අලි සොරකම වැටලීමට ගිය වනජීවියට හමුදාවෙන් සත්තමක් – හබරණ පොලිසියට පැමිණිල්ලක්

366

අලි පැටවුන් සොරකමක් සම්බන්ධව ලැබුණු තොරතුරකට අනුව හබරණ ප‍්‍රදේශයේ රැකවලේ යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට අතුරු මාර්ගයක සිට සැක කටයුතු ලෙස පිටවූ හමුදා මේජර් ජනරාල්වරයකු ඇතුළු හමුදා කණ්ඩායමක් විසින් මරණීය තර්ජන කර, පහර දී, රාජකාරියට බාධා සිදු කර ජංගම දුරකථන පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මින්නේරිය වනෝද්‍යාන භාරකරු විසින් හබරණ පොලිසියට පෙරේදා (26 දා) පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මින්නේරිය ඇතුළු පොළොන්නරුව වනජීවී කලාපයෙන් කැඳවා විශේෂ රාජකාරියක යොදවා සිටි වනජීවී නිලධාරීන් පිරිසකි. වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවුන් පැහැර ගැනීමට සූදානමක් ඇති බවත්, ලංකාවේ සුප‍්‍රකට අලි ජාවාරම්කරුවකු ඇතුළු කණ්ඩායමක් දින කීපයක් තිස්සේ හබරණ අවට හෝටල් කීපයක ලැගුම් ගනිමින් සැක කටයුතු ලෙස සැරිසරන බවත් කියැවෙන තොරතුරක් මින්නේරිය උද්‍යාන නිලධාරීන්ට ලැබී තිබිණි.

ඒ අනුව වනජීවී නිලධාරීහු වනෝද්‍යාන කලාපය ආවරණය වන පරිදි සැලසුම් සහගතව මුරපළ සකස් කරමින් පසුගිය 22 දා සිට දිවා රාත‍්‍රී අඛණ්ඩව ආරක්ෂක රාජකාරියක් දියත් කළහ.

මෙසේ රාජකාරියේ යෙදී සිටින අතරතුර 25 දා රාත‍්‍රී 10.30 ට පමණ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ බටහිර මායිමේ ඇති ඊරිගේඔය මාර්ගයෙන් සැක කටයුතු වාහන දෙකක් පැමිණ ඇති අතර, වනජීවි නිලධාරීන් එය නැවැත්වීමට සංඥා කර ඇති නමුත් අණ නොතකා ධාවනය කර ඇත.

මෙම රැුකවල් ස්ථානයට ඉදිරියෙන් වනජීවී නිලධාරීන් ද සමග පොලිසිය හා හමුදාව විසින් යොදා තිබූ මොරගස්වැව මුර කපොල්ලකින් වාහන දෙක නැවැත්වීමට අණ දී ඇති නමුත් එහිදීද රථ දෙක අණ නොතකා ධාවනය කර ඇත. මෙසේ ඉදිරියට යන රථ දෙක පසුපස වනජීවී නිලධාරීන්ගේ වාහන දෙකක් අනුරාධපුරය දෙසට ලූහු බැඳ ගොස් ඇති අතර, පලා යන වාහන දෙක හමුදා වාහන දෙකක් බවට හා ඒ තුළ හමුදා නිලධාරියකු සිටින බව හඳුනාගෙන ඇත.

හමුදා වාහන දෙකක් බව දැනගත් වහාම වනජීවී නිලධාරීන් අදාළ රථ දෙක ඉස්සර කර ගොස් ඒ පිළිබඳව ගල්කුලම යුද හමුදා පොලිස් මුරපළට දන්වා ඇතත් මුරපළේදී සිදුවූ ප‍්‍රමාදය අතරතුර අදාළ හමුදා රථ දෙක එහිදී ද නොනවත්වා ගමන් කළ බව මේ පිළිබඳව ‘දිවයින’ට කරුණු දැක්වූ මින්නේරිය ජාතික උද්‍යානයේ නිලධාරියෙක් සඳහන් කළේය.

එහෙත් වනජීවි නිලධාරීන් වාහන දෙක යළිත් ලූහුබැඳ ගොස් ඇති අතර, පලාගිය වාහන දෙක අනුරාධපුරයේ ප‍්‍රධාන යුද හමුදා කඳවුරකට ඇතුළු කර තිබිණි. මෙහෙයුම අත්හල වනජීවී නිලධාරීන් හැරී ආපසු එන අතර වනජීවී වාහන පසුපස හමුදා කඳවුරේ වාහන කිහිපයක් ලූහු බැඳ පැමිණ තිබේ.

අනතුරුව තිරප්පනේ ප‍්‍රදේශයේදී හමුදා භට පිරිසක් විසින් වනජීවී නිලධාරීන්ගේ මග හරස් කර නවතා නිලධාරීන්ට බැණ වැදී ඇති අතර, යළිත් ආපසු එන ගමනේදී වනජීවී වාහන දෙක හබරණ පලූගස්වැව දී ඉදිරියේ සිටි හමුදා කණ්ඩායමක් විසින් නතර අරන්නට අණ දී ඇත. ඒ සමගම පසුපසින් පැමිණි හමුදා වාහනවල පැමිණි පිරිසක් වනජීවී නිලධාරීන් වට කර එක් අයකු ඉදිරියට පැමිණ වනජීවි නිලධාරියකුට පහරදී අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇත.

මේජර් ජනරාල් තනතුරක් දරන්නේ යැයි කියන මෙම නිලධාරියා තමන් අසවල් නම දරන්නා බවත්, අසවල් සේනාංකයේ අධිපතිවරයා බවත් පවසමින් වනජීවී නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණවැදී ”තට්ටයා…තොගේ කන පලනවා. තොපි හිතුවද අපි නිධන් හාරනවා කියල…’’ ආදී වශයෙන් බැණ තර්ජනය කර ඇත.

අනතුරුව වන ජීවී රථ දෙකේ යතුරු හා ජංගම දුරකථන ඔවුන්ගේ භාරයට ගත් බවද වන ජීවී නිලධාරීහු සඳහන් කරති.

මේ අතර සිද්ධිය සම්බන්ධව වනජීවී නිලධාරීන් කළ දැනුම්දීමකින් හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු විසින් සිද්ධිය සමථයකට පත්කර ඇත. ඉන්පසු අදාළ මේජර් ජනරාල්වරයා හමුදා කණ්ඩායම සමග පිටවී ගිය බව වනජීවී නිලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධව මින්නේරිය ජාතික වනෝද්‍යාන භාරකරු විසින් හබරණ පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර රාජකාරියට බාධා කිරීම යටතේ ඊයේ (27දා) කැකිරාව අධිකරණයට කරුණු ගොනු කළ බවද උද්‍යාන පාලක භාතිය මඩුගල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

මේ පිළිබඳව හබරණ පොලිසිය මගින් තම නිලධාරීන්ගෙන් කටඋත්තර ගැනීම ඊයේ සිදුකිරීමට නියමිතව තිබූ බවත්, යුද හමුදා මූලස්ථානය මගින් සිදු කරනු ලබන පරීක්ෂණයක් සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් තමන්ට දැනුම්දීමක් කර ඇති බවත් මහවැලි කලාපය භාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්. එන්. කේ. එස්. චන්ද්‍රරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

මේ අතර තම කීර්තිනාමයට අපහාස කළ බව කියමින් මෙම සිද්ධියට මුහුණපෑ යුද හමුදාවේ 21 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා විසින් හබරණ පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත.

ජගත් කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment