අලුත් අවුරුද්දට තෙල් කෑම නොකෑවත් බ්ලඩ් ප්‍රෙෂර් ඉහළ යන හැටි

224

සිංහල දෙමළ අලූත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින හතරකි. එය සමරන්නට ජනතාව මෙවර සැරසෙන්නේ කෙසේදැයි කියා සොයා බලනු වෙනුවට ජනතාව ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි කියා විමසා බැලීම වටී. මේ වනවිට අප සියලූදෙනා ජීවත් වන්නේ මෙරට ඉතිහාසයේ මතු වූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේය. එය සෑම තරාතිරමකම ජනතාවගේ ඇඟට ඉතා තදින් දැනෙන්නට පටන් ගෙන ඇත. ලූණු කැටයේ සිට සෑම ආහාර වර්ගයකම මිල පාලනය කළ නොහැකි අයුරින් ඉහළ යමින් පවතී. උදෑසන වෙළෙඳ පොළට ගොස් මිලදී ගනු ලබන භාණ්ඩයේ මිල දහවල් වනවිට තවත් වැඩි වීමක් ඇති වන තරමට රටේ ආර්ථිකය පිරිහී ඇත.

වෙනදා භාණ්ඩයක මිල වැඩි වුව ද එය වෙළෙඳ පොළේ මිලදී ගැනීමට ඇත. නමුත් මෙවර භාණ්ඩවල මිල ගණන් ඉහළ යන අතරම ඒවා මිලදී ගැනීමට ද ජනතාවට පහසුකම් නැත. ඒ සඳහා පෝලිම්වල සිටින්නට සිදුව ඇත.

සාමාන්‍යයෙන් අප පෝලිමක සිට භාණ්ඩ මිලදී ගන්නේ වෙළෙඳපොළේ ඇති මිලට වඩා අඩුවෙන් දෙන විටදී ය. එවැනි පෝලිම්වල රැඳී සිටින්නේ බහුතරයක්ම සාමාන්‍ය පන්තියේ ජනතාවය.

නමුත් මෙවර පෝලිම්වල රැඳී සිටින්නට සිදුව ඇත්තේ වැඩි මිලට භාණ්ඩ මිලදී ගැනීමට ය. ඒ නිසා සෑම තරාතිරමකම ජනතාවට තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල හිඳින්නට සිදුව ඇත.

ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නට, භූමිතෙල් බෝතලයක් මිලදී ගන්නට, කිරිපිටි පැකට්ටුවක් මිලදී ගන්නට, වාහනයකට ඉන්ධන සපයා ගන්නට පැය ගණන් නොව, දින ගණන් පෝලිමේ හිඳින්නට තරම් රටේ ආර්ථිකය කඩා වැටී ඇත.

මෙවැනි පසුබිමක සෑම තරාතිරමක ම ජනතාව සිටින්නේ දැඩි මානසික පීඩනයකිනි. අප සියලූදෙනාට හෙට දවස ගැන අවිනිශ්චිත බවක් මතුව ඇත. එය මෙම මානසික පීඩනය තවත් වැඩි වීමට බලපා තිබේ.

අප සෑම කෙනෙකුට ම හුරු පුරුදු ජීවන රටාවක් ඇත. එය එකවර කඩා වැටී සුණු විසුණු වූ විට දරාගත නො හැකිය. ඉන් ඇති වන මානසික පීඩනය අපගේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරයි.

ඒ නිසා මේ වනවිට අප සෑම කෙනෙක්ම සිටින්නේ නො සන්සුන් බවකිනි. සුළු සිද්ධියක දී පවා කෝපවන මට්ටමට මනස පීඩාවට පත්ව ඇත.

මෙම තත්ත්වය මත අප සියලූ දෙනාගේ ශරීර සෞඛ්‍යය පිරිහෙමින් පවතී. රුධිර පීඩනය ඉහළ යන්නට පටන් ගෙන ඇත. රුධිරයේ සීනි මට්ටම වැඩි වන්නට ද පටන් ගෙන ඇත.

මෙවැනි පසුබිමක අපට නො දැනීම අපගේ ශරීරය තුළ ලෙඩ රෝග ඇති වීමට බලපාන පසුබිමක් ගොඩනැඟෙමින් පවතී.

මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ අප මේ වනවිට ගත කරන දැඩි මානසික පීඩනයෙන් යුතු ජීවිතයයි.

මනස සන්සුන් නොවූ විට සිරුරේ ඉන්ද්‍රිය කි‍්‍රයාකාරීත්වය ද වෙනස්වන බව වෛද්‍යවරු හඳුනාගෙන ඇත. ඒ නිසා හැකිතාක් මනස සන්සුන් කරගෙන දිවි ගෙවන්නට අපට උපදෙස් දෙන්නේ එබැවිනි. නමුත් පවතින රටේ බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අපට එලෙස මනස පාලනය කර ගන්නට හැකි පසුබිමක් උදා වී නැත.

දිනෙන් දින පවතින ගැටලූ ඉහළ යනු මිස විසඳුමක් පෙනෙන මානයක දැකගත නො හැකිය. මෙම තත්ත්වය හමුවේ අපට අපගේ මානසිකත්වය ශක්තිමත් කර ගැනීමට දැඩි අවධානයක් යොමු කිරීමට කාලය උදා වී ඇත.

මෙම ගැටලූ මට පමණක් නොව, අප සියලූදෙනාට මතුව පවතී. ඒ නිසා මේ හමුවේ මා හුදකලාව නොසිට සියලූ දෙනා සමග එක්ව ගැටලූවලට මුහුණ දීමට කටයුතු කරන බවට අධිෂ්ඨාන කර ගනිමින් මනස ශක්තිමත් කරගත යුතුය.

මෙවර සිංහල අලූත් අවුරුද්දට වෙනදා මෙන් කැවිලි පෙවිලි සාදා ගන්නට කිරිබතක් පිසගන්නට නො හැකිවිය හැකිය. ඒ හමුවේ පසුතැවෙන්නේ නැතිව පවුලේ සියලූදෙනා සමග සතුටින් දවස ගෙවන්නට අවධානය යොමු කළ යුතුය.

රට තුළ කුමන අර්බුද මතු වුව ද අපට වෙනස් කළ නොහැකි දෙයක් ඇත. එය දවස උදා වීම සහ ගෙවී යෑමය. එය සාමාන්‍ය පරිදි සිදු වේ. නමුත් එම දවස ගත කරන අපට යම් වෙනසක් කළ හැකිය. තමාට මෙම ආර්ථික ගැටලූවල බලපෑම මතු වී ඇති ආකාරය තේරුම් ගෙන ඒ අනුව දවසේ රාජකාරි කටයුතුවලට මුහුණ දෙන ආකාරය දවසේ ආහාර පාන ගනු ලබන ආකාරය ගමන් බිමන් යෑම, ඇඳුම් පැළඳුම් ඇඳීම ආදිය සකස් කරගත හැකිය.

අද අප සියලූ දෙනාගේම සෑම මට්ටමේ ම රැකියාවලට බලපෑමක් එල්ල වී ඇත. වෛද්‍යවරුනට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ හිඟ වී ඇත. රෝහල් වෙත යෑමට ප‍්‍රවාහන පහසුකම් අඩපණ වී තිබේ.

කාර්යාලයක සේවය කරන සේවකයන්ට විදුලිය පහසුකම් අඩාල වී ඇත.

රියැදුරු වෘත්තියේ යෙදෙන අයට තම වාහන ධාවනය කර ගැනීමට තරම් ඉන්ධන නොමැත.

වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන්ගේ සුපුරුදු වෙළෙඳ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී ඇත.

මෙලෙස සෑම තරාතිරමකට ම පොදුවේ තම සුපුරුදු ජීවිතයට බලපෑම් එල්ල වී ඇති නිසා මෙය මට පමණක් සිදුවූවා යැයි සිතමින් පසුතැවීමට හේතුවක් කර ගැනීම නොකළ යුතුය.

සිංහල අලූත් අවුරුද්දට කිරි උතුරුවන්න කිරි නැහැ. කැවුම් හදන්න පිටි හෝ තෙල් නැහැ. කිරිබතක් හදන්න හාල් මිලදී ගන්න බැහැ. ලිප පත්තු කරන්න ගෑස් නැහැ, ලෙසින් පවසන්නේ අප සිත් තුළ පවතින දැඩි පීඩාවය. එය කෙනකු ආවේගශීලීව පවසයි. තවත් අයෙකු දුක්බරව පවසයි. මේ අතර පිරිසක් විරෝධතා ලෙස එක්වෙමින් පවසති. තවත් අය සමාජ මාධ්‍ය ඔස්සේ එය ප‍්‍රචාරය කරති. මේ සියල්ලෙන්ම සිදු කරන්නේ තමා තුළ මතුව ඇති මානසික පීඩනය පිටකිරීමය. එය වරදක් නොවේ. මෙම පීඩාවන් සිත තුළ දරාගෙන කම්පනයක් ඇති කර ගැනීම අහිතකරය. ඉන් රුධිර පීඩනය ඉහළ යයි. ඇතැම් විට මේ නිසා හදිසි හෘදයාබාධ පවා මතුවිය හැකිය.

එසේම අප තුළ මතුවන මෙම ආවේග තවත් පුද්ගලයන්ට හැසිරවීමට ඉඩ නොදිය යුතුය. හිංසා කිරීම්, පහරදීම්, ප‍්‍රකෝප ගැන්වීම් ආදියට යොමු කර ගැනීමටට ඇති ඉඩකඩ ඇහිරිය යුතුය. විශේෂයෙන්ම තරුණ පිරිස තුළ ඇති වන නොමේරූ ආවේග පිට කිරීමේ දී එය අවියක් බවට පත් කර ගැනීම සුදුසු නැත. ඉන් ඔවුන්ගේ ජීවිත හානි පවා සිදු වේ.

මතුව ඇති ආර්ථි අර්බුද හමුවේ නිහඬවම පොදුවේ අප සියලූ දෙනා තුළ මානසික පීඩාව, කම්පනය මතු වනබව ද සිහි තබාගත යුතුය. ඒ නිසා වෙනදා නොමැති නොසනසුන් බවක්, නින්ද නොයෑමක්, අලස බවක් දැනේ නම් වහාම ඒ ගැන අවධානය යොමු කළ යුතුය.

අප බොහෝවිට සිතා සිටින්නේ වැඩිපුර සීනි, පිටි, තෙල් සහිත ආහාර ගත්විට පමණක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඉහළ යෑම සිදුවන බවය. නමුත් මානසික පීඩාවන් හමුවේ ද මෙම රෝග ඉහළ යෑමක් සිදුවන බව වෛද්‍යවරු හඳුනාගෙන ඇත. ඒ නිසා සිංහල අවුරුද්දට තෙල් සහිත ආහාර වැඩිපුර නොකෑවත්, සීනි, පිටි සහිත රසකැවිලි නොකෑවත් මානසික පීඩනය පාලනය කර නොගතහොත් රෝගී විය හැකි බව සිහි තබා ගත යුතුය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment