අලුත් අවුරුද්දටත් ඉටිපන්දමෙන් අඳුර මකමු

72

වසරක් තුළ 140%‍ක වැඩිවීමක්….
කොමිසමට හැර වෙන කිසිදු අයෙකුට විදුලි බිල වැඩිකළ නොහැකියි….
ගල් අඟුරු අවසන්

2022 වසර ආරම්භයේ සිට අවසානය දක්වාම ගෙවුණේද අර්බුද රාශියක් මැදය. විදුලි බල ක්‍ෂේත්‍රය ගත්විට ජනවාරි මාසයේ සිට ජනතාවට විඳින්නට සිදුවුණේ කටුක අද්දැකීම් වලටය. මුලින් මුලින් ජනතාව දැනුවත් නොකර පැය එක, දෙක ආදී වශයෙන් ආරම්භ වූ විදුලි කප්පාදුව පෙබරවාරි මාර්තු වනවිට උග්‍ර අතට හැරී පැය 12 — 15 දක්වා විදුලි කප්පාදුව දිග් ගැස්සුණි. මේ කාලය වනවිට ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 ටම අදාළව කලාප වෙන්කර දිවා රාත්‍රී දෙකේම විදුලිය කපමින් ජනතාව දැඩි පීඩාවට ලක්කළහ. රට තුළ ජල විදුලිය පහත වැටෙන අවස්ථාවල ඒ අඩුව පුරවන ලද්දේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් හා ඉන්ධන මගින් නිපදවන විදුලියෙනි. නමුත් ඒ කාලය වනවිට රට තුළ උග්‍ර ඉන්ධන හිඟයක්ද පැවැති අතර තෙල්වලින් ලැබුණේද අඩු දායකත්වයකි. මේ කාලය අතරතුර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රද විටින් විට ක්‍රියා විරහිත වූ අතර මෙරට විදුලි පාරිභෝගිකයන් වින්දේ අපමණ දුකකි.

විදුලිය නොමැතිව බැටකන ජනතාවට ඊළඟට මුහුණදීමට සිදුවූයේ ලයිටුත් නැතිව විශාල විදුලි බිලක් ගෙවන්නටය. ඒ අගෝස්තු මාසයේදී සිදුවූ දැවැන්ත විදුලි බිල් සංශෝධනයයි. එසේම මේ කාලය වනවිට විදුලි බල පනත සංශෝධනය පිළිබඳ රටේ මහත් කතාබහක් ඇතිවූ අතර වැඩ වර්ජන මෙන්ම විරෝධතාද නිතර ඇතිවිය. අවසානයේ කෙසේ හෝ විදුලිබල පනත සංශෝධනය සිදුවූ අතර මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය බොහෝ දෙනාගේ විරෝධය මැද ගෞතම් අදානිට පිරිනැමීමට සිදුවූයේද අගෝස්තු මාසයේය.

ඔක්තෝබර් මාසය වන විට රට තුළ උග්‍ර ගල් අඟුරු හිඟයක් ඇතිවිය. ගල් අඟුරු ටෙන්ඩර් ලංසු අර්බුදයක් ඇතිවූ අතර අඩු ලංසුවට නොදී මිල ගණන් වැඩි සමාගමක් වෙත දුන් බවට නැගුණු චෝදනාව හේතුවෙන් ඊට විරුද්ධව ඕමල්පේ සෝභිත හිමියන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවා පැවරූ අතර අවසානයේ එම ටෙන්ඩරය අවලංගු කෙරිණි. මෙරට දේශපාලනඥයන්ගේ යම් යම් සම්බන්ධතා ඇති සමාගම් මගින් ගල් අඟුරු ආනයනය කිරීමට සූදානම් වන බවටද නිරන්තරව අසන්නට ලැබිණි. මේ කාලය වනවිට නැවතත් පැය 10 කට අධික කාලයක් විදුලි කප්පාදුවක අවදානමක් මතුවූ අතර ගල් අඟුරු යම් ප්‍රමාණයක් ලැබීම මෙන්ම වැසි ලැබීම යන හේතු නිසා උපකල්පනය කළ තරමින් විදුලි කප්පාදුවක් සිදුනොවුණත් පැය 2 කට අධික කාලයක් විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුවිය.

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන ගණනක් පාඩු ලබන නිසා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බව පවසා ඊට අදාළව කමිටුවක්ද පත්කළ අතර ඔවුන්ගේ යෝජනාද පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමක්ද සිදුවිය. මේ සියල්ලටම වඩා ජනතාවට 2022 වසරේ කම්පනය ගෙනදුන් කාරණාව වූයේ 2023 වසර වනවිට උග්‍ර විදුලි අර්බුදයක් පැමිණෙන බැවින් ඊට මුහුණදීමට නැවතත් විදුලි බිල වැඩිකළ යුතු බවයි. පසුගිය වසර ගෙවීගියේ ඔය ආකාරයෙනි.

මේ වනවිට විදුලි බිල වැඩිකිරීමේ අයිතිය සම්බන්ධයෙන් පාර්ශ්වයන් දෙකක් ඉදිරිපත් වී තිබේ. ඒ මහජන උපයෝගිතා කොමිසම හා ඇමැතිවරයායි. කොමිසම පවසන්නේ විදුලි බිල සංශෝධනය (අඩු හෝ වැඩි) කිරීමේ බලය තමන් සතු බවයි. ඊට අදාළව පසුගිය සිදුවීම්ද ගෙන හැර දක්වමින් කරුණු ඉදිරිපත් කරයි. ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඔහු පවසන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මත එම අයිතිය කැබිනට් මණ්ඩලය සතු බවයි. අයිතිය කා සතු වූවත් අවසානයේ සිදුවන්නේ එකම දෙයයි. ඒ එදා වේල කන්නවත් නැතිව අන්ත අසරණව සිටින ජනතාව පිට තකතීරු පාලකයන්ගේ වරදින් විදුලි බිල නමැති හෙණකන්ද පාත්වීමය. එම බර ජනතාව කෙසේ දරා ගනීවිද යන්න සහ ඔවුන් ඊට දක්වන ප්‍රතිචාර ඉදිරි දිනවලදී මෙන්ම පැවැත්වීමට නියමිත මැතිවරණවලදී පාලකයන්ටම බලාගත හැකිවනු ඇත. මන්ද මේ වන විටත් විදුලි බිල වැඩිකිරීමට විරුද්ධව රට පුරාම විරෝධතා පැවැත්වීමට ජනතාව කටයුතු කර ඇත.

● විදුලි බිල වැඩිවීම පිළිබඳ පරස්පර ප්‍රකාශ

මේ වනවිටද විදුලි බිල වැඩිකිරීමේ අගයන් පිළිබඳ විටින් විට නොයෙක් ප්‍රකාශ විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරයි. මුලදී 70% කින් වැඩිකළ යුතු යැයි පැවසුව අතර මේ වනවි එම අගය 60% – 65% විය යුතු යැයි පවසයි. එසේ වුවහොත් වසරක කාලයක් තුළදී විදුලිය වැඩිවීමේ ප්‍රතිශතය 140%කි. එක් අවස්ථාවක ඒකකයක් සියලු දෙනාටම 56 විය යුතු යැයි පවසයි. තවත් විටෙක පවසන්නේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම 48 වන බැවින් එම ගණනින් ඉහළ යෑම ප්‍රමාණවත් බවයි. කුමන අගයකින් වැඩ කළද මාස හයෙන් හයට විදුලි බිල අඩුවීම කෙසේ වෙතත් වැඩිවීම නම් ස්ථිර වශයෙන්ම සිදුවේ. විදුලි බල මණ්ඩලය පාඩුයි කියන හැම අවස්ථාවකම විදුලි බිල වැඩිකර ජනතාවට ඒ බර පැටවීමට පාලකයෝ දෙවරක් නොසිතති. මන්ද දේශපාලකයන් නඩත්තු වන්නේ ජනතා බදු මුදලින් නිසා කිසිදු මහජන නියෝජිතයකුට එම බර දැනෙන්නේ නැත.

● ආණ්ඩුවේ මැති ඇමැතිවරු අතර මතභේද

විදුලි බිල ස්ථිර වශයෙන්ම වැඩිකළ යුතු යැයි ආණ්ඩුවේ යම් පිරිසක් පවසන අතර තවත් පිරිසක් ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කරයි. ජනතාව දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින මේ අවස්ථාවේ විදුලි බිල වැඩිකර තවත් ජනතාව පිට බර පැටවීම නුසුදුසු බව පිරිසගේ අදහසයි. එසේම ඉදිරියේදී පළාත් පාලන ජන්දය පැවැත්වීමට නියමිත බැවින් මේ අවස්ථාවේ විදුලි බිල වැඩිකිරීම නුසුදුසු බව මේ පිරිස දරන ස්ථාවරයයි. අවංකවම ජනතාව ගැන සිතා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වනවාද එසේත් නැතිනම් ඡන්දය නිසා ඊට විරුද්ධ වනවාද යන්න දන්නේ ඔවුන්ම පමණි.

● නව ගාස්තු වැඩිවීම

වැඩිවීමට යෝජිත නව ගාස්තු ක්‍රමය යටතේ ගෘහස්ථ අංශයේ පාරිභෝගිකයන්ගේ ස්ථාවර ගාස්තුව රු.1500 කි. ගෘහස්ථ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් යෝජනා 5 ක් ඉදිරිපත් කොට ඇත.

පසුගිය අගෝස්තු මස සිදුවූ විදුලි ගාස්තු සංශෝධනයෙන් පසු රට පුරාම පිහිටි පන්සල් වලින් එයට දැඩි විරෝධයක් එල්ලවිණි. ආගමික නායකයන් හා බලශක්ති ඇමැතිවරයා අතරද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අතරද මේ ගාස්තු සංශෝධනය පිළිබඳ වචන හුවමාරුවීම් සිදුවිය. එහිදී එක් අවස්ථාවක මහජන උපයෝගිතා කොමිසම මගින් ආගමික ස්ථානවල විදුලි බිලේ යම් සංශෝධනයක් කරන බවට පොරොන්දු විය. නමුත් නව ගාස්තු සංශෝධනයෙන් එලෙස ලැබුණු සහන සියල්ල අහෝසි කිරීමට යෝජනා කර ඇත. ඒ මෙතෙක් කලක් ආගමික ස්ථාන භාවිත කරන විදුලි ඒකක 180 ට වැඩි ඒකකවලට අයකරනු ලැබූ රු. 32 වෙනුවට රු.50-60 ක අතර මිලක් යෝජනා කරමිනි. ආගමික ස්ථාන සඳහාද විදුලි බිල වැඩිකිරීමට යෝජනා 5 ක් ඉදිරිපත් කොට ඇත.

කර්මාන්ත අංශයටද විදුලි බිල් සංශෝධන යෝජනා 5 ක් ඉදිරිපත් කොට ඇත. අවසන් වරට සිදුවූ ගාස්තු සංශෝධනයක් සමඟ විදුලි බිල දරාගැනීමට බැරිව බොහෝමයක් කර්මාන්තශාලා වැසීගොස් ඇති අතර ඉතිරි කර්මාන්තශාලාද නව ගාස්තු වැඩිවීමත් සමඟ වැසීයාමේ අවදානමට ලක්වේ. රට පුරා කර්මාන්තශාලා වැසීගොස් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වුවහොත් එයට වගකියන්නට සිදුවන්නේද ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහ විදුලිබල මණ්ඩලය මේ තත්ත්වයට පත්කළ නිලධාරීන්ටය. කාබනික පොහොර විගඩමක් නිසා රටට වුණු හානිය ජනතාවට තවමත් මතකය. එක් පුද්ගලයෙක්ගේ එක තීරණයක් නිසා මුළු රටේම ජනතාවට ඊට වන්දි ගෙවීමට සිදුවිය. විදුලි බිල මේ ආකාරයෙන් වැඩි කෙරුවහොත් සිදුවන්නේද කර්මාන්තශාලා වැසීගොස් ඒ ආකාරයේම ව්‍යසනයකි.

ඇමැතිවරයාගේ ක්‍රියාකලාපයට ඉංජිනේරුවන් කැමැති නැත. ඉංජිනේරුවන්ගේ ක්‍රියාමාර්ගවලට අනෙක් සේවකයෝ කැමති නැත. ඉංජිනේවන් පවා ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ වශයෙන් පිල් බෙදී එක් කොටසක් කියන දේට විරුද්ධව අනෙක් පාර්ශ්වය අදහස් පළ කරයි. වෘත්තීය සමිතියක් කියන දේට කරන දේට අනෙක් වෘත්තිය සමිතිය අකැමැතියි. මේ එක් අයෙක් තුළවත් ආයතනය වැටී ඇති තැනින් ගොඩගැනීමට සැබෑ වුවමනාවක් නැත. එකෙක් පරයා අනෙකා කැපී පෙනීමට උත්සාහ දරයි. නමුත් මේ සියලු දෙනා ඔවුන්ගේ වරප්‍රසාද නැතිවන විට එක මිටට එක්වේ.

● බෝනස් ගැන විවිධ කතා

ආයතනයක බෝනස් ගෙවනු ලබන්නේ එම ආයතනය ලාභ ලබනවා නම් පමණක් බවත් එනිසා මෙවර බෝනස් ගෙවිය නොහැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන, බලශක්ති ඇමැති කංචන විජේසේකර මෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේද අදහසයි. එසේම පසුගිය අගෝස්තුවේ විදුලි බිල කරන අවස්ථාවේ දැමූ එක් කොන්දේසියක් වූයේද මේ අවස්ථාවේ පාරිතෝෂික දීමනා ගෙවීමෙන් වළකින ලෙසයි. විදුලිබල මණ්ඩලය පැත්තෙන් ගත්විට බොහෝ දෙනාගේ අදහස වන්නේ බෝනස් දෙනවා නම් හොඳයි යන අදහසයි. නමුත් නොදෙනවානම් මෙවර ඊට විරුද්ධ නොවන බව පවසයි.

● ගල් අඟුරු අර්බුදය උග්‍ර වේ

මේ වනවිට ගල් අඟුරු අර්බුදය උග්‍ර අතට හැරී තිබේ. මේ සටහන කියවන මොහොත වනවිට ලක්විජය බලාගාරය සතුව පැවැති අවසන් ගල් අඟුරු ප්‍රමාණයද අවසන්වී තිබිය යුතුය. ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් තරම් ගල් අඟුරු සංචිතයක් නොතිබීම හේතුවෙන එක් ජනන යන්ත්‍රයක් මේවන විට අලුත්වැඩියාවකට යැයි පවසා ක්‍රියා විරහිත කොට තිබේ. අනෙක් ජනන යන්ත්‍ර දෙකට දිනකට ගල් අඟුරු මෙටි්‍රක් 5000 බැගින් අවශ්‍ය වේ. එම යන්ත්‍ර දෙකට අවශ්‍ය ප්‍රමාණයද මේ වනවිට අවසන් වී තිබිය යුතුය. අලුත් අවුරුද්ද ලබන්නේම රටේ අනෙක් හැම ක්‍ෂේත්‍රයක් සේම විදුලිබල ක්‍ෂේත්‍රයටද බරපතළ අර්බුද සහිතවය. එක් පැත්තකින් අහස පොළොව නුහුලන මිල වැඩිකිරීම්ය. අනෙක් පැත්තෙන් පැය 8-10 ක් විදුලි කප්පාදුවක සේයා මතුවෙයි. තවත් පැත්තකින් නිමක් නැති අලාභය.

මේ වනවිට ගල් අඟුරු නැව් තිහකට අධික සංඛ්‍යාවක් ගබඩා කළ හැකි භූමිය එක් ගල් අඟුරු නැවක්වත් නැතිව හිස් භූමියක් බවට පත්ව ඇත. ඇතැම් ස්ථානවල තණකොළ පවා වැවී ඇත්තේ කාලයකින් එම ප්‍රදේශවල ගල් අඟුරු තැන්පත් නොකළ බැවිනි.

● මීළඟ ගල් අඟරු නැව

බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වීම සඳහා ඉන්දුනීසියානු සමාගමකට මේ වනවිට අනුමැතිය ලබාදී තිබේ. මීළඟ ගල් අඟුරු නැව ජනවාරි 5 වැනිදා වන විට ගෙන්වා ගත හැකි බවත් ජනවාරි මාසය තුළ ගල් අඟුරු නැව් 7 ක් ගෙන්වීමට බලාපොරාත්තුවන බවත් ඇමැතිවරයා පවසයි. නමුත් ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ ගල් අඟුරු නැවක් කිසිදු බාහිර උපද්‍රවයක් ඇති නොවුණහොත් ගොඩබෑමට දින 5 ක කාලයක් ගතවන බවයි. ඒ අනුව ගල් අඟුරු නැව් හත ගොඩබෑමට දින 35 ක් ගතවේ. ඇමැතිවරයා කලින් පැවසූ දින වකවානුවලට කිසි දින මෙරටට නැව් පැමිණියේ නැත. එසේම ඇමැතිවරයා පවසන ආකාරයට මේ වනවිට ගල් අඟුරු නැව් පෝලිමේ මෙරටට ළඟාවෙමින් තිබිය යුතුය.

ඇමැතිවරයා සඳහන් කරන තවත් කාරණයක් වන්නේ පුත්තලමෙන් ගල් අඟුරු නිසි කලට ගොඩබාගත නොහැකි වුවහොත් ත්‍රිකුණාමලය වරායෙන් ගොඩබා ලොරි රථ මගින් ප්‍රවාහන කරන බවයි. එය කෙතරම් ප්‍රායෝගිකද යන්න ගැටලු සහගතය. මන්ද ත්‍රිකුණාමලයේ සිට බලාගාරයට කිලෝමීටර් 200කට වඩා තිබේ. නැව් 30ක ගල් අඟුරු ගෙන ඒමට ලොරි රථ කීයක් අවශ්‍යද සහ ඒ සඳහා යන වියදම කොතෙක්දැයි බැලුවහොත් එම මුදල්වලින් තවත් ගල් අඟුරු නැවක් මිලට ගතහැකි වනු ඇත.

එසේම ඇමැතිවරයා ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ මේ සඳහා වගකිවයුතු බවත් උන්වහන්සේ නඩු නොපැවරුවානම් මේ වනවිට ගල් අඟුරු ගොඩබා අවසන් බවත් පවසයි. නමුත් උන්වහන්සේ නඩු පැවැරුවේ එම ගනුදෙනුව විනිවිද ස්වභාවයෙන් තොර වීම නිසාය.

● හදිසි මිලදී ගැනීම්වලට සූදානම් වීම

ලබන වසරේ අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීම සඳහා පෞද්ගලික අංශයේ ඩීසල් බලාගාරවලින් හදිසි විදුලි මිලදී ගැනීම සඳහා සූදානම් වන බවට ආරංචි වේ. නිලධාරීන් මෙන්ම බලධාරීන්ද දිගින් දිගටම රටේ ස්ථාවර විදුලි පද්ධතියක් ඇති කිරීමට උනන්දු නොවන්නේ හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ වැඩි මිලට විදුලිය මිලදී ගැනීම හරහා කොමිස් ලබාගැනීමටද?

මේ කාලයට ඇතිවන විදුලි අර්බුදය මේ වසරේ පමණක් ආ දෙයක් නොවේ. සෑම වසරකම මේ කාලයට විදුලි අර්බුදයක් ඇතිවන බව පොඩි දරුවාගේ පටන් දන්නා කරුණකි. නමුත් වසර 100 ක් ගියත් ඒ සඳහා ස්ථිර පිළියම් යොදන බවක් නම් නොපෙනේ.

එසේම හිටපු විදුලිගල ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම මේ දිනවල නිතර අදහස් පළකරනු දක්නට ලැබේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරේ යොමුවන ලෙස පවසයි. නමුත් ඔවුන් එම තනතුරේ සිටි කාලයේ පොල් ගෑවාදැයි කියා අපට අසන්නට සිදුවේ. හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා වැයකරන මුදලින් ජනතාවට කොටස් වශයෙන් ගෙවීමට සූර්ය පැනල හා බැටරි ලබාදුන්නා නම් මේ ගැටලුව විසඳී බොහෝ කල්ය. විදුලි අර්බුදයට විසඳුම් සෙවීම හරියට වඳුරන් ගෙවල් හදන්නාක් මෙනි.

විසඳුම් සෙවීමට පාලකයන් උත්සාහ නොකරන්නේ සහ ජනතා දුක ඔවුන්ට නොතේරෙන්නේ මහජන බදු මුදලින් ඔවුන් නඩත්තු වන නිසා බවත් කිසිදු වරප්‍රසාදයක් නොමැතිව සාමාන්‍ය ජනතාව මෙන් පෝලිම් වල ගොස් බෙහෙත් හේත් ගත්තා නම් සාමාන්‍ය ජනතාව මෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කළ නම්, සාමාන්‍ය කඩෙන් බඩු මිලට ගත්තානම් තම පෞද්ගලික මුදලින් ජල බිල්, විදුලි බිල් ගෙව්වානම් දේශපාලනඥයන් වීදුරු මන්දිර වලින් බිමට බසිනු ඇතැයි බොහෝ ජනතාව දරන මතයයි.

● ආගමික ස්ථානවලට සූර්ය පැනල

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබුණු සූර්ය පැනල පද්ධති ඉදිරි මාස 3 ඇතුළතදී මෙරට ආගමික සිද්ධස්ථාන වෙත නොමිලයේ ලබාදීමට නියමිත අතර මේවා කිලෝවොට් 5 ක ධාරිතාවකින් යුක්තය.

● සැලසුම් උපකල්පන මත ගාස්තු අයකළ නොහැකියි

විවිධ සැලසුම් උපකල්පන මත පදනම්ව පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු අයකළ නොහැකි බවත් මෙතෙක් තම කොමිසමට ලිඛිතව එවන් ඉල්ලීමක් ලැබී නොමැති බවත් ජනක රත්නායක මහතා පවසයි. එවන් ඉල්ලීමක් ලැබුණහොත් මහජනතාව සමඟද සාකච්ඡා කොට විදුලි බිල සංශෝධනය විය යුතු ආකාරය තීරණය කරන බවත් එතෙක් ඇමැතිවරයා කරන ප්‍රකාශවලට බිය විය යුතු නැති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පවසයි. කොමිසමට හැර වෙන කිසිදු අයෙකුට විදුලි බිල වැඩිකළ නොහැකි බවත් ඒකකයකට අයකරන මිල එක එක්කෙනාට තීරණය කළ නොහැකි බවත් සභාපතිවරයා පවසයි.

මේ වනවිට මෙරට දෛනික විදුලි අවශ්‍යතාව දිනෙන් දින පහළ යන තත්ත්වයක් මතුව තිබේ. ජනතාව මේ වනවිට නිකරුණේ එක විදුලි බුබුලක්වත් දල්වන්නේ නැත. එසේම පසුගිය මාස දෙකේම විදුලිබල මණ්ඩලය බිලියන 3ක ලාභයක් වාර්තා කොට ඇත. එසේ ලාභ ලබද්දීත් විදුලි බිල වැඩිකිරීමට සූදානම්වීම ගැටලු සහගතය. වෙනත් බොහෝ රටවල් අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පිරිසට අඩු මුදලක් අයකරයි. එසේම ඒකක 90 ට අඩුවෙන් විදුලිය භාවිත කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 68 ට වර්ෂයටම අවශ්‍ය විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය ගණන 2422කි. නමුත් ජල විදුලියෙන් වාර්ෂිකව නිපදවන ප්‍රමාණය ගිගාවොට් පැය 4460. මේ ඒකකයක ජනන වියදම රු. 5ටත් අඩුය. මේ මිලට නිපදවන විදුලිය අඩු ආදායම් ලාභීන්ට 56කට විකිණීමට සූදානම්වීම මොනතරම් සාධාරණදැයි ඇමැතිවරයා තම හෘදය සාක්‍ෂියෙන්ම විමසා බැලිය යුතුය.

ලොව බොහෝ රටවල් විදුලි උත්පාදනයට භාවිත කරන ජලය නැවත වතාවක් ඉහළ ප්‍රදේශවලට පොම්ප කර යළි යළිත් ප්‍රයෝජනයට ගනී. එසේම ජලය අධි පීඩනයට ලක්කර යකඩ පවා කැපිය හැකි යුගයක ජලය මීට වඩා කාර්ක්‍ෂමතාවයෙන් යුතු ක්‍රම සොයා බැලිය යුතුය.

අවම වශයෙන් මහජන උපයෝගිතා කොමිසමට, විදුලිබල මණ්ඩලය හෝ විදුලිබල අමාත්‍යාංශයට හෝ මේ ගැන නිසි වැටහීමක් නැත. අඩු වශයෙන් කොමිසම පත්කරන ආණ්ඩුවට හෝ මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බව පෙනී යයි. අවසාන වශයෙන් අපට පැවසීමට සිදුවන්නේ අද දිනෙන් ආරම්භ වූ නව වසර සමස්ත විදුලි පාරිභෝගිකයන්ටනම් සුබදායක නොවන බවයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment