අලි සබි්‍ර රහීම් රට ගොඩනැගීමේ අලුත්ම මඟ

1616

රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්‍රං කිලෝ තුනහමාරක් සහ රුපියල් ලක්‍ෂ 42ක් වටිනා ජංගම දුරකථන 74ක් මෙරටට හොරෙන් පන්නාගෙන ඒමට තැත් කළ පුත්තලම් දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරයකු වන අලි සබි්‍ර රහීම් රේගුවේ අත්අඩංගුවට පත්වීමත් අල්ලාගත් බඩු තොගය රාජසන්තක වීමත් රුපියල් ලක්‍ෂ 75ක දඩයක් ගෙවීමට මන්ත්‍රීතුමාට සිදුවීමත් පිළිබඳ කතාව මේ වන විට මුළු ලංකාවම දනී. මෙහිදී අපිට මතක් වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ හේවාහැට මන්ත්‍රී වූ අනුර ඩැනියල් රන් පොලු කිහිපයක් ගුවන්තොටුපළෙන් පන්නාගෙන ඒම සඳහා තැත්කොට අසුවූ පුවතයි. එය සිදුවන්නේ 1978 දීය. එකල ජනාධිපති ලෙස කටයුතු කළේ ජේ. ආර්. ජයවර්ධන ය. රන් පොලු සිද්ධිය ඉතා භයානක ලෙස දේශපාලන ලෝකය කළඹමින් ප්‍රසිද්ධියට පත්වූ අතර අනුර ඩැනියල්ට මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. 1987-1988 දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මිනීමරුවන් විසින් ඔහුට වෙඩි තබා මරන ලදි. රන් පොලු සිද්ධිය නිසා හේවාහැට පාර්ලිමේන්තු අසුන ඔහුට අහිමිවීමෙන් පසු අතුරු මැතිවරණයක් පැවැත්විණ. එහිදී අනුර ඩැනියල්ගේ සහෝදරිය වූ රීටා ශ්‍රියානි ඩැනියල් අති මහත් බහුතර ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර එම ආසනය යූඑන්පීය වෙනුවෙන් රැකදුන්නාය. අනුර ඩැනියල්ට මන්ත්‍රී ආසනය අහිමි වූයේ රත්‍රං පැන්වීමේ සිද්ධියක් නිසා බව මුළු රටම දැන සිටියේය. එහෙත් හේවාහැට ඡන්දදායකයෝ ඔහුගේ සහෝදරිය ප්‍රතික්‍ෂේප නොකළහ. ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රමිතිය ඉතා අමුතු දෙයකි. මේ දේශපාලන ප්‍රමිතිය තුළ දූෂණය යන සංකල්පයට එතරම් තැනක් නැත. දේශපාලනඥයා කොතරම් දූෂිත වුවද ඔහු ජනතාව වෙනුවෙන් යමක් කර තිබුණේ නම් ඡන්දදායකයෝ ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළහ. තුන්වැනි ලෝකයේ රටවල ජනයා (එවකට ශ්‍රී ලංකාව තුන්වැනි ලෝකයේ දිළිඳු රටකි.) ඡන්දය පාවිච්චි කරන්නේ පොදු අභිමතාර්ථයන් මත නොව පෞද්ගලික අභිලාෂ සපුරා ගැනීම පිණිසය. පුතාට රස්සාවක්, දුවට ගුරු පත්වීමක්, පවුලට ඉඩමක් කෑල්ලක් වැනි පෞද්ගලික තේමා යටතේ කටයුතු කිරීමට මේ මිනිසුන්ට සිදුවී තිබේ. ලෝකයෙන් දුප්පත්කම තුරන් කළ හැකි දවසකදී දූෂණය ද තුරන් වීමට ද ඉඩ තිබේ. හැබැයි භීෂණය එසේම පවතිනවා ඇත. එය බලය සමග බැඳුණු ප්‍රමුඛ සාධකයකි. ලෝකයේ වටිනාම දේ රත්‍රං නොවේ. ඇතැම් න්‍යෂ්ටික මූලද්‍රව්‍ය සහ දියමන්ති යනාදිය රත්‍රංවලට වඩා බෙහෙවින් මිලය. එහෙත් (Sumggling) ස්මග්ලින් ලෙස හැඳින්වෙන හොරබඩු පැන්වීමේ කර්මාන්තය තුළ වැඩිම තැනක් හිමිවන්නේ රත්‍රංවලට ය. දෙවැනි තැන හිමිවන්නේ දියමන්ති හෝ විකිරණශීලී මූලද්‍රව්‍යවලට නොව කුඩුවලටය. රත්‍රංවලට සහ කුඩුවලට ස්ථිර මාර්කට් එකක් ලෝකයේ හැදී තිබේ. එක අතකට අපේ “ගරු” පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මැතිතුමා රට තුළට කුඩු ගෙනෙන්නේ නැතිව රත්‍රං සහ ජංගම දුරකථන පන්නා ගෙන ඒම ගැන අප සතුටු විය යුතුය. කස්ටම් එකෙන් කුඩු අල්ලාගෙන රාජසන්තක කළ හැකි නමුත් ඒවා නැවත විකිණීමට නොහැක. එහෙත් රත්‍රං සහ දුරකථන නීත්‍යානුකූල වෙන්දේසියකදී අලෙවි කර මුදල් ලබාගැනීමට රජයට පුළුවන. මේ කරදරකාරී අවස්ථාවේදී අපේ මන්ත්‍රීතුමා රට ගැන සිතා කටයුතු කර ඇති බවක් පෙනේ.

මීට සතියකට පමණ පෙර එක රැයකින් ප්‍රසිද්ධියට පත්වූ දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු ක්‍රිස්තුස් වහන්සේට පමණක් දෙවැනි කොට සලකන පාස්ටර් කෙනෙක් සිම්බාබ්වේ රාජ්‍යයේ සිටී. ඔහුගේ නම ඌබට් ඒන්ජල් ය. යුරෝපයේ සහ ඇමරිකානු මහාද්වීප වෙනුවෙන් සිම්බාබ්වේ රාජ්‍යය නියෝජනය කරන ඌබට් ඒන්ජල් දිවැසිවරයකු හෝ අනාගත වක්තෘවරයකු ලෙස පෙනී සිටින්නෙකි. සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති එමේසන් මංගාවා මැතිතුමා ඌබට් ඒන්ජල්ගේ හොඳම මිතුරෙකි. මේ දෙන්නාගේ සම්බන්ධය අමුඩය සහ පශ්චාත් භාගය අතර තිබෙන සම්බන්ධය හා සමානය. අල් ජසීරා පුවත් සේවය මගින් කරන ලද ගවේෂණයකදී සොයාගත් පරිදි ඌබට් ඒන්ජල් දිවැසිවරයා සිය තානාපති බලතල යොදාගෙන අප්‍රිකානු මහාද්වීපය තුළ රත්‍රං ජාවාරමෙහි සහ මුදල් විශුද්ධිකරණයෙහි යෙදී සිටී. අල් ජසීරා පුවත් සේවයේ වාර්තාකරුවන් දෙදෙනකු මේ ළඟදී රත්‍රං ජාවාරම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඌබට් ඒන්ජල් හමුවූහ. ඕනෑම වෙලාවක රත්‍රං විකිණීමට තමන් සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය රත්‍රං තොග තමන් සතුව තිබෙන බවත් දිවැසිවරයා අල් ජසීරා වාර්තාකරුවන්ට කියා ඇත. අවශ්‍ය රන් තොගය පිටරටක සිට සිම්බාබ්වේ රාජ්‍යය තුළට එන බවත් එය දිවැසිවර ඌබට් ඒන්ජල්ගේ දිව්‍ය විමානයට ගෙන යනතුරු අතින්වත් ඇල්ලීමට කිසිවකුටත් ඉඩ නොලැබෙන බවත් තමුන් වැඩ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික වැඩවලට අනුව බවත් ඌබට් ඒන්ජල් පවසා ඇත. මේ දිවැසිවරයා දෙවියන් සමග ගනුදෙනු කිරීමේ කර්මාන්තය පටන්ගෙන ඇත්තේ 1996 දීය. ඔහු උපතින් ක්‍රිස්තියානි වුවද පසු කාලයේදී ට්‍රැක් එක පැන දිවැසිවර තත්ත්වයට ගමන් කර 1996 දී සිය නිවස තුළදී කුඩා ආගමික කල්ලියක් තනා ගත්තේය. ලක්‍ෂයක් මිනිසුන් බාගැනීම සඳහා ලක්‍ෂයක් ප්‍රාතිහාර්ය පෑම අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රාතිහාර්ය එකක් පමණි. ඌබට් ඒන්ජල් කුමන හෝ ආකාරයකින් මෙවැනි පෙළහරක් පාන්නට ඇති. එය මැජික් එකක් ද විය හැකිය. අන්තිමේදී ඔහුගේ Follower Base එක ලක්‍ෂය ඉක්මවන තත්ත්වයට පත්විය. සිම්බාබ්වේ යනු ආර්ථික අර්බුදය නිසා වැලේ වැල් නැතිව සිටින “කටේ පස්” රටකි. ඌබට් ඒන්ජල් මුදල් විශුද්ධිකරණය සහ රත්‍රං බිස්නස් එකෙන් රට තුළට ගෙනෙන ඩොලර් ඒ ආණ්ඩුවට ඉතාම වටී. ඒ නිසා සිම්බාබ්වේ රාජ්‍යය ඌබට් ඒන්ජල්ට විරුද්ධව යන්නේ නැත. අපේ අලි සබි්‍ර රහීම් මන්ත්‍රීතුමා වැනි වීඅයිපී පොරක් ගුවන්තොටුපළේ වීඅයිපී චැනල් එක දිගේ බඩු ගෙන එන විට ඒ ගැන සැක උපදවා පරීක්‍ෂා කිරීමේ සිරිතක් රේගු නිලධාරීන් තුළ නැත. සමහර විට ඔවුන් අහන්නේ බෑග්වල තිබෙන්නේ මොනවා ද පමණි. එයට ඇඹරෙන් නැති උත්තරයක් දුන් විට භාණ්ඩ රැගෙන කෙළින්ම ගෙදර යෑමට පුළුවන. එහෙත් කිසියම් තැනකින් කිසියම් පුද්ගලයකු ගැන හරියාකාර ඔත්තුවක් ආවිට රේගු නිලධාරීහු රැක සිට අදාළ පුද්ගලයා සහ අදාළ බෑග් පරීක්‍ෂා කරන්නට පටන්ගනිති. අලි සබි්‍ර රහීම් රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් සමග එහෙන් ගුවන්යානයට නගින විටම ලංකාවට ඒ පිළිබඳව ඔත්තුවක් ලැබුණු බව අපි විශ්වාස කරමු. මේ ඔත්තුව දෙන මිනිසා ස්ථිර වශයෙන්ම දේශප්‍රේමියෙකි. හේතුව එම ඔත්තුවෙන් අලි සබි්‍ර රහීම්ට පාඩු වුවද රත්‍රං සහ ජංගම දුරකථන රට තුළ විකුණන විට ලොකු ආදායමක් ආණ්ඩුවට ලැබෙන බැවිනි. මෙවැනි රන් තොග තව තවත් රැගෙනවිත් ගුවන්තොටුපළේදී කස්ටම් එකට මාට්ටු වන ලෙස අපි දේශපාලනඥයන්ගෙන් ඉල්ලමු. මෙවර අපට වැදගත් වන්නේ තව තවත් අපතයන් හෙළිදරව් කර ගැනීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment