අලි ප්‍රහාරය එල්ල වූයේ බී. ගුණසිංහ නමැති 48 හැවිරිදි ගොවි මහතෙකුට ය. තිදරු පියකු වූ හෙතෙම එතැනම මියගියේ 1990 හදිසි ගිලන් රථය එතැනට ළඟාවෙන්නටත් පෙරය. ගම්මු කලබල ඇති කරන්නට හේතුව මෑත කාලයේදී ගම්මු පස්දෙනෙක් ම මියගොස් සිටිය දී මේ මරණය සිදු වූ නිසා ය.

“අපිට අලි ගහනවා. ගොවිතැන් විනාශ කරනවා. ගෙවල් දොරවල් කඩනවා. වගකිවයුතු කිසිම දෙනෙක් අපේ දුක බලන්නෙ නෑ. අපි අන්ත දුප්පත් අසරණ මිනිස්සු” ගම්මු හඬමින් කියන්නේ ඒ ටිකය.

“ගුණසිංහට අලියෙක් ගහලා. එතැනමයි” මේ ආරංචිය ගම පුරා පැතිර ගියේ 03 වැනිදා රාත්‍රියේ ය. හුළුඅතු අතින් ගත් ගමේ තරුණ, බාල, වැඩිහිටි සියල්ලෝම එතැනට දිව ආවේ ගුණසිංහට ගමේ කොයි කවුරුත් ගරු කළ නිසාය. ආදරය කළ නිසාය. පිරිසක් හඬති. තවත් පිරිසක් බැන වදිති. තවත් පිරිසක් ඉවසාගත නොහැකි සොවින් කෑ කෝ ගසති.

මේ අල්ලපනල්ලේ මහ පාර මැද පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ අලින්ගෙන් අපි බේරපියව්! කියමිනි.

ගම්මුන්ගේ කෝලහාලය පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසියට ආරංචිය ආවේ ඔය අතරය. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමිල රත්නායක ඇතුළු පොලිසියේ පිරිස එතැනට ළඟාවූයේ පිරිස සංසුන්කර විසුරුවා හැරීමටය.

ගම්මු උද්ඝෝෂණය කළේ කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගය වසා ගනිමිනි. එම ස්ථානයට පොලිසිය පැමිණි පසු කලහකාරීන්ගේ උද්ඝෝෂණය උද්වේග තැනකට තල්ලු වී ගියේ ඇසිල්ලෙනි.

“පොලිසිය දැන්ද එන්නේ. අපිට අපේ මිනිහෙක් නැතිවුණා. කවුද ඒවට වගකියන්නේ. අපි පාරෙන් අයින් වෙන්නෙ නෑ.” පිරිස ආවේගයෙන් පොලිසිය හා ගැටෙන්නට ගත්තේ ඝෝෂා කරමිනි.

පොලිසිය බැරිම තැන අහසට වෙඩි උණ්ඩ පත්තු කළේ පොලිසියේ අවම බලය පාවිච්චියට ගනිමිනි. වෙඩි හඬ මැද ගම්මු වෙඩි කෑ ඌරන් මෙන් කලබලයට පත්වූහ. ඇතැම්හු සිතුවේ පොලිසිය ගම්මු ඉලක්ක කර වෙඩි තබන බවය. පොලිසිය දෙසට ගල්මුල් එල්ල වන්නට වූ අතර පොලිස් ස්ථානාධිපති වටකර ගන්නට පිරිසක් උත්සාහ ගෙන ඇත.

පොලිස් සැරයන් ඒ. පී. සුනිල් ඉදිරියට පැන්නේ ඒ අතරය. සැරයන් සුනිල් 54 හැවිරිදි පැසුණු පොලිස් නිලධාරියෙකි. ලබන වසරේ වයස 55 පිරී පොලිස් දෙපාර්තමේන්තුවට ආයුබෝවන් කියා විශ්‍රාම සුවයෙන් කල්ගත කිරීමට බලා සිටි අයෙකි. සැණින් පොලු පහරක් සුනිල්ගේ හිස හරහා වැදී ගියේය. සැරයන් සුනිල් කපාදැමූ කෙසෙල් කඳක් මෙන් බිම පතිත වී ගියේය. අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිස අලි මිනිස් ගැටුම පසෙකට කර පොලිසිය හා ගැටුණේ අහිංසක ජීවිතයකට තවත් අහිංසක ජීවිතයක් බිල්ලට ගනිමිනි.

ගමත් පොලිසියත් ගැටුණ පසු සැරයන් සුනිල් මහපොළොව බදාගෙන සදා නින්දකට වැටිණ. ගම සමඟ සුහද පිළිසඳරක නිරත වූ පොලිසියට කරකියා ගන්නට දෙයක් ඉතුරු වී තිබුණේ නැත. අලි ප්‍රහාරයට ලක්ව මියගිය රඹකැපුවැව, තිත්තගෝනෑව පදිංචි ගුණසිංහ ගොවි මහතා සමඟ වාරියපොළ, මල්වාන ඩයස්වත්ත පදිංචි සැරයන් ද මියගියේ අවාසනාවන්ත ලෙසිනි.

සිද්ධියෙන් පසු සැරයන්ට පහරදුන් සැකකරු සමඟ තවත් හතරදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඒ අතර ගමේ පන්සලේ හිමිනමක ද සිට ඇත.

“අපි මේ ගමත් එක්ක හරි හිතවත්. ගමේ අයට වියළි ආහාර බෙදාදෙන්න පොලිසිය කටයුතු කළා. මේ මියගිය පොලිස් සැරයන් ඉතාම අවංක නිලධාරියෙක්. ඔය සිද්ධිය වෙන වෙලාවේ සැරයන් සුනිල් රාජකාරියේ හිටියේ නෑ. උද්ඝෝෂණ කරන තැනට යන්න ඔහු ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වුණ කෙනෙක්. තරුණ පොලිස් නිලධාරීන් පමණක් නොයවා ඔහු මෙතැනට ගිය කෙනෙක්. ගමට වියළි ආහාර බෙදාදීමටත් මේ පොලිස් සැරයන්වරයාත් ගියා යැයි කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා කියා සිටී.

සැරයන්ට පහර දුන් බව කියන සැකකරු කැබිතිගොල්ලෑව, රඹකැපුවැව තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට එල්ල වී ඇත්තේ මිනීමැරුම් චෝදනාවකි. ඔහු සමඟ උද්ඝෝෂණ කළ ගම්මු දැන් ඔහුගේ රැකවරණයට නැත. රාජකාරියක නිරත පොලිස් නිලධාරියෙක් ඝාතනය කිරීම නීතිය ඉදිරියේ බරපතළ වරදකි.

දැන් අප කොයි කවුරුත් එක දෙයක් කල්පනා කළ යුතුය. ආවේගශීලීව නීතිය අතට ගැනීමට කිසිවෙකුට අයිතියක් නැත. අලියෙක් ගසා මිනිසෙක් මළ පසු ඒ පාඩුව ගැනීමට අලියා මරාදමා ඵලක් නැත. ඒ වාඩුව ගැනීමට පොලිසියට හෝ තව කෙනෙකුට පහර දී වැඩක් ඇත්තේම නැත.

අලින්ට අයත් වනබිම්වල අලිමංකඩවල මිනිසුන් පදිංචි කළ වරදක් ද මෙහි ඇත. අලි මිනිස් ගැටුමේ නිමාවක් නැත්තේ කැලෑ කපා අලිමංකඩ වසා දමා මිනිසුන් ඒවා ගම්මාන බවට පත්කළ නිසාය.

ඇත්තට ම මේ අලි – මිනිස් ගැටුමට සාර්ථක වූ විසඳුමක් අවැසිය. අහිංසක, අසරණ ගොවි ජනතාව ‘අලි’ කරදර නිසා විඳින දුක් ගැහැට අමුතුවෙන් කිව යුතු නැත. කොළඹ හතේ සිට නොව මේ ඈත පිටිසර ගම්මානවලට ගොස් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන තුරා මෙවැනි ඛේදවාචකවල නිමාවක් නොදකින බව ද සඳහන් කළ යුතුමය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment