අලි 5 දෙනා අයිතිකරුවන්ටම දෙනවාද… නියෝගය දෙසැම්බර් 3 දා

85

නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අලි ඇතුන් 35 දෙනා අතරින් තවත් අලි ඇතුන් පස්දෙනකු මුල් අයිතිකරුවන්ටම යළි මුදාහැර එම නඩුවලට අදාළ සැකකරුවන් නඩු කටයුතුවලින් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදී ඇතැයි කියන උපදෙස් පිළිබඳ තම අධිකරණයේ නියෝගය ලබන දෙසැම්බර් 3 වැනිදා නිකුත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (22 දා) තීරණය කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම අනුව එම නඩුව ඊයේ (22 දා) විවෘත අධිකරණය හමුවේදී කැඳවිණි.

අංක 148, 223, 230, 331 හා 346 යන නඩු ගොනුවලට අදාළ සැකකරුවන්ට අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් කරුණු නොමැති බවට තීරණය කර ඇති නීතිපතිවරයා ඔවුන් සන්තකයේ තිබූ නඩු භාණ්ඩ (අලි ඇතුන්) එම සැකකරුවන් වෙතම යළි මුදාහරින ලෙසට උපදෙස් ලබාදී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂිකා සුදර්ශනී මහත්මිය අධිකරණයට කීවාය. එකී නඩු ගොනු අධිකරණය භාරයේ ඇති දැයි එහිදී එම නිලධාරිනියගෙන් විමසා සිටි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නෛතික පදනමක් නොමැත්තේ නම් එම අලි ඇතුන් අත්අඩංගුවට ගත්තේ කුමක් නිසාදැයි වැඩිදුරටත් විමසා සිටියේය.

එම නඩුවල සැකකරුවන් මුදාහරින ලෙසට උපදෙස් ලබාදීමේ නීතිමය බලය නීතිපතිවරයාට ඇතත් පොදු දේපළක් වන අලි ඇතුන් සැකකරුවන්ට මුදාහරින ලෙසට උපදෙස් දීමේ බලයක් ඔහුට නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා එහිදී අධිකරණයට කීවේය.

යම් නඩු භාණ්ඩයක් මුදාහැරීම සිදුකළ යුත්තේ ඒවා නීත්‍යනුකූලව සන්තකයේ තබාගැනීමට අයිතිය ඇති පිරිසට බවත් අධිකරණයට පැවසූ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා එකී තීරණය සොරබඩු සන්තකයේ තබාගත් පුද්ගලයකු කුමන කරුණක් මත හෝ මුදාහරිනු ලබන විට ඔහු සන්තකයේ තිබූ සොරබඩු සොරාටම මුදාහැරීම හා සමාන කි‍්‍රයාවක් වන්නේ යැයි අධිකරණයට පැවසීය.

අපරාධයක් සිදුවී නොමැති බවට තීරණය කළ විටෙක නඩු භාණ්ඩ එම සැකකරුට භාරදීමේ නීතිමය වරදක් නොමැති බවත් නීතිපතිවරයා එම උපදෙස් ලබාදී ඇත්තේ එකී පදනම මත බවත් පෙනී යන්නේ යැයි සැකකාර අලි හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට කීවේය.

අත්අඩංගුවට ගෙන තිබූ අලි ඇතුන් 35 දෙනා අතරින් 14 දෙනකුමීට පෙර නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය නියෝග කොට තිබුණු අතර එම නියෝගය අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කර ඇත.

දෙව්මිණි, සඳලි, වස්තු, රංදුල හා සාලිය නමැති අලි ඇතුන් පස්දෙනා එලෙස මුදාහැරීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment