අලුත් අගමැති ආර්ථිකය ගොඩදමයිද? ඩොලරයේ අගය අඩුවීමක්…

335

මහ බැංකු අධිපතිගෙන් රතු එළියක්
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ආර්ථිකය ඉතාම අමාරු අඩියකට වැටී ඇති මොහොතක, එම තත්ත්වයෙන් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ඉතා අමාරුවෙන් පියවර ගනිමින් සිටියදී ඉතා කනගාටුදායක සිදුවීමක් සිදු විය. එනම් අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති ‘මයිනාගෝගම’ විරෝධතාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහතාගේ ආධාරකරුවන් පිරිසක් අමානුෂික මැර ප්‍රහාරයක් එල්ල කිරීමයි. ඒ පිරිස පැමිණියේ ද අරලියගහ මන්දිරයේ සිට එහි පැවති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ රැස්වීමකට සහභාගි වීමෙන් පසුවය. ඒ සඳහා එම පිරිසට අරලියගහ මන්දිරයේ ගාලු පාරට පිවිසෙන දොරටුව ද විවෘත කරදෙන දෙනු ලැබිණි. එම දොරටුවෙන් පිටතට පැමිණි ඔවුන් ‘මයිනාගෝගම’ ට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තිබූ ‘ගෝඨාගෝගම’ ප්‍රදේශයට ද ගොස් එහි තිබූ කූඩාරම් සහ අට්ටාල කඩා දමා ප්‍රහාරයක් එල්ල කළේය. මේ සමග මුළු රටම ගිනි ගත්තේය. ඒ නිසා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මිනිස් ජීවිත කිහිපයක් අහිමි වී, තවත් විශාල පිරිසක් තුවාල ලබා මැති ඇමැතිවරුන්ගේ ඇතුළු වෙනත් නිවාස ගිනිබත් කිරීම ඇතුළු අති විශාල දේපළ හානියක් ද සිදු විය. මේ සියලු විස්තර ඔබ දැනටමත් දනී. මේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ දෙපිරිසටම නීතිය ක්‍රියාත්මක විය යුතුය. පසුව ආරක්ෂක ලේකම්වරයා මොනවා කීවත් මේ අනීතික ක්‍රියා සහ දේපළ විනාශයන් වැළැක්වීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ හරිහැටි ක්‍රියාත්මක වූ බවක්ද නොපෙනිණි.

මේ සියලු දේට බලපෑ මුල් හේතුව විදේශ විනිමය අර්බුදය උග්‍ර වීමෙන් කලක් තිස්සේ ජනයා මුහුණ දෙන බලවත් ආර්ථික පීඩනයයි. ඒ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් පියවර නොගෙන විරෝධතාකරුවන්ට පහර දී, රටම ගිනි තැබීම නිසා ඇති වූ අවසාන ප්‍රතිඵලය කුමක්ද? දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය තවත් වර්ධනය වීමයි. එනම් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය විසින් ඉතා අමාරුවෙන් ගනිමින් සිටි පියවරයන්ට බලවත් හානියක් සිදු වීමයි. සියලු දේට වඩා වැදගත් වන්නේ මේ කරුණයි. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා (මැයි 11) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු හෙළි කළේය. මූලික වශයෙන්ම ඔහු කීවේ වහාම දේශපාලන ස්ථාවරත්වක් ඇති කර ගත යුතු බවයි. එසේ නැතහොත් කිසිවෙකුටත් මේ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීම දුෂ්කර වනු ඇති බවයි. ඔහු තවත් රතු එළියක් ද දැල්වූයේය. එනම් සති දෙකක් ඇතුළත ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කර නොගතහොත් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්වන බවයි. දේශපාලන පක්ෂ එකතු වී රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනට ඇති කර නොගන්නේ නම් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ නියෝජිතයන්ට පැහැදිලිව ප්‍රකාශ කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මැයි 11දා මහ බැංකු මූලස්ථානයේදී මාධ්‍යවේදීන්ට පැවසීය.

මේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කීවේය.

රටේ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනට ඇතිකර නොගන්නේ නම් ඔබ ඉල්ලා අස්වන බවට දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා දැයි මෙහිදී මාධ්‍ය කළ විමසුමකදී මහ බැංකු අධිපතිවරයා ඒ බව තහවුරු කළේය.

ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය.

“මම මහ බැංකු අධිපති ධුරය භාර ගන්න කැමති වන විට මෙහෙම තත්ත්වයක් තිබුණේ නෑ. ඒ වන විට මිරිහාන සිද්ධිය වෙලත් නෑ. ඒ සිද්ධිය තමයි මම ආවයින් පසු මේ දේශපාලන අස්ථාවරත්වය ආරම්භ වීමේ සිද්ධිය. ඊට පසු සිදුවීම් දිගටම සිදුවුණා. මගේ බලාපොරොත්තුව තිබුණේ සති දෙකක් පමණ ඇතුළත දේශපාලන ස්ථාවරත්වය ඇතිවෙයි. ඒ නිසා කරගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලයි. දැන් මාසයක් ගිහින් තිබෙනවා. පසුගිය සඳුදා ඉඳලා ඒ තත්ත්වය තවත් වැඩි වුණා. මම දැන් ඒ පණිවුඩය කියල තියෙනවා සියලුම දේශපාලන පක්ෂවල අයට. ඒ අය එකතු වෙලා යම් කිසි ආකාරයකට දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගන්නේ නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ කියලා. ඒක මමද වෙන කවුද ඉන්නෙ කියන එක ප්‍රශ්නයක් නෑ. කාටවත් බෑ ආර්ථික වශයෙන් මේ රට ගොඩගන්න මෙහෙම අස්ථාවර තත්ත්වයක් පවතින විටක. එහෙම අරාජික වන රටක, නීතිය හා සාමය හරියට ක්‍රියාත්මක නොවන රටක, ස්ථාවර දේශපාලන තත්ත්වයක් නොමැති රටක මහ බැංකු අධිපති වශයෙන් කවුරු හිටියත් ඒ දේ කරන්න අමාරුයි.

අඩු තරමේ තවත් සතියක් දෙකක් ඇතුළත එවැනි දේශපාලන එකඟතාවක් ඇතිකර ගත්තේ නැත්නම් මම මේ තනතුරේ ඉන්නේ නැති බව මම ප්‍රකාශ කරල තිබෙනවා..

හේතුව තමයි මම හිටිය කියල විසඳුමක් වෙන්නෙ නෑ. ඒක තනිවම මට හෝ කවුරු මේ තනතුරට ආවත් මහ බැංකුවක් විසින් තනිවම මේ රට ගොඩගැනීමට බැහැ. ඒ අත්‍යවශ්‍ය ස්ථාවර දේශපාලන තත්ත්වය රටේ නැත්නම්. එහෙම වුණොත් සමාජ හා දේශපාලන අස්ථාවරත්වය වර්ධනය වෙලා අපි හැමෝම අමාරුවේ වැටෙන තත්ත්වයකට රට පත්වෙනවා. එවැනි පාලන ක්‍රමයක මහ බැංකු අධිපතිවරයකු ලෙස කටයුතු කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට කියල තියෙනවා ගිය සතියෙ මේක සිදුවුණාම.

දැනටමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් තියෙනවා. තව දින කිහිපයක් මෙහෙම ගියොත් යළි පැය 10 ක් 12 ක් විදුලිය නැතිව ඉන්න වෙයි. පෙට්‍රල්, ඩීසල් නැතිවෙයි. ගෑස් නැතිවෙයි. ජනතාවට වෙන විකල්පයක් නැති නිසා සාමකාමී හෝ ප්‍රචණ්ඩකාරී මහජන උද්ඝෝෂණ ඇතිවෙයි. ඒ නිසා හැකි ඉක්මනින් ස්ථාවර දේශපාලන විසඳුමක් අවශ්‍යයි.

මෙසේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ආණ්ඩුවට මෙන්ම සියලු දේශපාලන පාර්ශ්වයන්ට පැහැදිලි පණිවිඩයක් දී තිබේ. එක්ව යම් දේශපාලන සම්මුතියකට පැමිණිය යුතු බවයි. කෙසේ හෝ වහාම යම් දෙයක් වූයේය. ජනපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර සහාය ඇති අගමැතිවරයෙක් පත් කරන බවයි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (13) යහපාලන රජයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්කාලීන රජයේ අගමැති ලෙස පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් අයගේ විරෝධය ද මතුව තිබේ. පාරට බැස විරෝධතා පවත්වන අයට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළ රජයක් අවශ්‍ය කළා ද යන්න නම් ප්‍රශ්නයකි. පසුගිය මහ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එජාපය බිංදුවටම වැටුණි. මේ නිසා පොදුජනයා මෙන්ම එජාප පාක්ෂිකයා ද පසුගිය මහ මැතිවරණයෙන් ඔහුවත් එජාපයත් ප්‍රතික්ෂේප කර තිබුණි. අන්තිමට හිටපු අගමැතිවරයා පාර්ලිමෙන්තුවට ආවේ එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී ධුරයෙනි. ඒ නිසා එවැනි කෙනෙක් මේ අන්තර්කාලීන රජයේ අගමැති ලෙස පත් කිරීම ගැන බොහෝ විවේචන තිබේ. කෙසේ හෝ මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල චරිත නොව ආර්ථික ප්‍රශ්නයට විසඳුමකි. ඒ විසඳුම දීමට මේ ඇති කළ නව වෙනස සමත් වේද යන්න අපි බලමු. කුඩා සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ද ඉතා ඉක්මනින් පත් කර ගනු ඇත. මේ ලිපිය ඔබ කියවන මොහොත වන විට ඒ දෙය ඇතුළු තවත් බොහෝ දේ සිදුව තිබෙන්නට පුළුවන. මේ නව අගමැති ප්‍රමුඛ රජය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී මේ ආර්ථික ප්‍රශ්න සමනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර වහාම ගත යුතුව තිබේ. ඒ කටයුතු අසාර්ථක වුවහොත් වනු ඇත්තේ මහ බැංකු අධිපති කියන පරිදිම මහජනයාගේ ආර්ථික පීඩනය තවත් උග්‍ර වී රට අරාජික තත්ත්වයට පත් වීමයි. ඒ දෙය නොවන විසඳුම් මගකට වහාම අවතීර්ණ වී ඉදිරියට ගමන් කිරීමට තිබේ.

විදේශ සංචිත මට්ටම

අලුත් අගමැති ආර්ථිකය ගොඩදමයිද? ඩොලරයේ අගය අඩුවීමක්…

මේ වනවිට විදේශ විනිමය සංචිතය අඩියටම හිඳී ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,827 ක් ලෙසින් සටහන්ව ඇති අතර එයින් විදේශ විනිමය සංචිතය ලෙස ඩොලර් මිලියන 1,618 ක් ලෙසින් දැක්වුණි. මේ විදේශ විනිමය සංචිතය තුළ ඇතුළත් වන, චීන මහජන බැංකුවෙන් ලබා ගන්නා ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විනිමය හුවමාරු පහසුකමේ අගය ඉවත් කළ විට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 118 ක් පමණි. මේ අප්‍රේල් අගදීය. මේ වන විට තවත් අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ මූල්‍යනය කිරීමට විදේශ විනිමය වැය වන්නට ඇත. මේ නිසා විදේශ විනිමය සංචිතය බින්දුවයි කියා හිටපු මුදල් ඇමැති අලි සබ්රි මහතා කියූ අදහස වැරදි නැත. මහ බැංකුව චීන විනිමය පහසුකම ගැන කියා සිටියේ මෙම විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමේදී කොන්දේසි පවතින බවයි. මේ සම්බන්ධයෙන් පසුගිය මැයි 11 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මාධ්‍ය විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ මෙම මුදල දැනට කිසිවකට හෝ භාවිතා කළ නොහැකි බවයි. ඒ ගැන ඔහු මෙසේ ද කියයි.

‘අපි ඉල්ලීමක් කරලත් තියෙනවා ඒගොල්ලන්ගෙන් මේක රිලැක්ස් කරන්න කියලා, පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට. ඒ මුදල අඩුම ගානේ චීනෙන් ඉම්පොර්ට් කරන ඒවාටවත් පාවිච්චි කරන්න පුළුවන් විදියට. අපි උත්සාහ කරනවා ඒ සම්බන්ධයෙන් වන කොන්දේසිය වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට එය හදාගන්න..

කුමන ආකාරයකින් හෝ අපගේ විදේශ විනිමය සංචිත මට්ටම වර්ධනය කරගත යුතු වේ. නැතහොත් දැනට පිරිහෙන රුපියල පාලනය කිරීමට මහ බැංකුවට ඇති ශක්තිය ද ඉතා අවමය. මේ නිසා දිගින් දිගටම වැඩිවෙන ඩොලරයේ අගය අනුව මෙරට ඉන්ධන ඇතුළු සියලු භාණ්ඩ මිල ගණන් අඛණ්ඩව වැඩි වෙමින් මහජන පීඩනය තවත් උග්‍ර වේ. කෙසේ වෙතත් මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය ගිය සිකුරාදා (13) රු. 365.00 ක් දක්වා පහළ ගොස් තිබෙනු දක්නට ලැබිණි. ඊට පෙර දින (12) වාණිජ බැංකුවලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙලෙස ක්‍රමයෙන් විදේශ විනිමය ලැබීම් වර්ධනය කරමින් දැනට අධිතක්සේරු වී ඇති විනිමය අනුපාතය නිසි මට්ටමට පත් කර ගත යුතුව තිබේ. එවිට මේ භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කරගෙන ඇතැම් විට භාණ්ඩ මිල යම් මට්ටමකට අඩු කර ගැනීමට ද බැරි කමක් නැත.

ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම

අද වෙසක් පොහොය නිසා බුදු දහමෙන් ද යමක් කිව යුතුය. එනම් බුදු දහමේ සඳහන් වන පරිදි ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමට ක්‍රියා කිරීම කිසියම් රාජ්‍ය පාලකයකුගේ මූලිකම කාර්යයකි. කොරෝනා වසංගතය ඇතුළු නොයෙකුත් අභියෝග ඇති වූ බව ඇත්තය. එහෙත් මේ ගෝඨාභය රාජපක්ෂ රජය රටේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමට බලවත් ලෙස අසමත් විය. රට පාලනය කිරීමේදී විශාරදයන්ගේ උපදෙස් ගැනීමත් රාජ්‍ය පාලකයකුගේ තවත් මූලික කාර්යයකි. එහෙත් කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මේ ජනපති ක්‍රියා කළේ ඉතාම උද්ධච්ජ ආකාරයෙන් තමන්ගේ සිතැඟි පරිදි තනි මතයට බව දැකගත හැකි විය. එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් අඩුපාඩු පෙන්වා දුන් විට ඔහු වහාම නෙරපා හැරි අයුරු අපට මතකය. බුදු දහමේ සඳහන් රාජ්‍ය පාලකයකුට තිබිය යුතු ගුණාංග සහ ප්‍රතිපත්ති හැකිතාක් දුරට තම රාජ්‍ය පාලනය සඳහා එකතු කර ගැනීමෙන් යහපත් රාජ්‍ය පාලනයක් ඇති වේ. එහෙත් එවැනි දෙයක් ද දැකගත නොහැකි විය. ඒ අනුව මේ කාලය දෙස බැලීමේ දී පෙනෙන්නේ රටේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමට වත්මන් රජය බලවත් ලෙස අසමත්ව වීම නිසා අන්තිමට ජනයාගේ ජීවිත සුරක්ෂිතතාව ද අවදානමට ලක් විය. ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු කිහිප දෙනකුගේ ජීවිත ද අහිමි විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරෝධතාකරුවන් මහ මග පහර දී තිබිණි. මේ නිසා නීතිය හා සාමය රැකීමට ද රජයට නොහැකි විය. මේ විරෝධතා සියල්ල මෙන්ම මුල සිටම ජනතාවගේ ආර්ථික පීඩනය ද රජය තක්සේරු කළේ අඩුවෙනි. රට අද පවතින ඛේදජනක ඉරණමට ගොදුරු වීමට හේතුව එයයි. දැන් 69 ලක්ෂයේ ජනවරම ගැන කතාකර ඵලක් නැත. රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා ඔවුන් ද ඇතුළුව සියලු ජනයා දුක්ඛිත තත්ත්වයට පත් විය. ඒ නිසා ඔවුන් සියලු දෙනා තවමත් තම රජය පැත්තේ සිටින්නේ යැයි සිතන්නේ නම් එය විශාල මුළාවකි. ඒ 69 ලක්ෂයේ ජනවරම එදා දුන්නේ යහපාලන රජයෙන් රට බේරා ගැනීමටය. එහෙත් හරියට රාජ්‍ය පාලනය නොකළ නිසාත් දිගින් දිගටම එම ජනවරම අනුව ක්‍රියා නොකළ නිසාත් අවසානයේ සිදු වූයේ ජනයා ගෙදර යැවූ බැඳුම්කර චෝදනා එල්ල වූ යහපාලන රජයේම සිටි අගමැතිවරයාම ගෝඨාභය රාජපක්ෂ ජනපතිට, අගමැතිවරයා ලෙස පත් කිරීමටය. එය දෛවෝපගත සිදු වීමකි. පසුගිය රජයේ බැඳුම්කර හොරු අල්ලනවා කියා බලයට පැමිණ අන්තිමට ඒ දෙය නොකර මේ රජය රට බංකොලොත් කර විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය කර ගත්තේය. එය පසුව බලවත් සමාජ ප්‍රචණ්ඩත්වයක් කරා ද වර්ධනය විය. ඒ නිසා යහපත් රාජ්‍ය පාලකයෙකුගේ ගුණාංග අනුගමනය කරමින් දැන්වත් රට වැසියා සිටින දුක්ඛිත තත්ත්වය වටහාගෙන ඉදිරියේ දී පත්කර ගන්නා අන්තර්පාලන රජය විසින් හෝ නිසි පියවර ගනිමින් සමාජ හා දේශපාලන ස්ථාවරත්වය ඇති කරගෙන වහාම රටේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමට කඩිනම පියවර ගත යුතු වේ. ඒ සඳහා වහාම මේ ප්‍රචණ්ඩකාරී වාතාවරණය සමනය කරගෙන ජනයා ද කිසියම් ඉවසීමකින් ක්‍රියා කළ යුතු මොහොතකට අප මුහුණ දී සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment