අලුත්ම හොරකම බත් මුට්ටි…!

501

කඩා වැටුණු ආර්ථිකය අපිට දුන්න තෑග්ග….
දැන් පරිස්සම් කරන්න ඕන වටිනා කියන දේ නෙවෙයි

මෙතෙක් අපට අසන්නට දකින්නට ලැබුණේ රන්මාල කඩා ගිය, පසුම්බිය සොරාගෙන ගිය නිවෙස් බිඳ සබ්බසකල මනාවම අතගාගෙන ගිය කතාය. එහෙත් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන්නේ ලිප මත ඇති බත් මුට්ටිය ද සොරා ගෙන යන අන්දමේ කතාය. මේ වන විට රටේ ඇති වී තිබෙන අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

බොහෝ අයගේ වත්තපිටිවල ඇති ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ වැඩිවී ඇතැයි ද පැවසෙන අතර බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිවලට කරුණු වාර්තාවී තිබේ. එසේම සුපිරි වෙළෙඳසල් ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධීන් දහස් ගණනක් ද මෑත කාලයේදී විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේ සියල්ලටම හේතු වී ඇත්තේ එදාවේල පිරිමසාගෙන බඩ පුරවා ගන්නට හැකි වාතාවරණයක් නොතිබීම ය. මෙයට වසරකට පෙර දෛනික වැටුපෙන් ජීවත්වෙන පුද්ගලයකුට පස් දෙනකුගෙන් යුතු පවුලේ හිතේ බරක් නැතිව නඩත්තු කරගන්නට හැකියාව තිබිණි.

හාල් කිලෝවක් රුපියල් 90ක ටත් කරවල සියයක් රුපියල් සියයටත් පරිප්පු සීයක් රුපියල් 30 ටත් පැවති නිසාය. පාන් ගෙඩියක් ද රුපියල් තිහකට හතළිහකට ගන්නට හැකියාව තිබිණි.

මේ ඇතුළුව සමස්ත ආහාර අමුද්‍රව්‍යවල මිල ගණන් සියයට තුන් සියයකින් පමණ ඉහළ යෑම මත සාමාන්‍ය ජනතාව පෙළඹවීමකින් තොරවම සොරකමට යොමු වී සිටිති.

මෙහි බරපතළම තත්ත්වය වන්නේ අධික වියදම හා අධික ණය බර මත ජීවත්වීම හිරිහැරයක් කරගනිමින් ජීවිතයෙන් පළා යන්නට දරන මිනිසුන්ගේ සංඛ්‍යාව ද ඉහළ යෑමය. ඊට උදාහරණ රට පුරා ඕනෑ තරම් තිබේ. සෑම පළාතකම සෑම පොලිසියකම පවත්වාගෙන යන පොලිස් පැමිණිලිවලට අදාළ තොරතුරු වාර්තාවෙන් පෙනෙන්නට තිබෙන්නේ උතුරු නැගෙනහිර හැර සෙසු සියලුම පළාත්වල සියදිවි හානිකර ගැනීම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳීම් සහ අතරමගදී රන්මාල කඩාගෙන යෑම මෙන්ම අත ඇති බඩු මල්ල පැහැරගෙන යෑම වැනි සිද්ධි ද අලුතින් එකතු වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහනුවර ජාතික රෝහලේ හිටපු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා කියා සිටියේ සමාජයීය ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නයක් ලෙස ඉස්මතු වෙද්දී දරාගැනීමේ ශක්තිය අවම වූ පුද්ගලයන් ජීවිතයෙන් පළා යන්නට උත්සාහ ගන්නා බව ය. ඒ හැරුණු විට මිනිසාගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගැටලු ඇතිවන ඕනෑම අවස්ථාවක ඔවුන් ආතතිමය තත්ත්වයකට පත්වනු දක්නට ලැබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

පුද්ගලයකුගේ කායික මානසික ඒකාග්‍රතාවය සඳහා ඒ පුද්ගලයා මුහුණපාන ගැටලු විශේෂයෙන් බලපෑම් ඇති කරන බව ද ඔහු කියා සිටියේ ය. රටේ මේ වන විට පවතින වාතාවරණය අනුව බොහොමයක් මිනිසුන්ගේ ජීවත්වීමේ අරගලයට මරු පහරක් එල්ල වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විහාරයෙහි පිං කැටයක් කැඩූ පුද්ගලයා අද බලන්නේ බැංකුවක් මංකොල්ල කන්නට ය. සැමන් ටින් එකක් හොරකම් කරන්නට වෙහෙස ගන්නා පුද්ගලයා අද වන විට හාල් තුනපහ පරිප්පු ඇතුළු සියලු කුළුබඩු පවා හොරකම් කරන්නට පෙළඹී තිබේ. වෙළෙඳසල්වලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම වැඩිවී ඇති තත්ත්වයක් පෙනෙන්නට ඇති බව පර්යේෂණ වාර්තා ද සනාථ කරමින් සිටින තත්ත්වයකට වැටී රට බංකොළොත් වී තිබේ.

වේල් තුන වෙනුවට එක් වේලක් හෝ උපරිම වශයෙන් දෙවේලක් ගන්නා පවුල් සංඛ්‍යාව උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් ලක්ෂ දහයක් දක්වා වැඩිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයකදී පසුගියදා තොරතුරු අනාවරණය විය. ඉන් පැනනඟින තවත් ගැටලුවක් වන්නේ මිනිසුන්ගේ පෝෂණ තත්ත්වයන් ශීඝ්‍ර ලෙස පහත වැටීමය. වේල් තුන වෙනුවට එක වේලක් කන පවුල්වල දරුවන්, තරුණ තරුණියන් ගර්භණී කාන්තාවන් රෝගීන් මහල්ලන් ආදී සෑම වයසක්ම නියෝජනය කරන පිරිස් සිටිති. දරුවන්ගේ පෝෂණ ඌණතා ප්‍රශ්න මත අනාගතයේ ක්‍රියාශීලී ශ්‍රම බළකායක් බලාපොරොත්තු විය නොහැකිය. මේවාට කඩිනම් විසඳුම් නොලැබුණහොත් එන්න එන්නම රටේ නැති ප්‍රශ්නද උද්ගත වීමේ ඉඩකඩ වැඩිය.

සමන්ත වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment