අලුත් අවුරුද්දේ ඩොලර් පැල කරමු!

189

2023 දීත් ආර්ථික පසුබෑමක්

ආර්ථිකය ස්ථාවර වීම 2023 අගභාගයේ දී

2024 සිට ආර්ථික වර්ධනයක්

අද (01) දිනෙන් ආරම්භ වන 2023 නව වර්ෂය ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක වර්ෂයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව රට බංකොළොත් වී ඇතැම් අය ප්‍රකාශ කරන පරිදි ආර්ථිකය ඝාතනය වූ 2022 වසරින් පසු ඒ සඳහා පිළියම් යොදමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ඇතිව එම අරමුදල සමග රජය එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ද ක්‍රියාත්මක කරමින් ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කර ගැනීමට මේ නව වසරේ (2023) දී හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මේ වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන ගමනේ අපි කිසියම් දුරක් පසුකර ඇත්තෙමු. ඒ සඳහා වන අයිඑම්එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ලබාගෙන ඇති අතර ඒ සඳහා වන එම අරමුදලේ විධායක සභාවේ අනුමැතිය මේ වසරේ (2023) පළමු මාස තුන අතුළත ලබාගත හැකි වනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. චීනයෙන් අප ලබාගත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළ කිරීම සම්බන්ධයෙන් වන මූල්‍ය සහතිකය තවමත් අපට නොලැබීම නිසා එම ක්‍රියාවලියේ අප මුලින් අපේක්ෂා කළාට වැඩි කිසියම් ප්‍රමාදයක් ද සිදුව ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ චීනයෙන් ඉතා ඉක්මණින් අපට ඒ සඳහා සහාය ලැබෙනු ඇති බවයි. ඒ මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන එම අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීම රඳා පවතිනු ඇත. මූල්‍ය අරමුදලෙන් එම අනුමැතිය හිමි වූ පසුව ඉතා ඉක්මණින් අපට ලබා දීමට නියමිත විස්තීර්ණ ණය පහසුමකට අදාළ පළමු ණය වාරිකය අපට ලබාදෙනු ඇත. ඒ මත අපට අප මුහුණ දී සිටින ඉතිහාසයේ බලවත්ම විදේශ විනිමය අර්බුදය සමනය කර ගනිමින් ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන ගමනේ ඉදිරියට ගමන් කිරීමට හැකිවනු ඇත.

ගෙවී ගිය 2022 වසර සමාජ, ආර්ථික හා දේශපාලන පෙරළි රැසක් සිදු වූ ඉතිහාසයේ පෙර නොවූ විරූ වර්ෂයකි. මේ නව වසරේ (2023) ආර්ථික අපේක්ෂා ගැන සඳහන් කිරීමට පෙර ගෙවී ගිය 2022 වසර ගැන ද සැකවින් අප සඳහන් කළ යුතුව ඇත. රට බංකොළොත් වීමට අමතරව ආර්ථිකමය වශයෙන් මහජනයා බලවත් ලෙස පීඩාවට පත් වීම නිසා ඇති වූ මහජන විරෝධතා සහ අරගල ක්‍රියාමාර්ග නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ විශාල මහජන වරමක් ලැබූ විධායක ජනාධිපතිවරයාට රටින් පැන යෑමට ද ඉන් පසුව ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ද සිදු විය. මෙවැන්නක් මීට පෙර කිසි දිනෙක සිදුව නැත. එසේම ඔහුට මේ රටේ අතිමහත් බහුතර ජනයා මහජන වරම ලබා දුන්නේ ඊට පෙර පැවති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දැරූ කුප්‍රකට බැඳුම්කර මගඩි පවා සිදු වූ යහපාලන රජය ගෙදර යැවීමටය. බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ද චෝදනා එල්ල වූ බව අපට මතකය. කෙසේ හෝ රට බංකොළොත් කළ මේ ගෝඨාභය රජයට එරෙහිව ඇති වූ මහජන විරෝධතා සහ අරගලය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළේ තමන් කෙරෙහි අසීමිත විශ්වාසයක් තබා තමාව රාජ්‍ය නායකයා බවට පත් කළ ජනවරමට සපුරා පටහැණි දෙයකි. එනම් යහපාලන රජයේ සිටි අගමැතිවරයා වූ සහ වත්මන් පාර්ලිම්න්තුවේ එක මන්ත්‍රීධුරයක් පමණක් හිමිව තිබූ එනම් එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාව වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමයි. පසුව පොහොට්ටු පක්ෂය ද එම පක්ෂයට ලද ජනවරම පවා නොතකමින් පාර්ලිමේන්තුවේ සහාය සහ ඡන්දය ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතාව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ද පත්කර ගත්තේය. මේ සියල්ලම දැන් සිදුව අවසන්ය. කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ රජය විසින් රට පත් කළ අවාසනාවන්ත තත්ත්වයේ සිට රටේ කිසියම් දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට වත්මන් රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන පාලනය සමත් වී ඇත. බඩු මිල සහ බදු බර කෙතරම් වැඩි වුවත් මේ නව පාලනයට පින්සිදු වන්නට කිසියම් දුරකට රටේ සාමාන්‍ය ජනජීවිතය ඇති වී ඇත. තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතුළු එකී නොකී පෝලිම් තත්ත්වය දැන් නැත. විදුලි කැපිල්ල තවමත් සුළු වශයෙන් තිබේ.

අධික බඩු මිල, බදු බර සහ විශේෂයෙන්ම විදුලි ගාස්තු වැඩි වීම ගැන මේ වන විට බරපතළ ලෙස මහජනයා මැසිවිලි නඟමින් සිටින බව ද රජය තේරුම්ගත යුතුව ඇත. ආර්ථික අර්බුදය සහ විනිමය අර්බුදය හේතුවෙන් මෙතරම් මහජනයා මත බර පැටවුණු සහ මහජනයා පීඩාවට පත් වූ වෙනත් කාලයක් නොමැති තරම්ය. මේ නිසා මේ කාලයේ පෙර නොවූ විරූ බොහෝ දේවල් සිදුව ඇත. තවදුරටත් සිදුවෙමින් ද තිබේ. රජය බිඳවැටුණු බදු ආදායම් වර්ධනය කර ගැනීම සඳහා බොහෝ බදු ප්‍රතිසංස්කරණ සිදුකර ඇති අතර ඉන් බොහොමයක් අද (01දා) සිට ක්‍රියාත්මක වීමට ද නියමිතය. එයින් ප්‍රධාන දෙයක් වන්නේ ආදායම් වැඩි කිරීමයි. මසකට රුපියල් ලක්ෂයකට වැඩි සහ වසරකට ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන සියලු දෙනාම අද සිට ආදායම් බද්දට යටත්වනු ඇත. පසුගිය කාලයේ සියයට 70 ද ඉක්මවා ගිය අධික උද්ධමනය හමුවේ ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය සලකන විට මසකට රුපියල් ලක්ෂයක් යනු දැන් මහ ලොකු මුදලක් ද නොවේ. එසේම රාජ්‍ය හා පෞද්ගලික නිලධාරීන්ගේ සියලු දීමනා ඇතුළත් වැටුප (දළ වැටුප) මත ද උපයන විට ගෙවීමේ බදු බර දැරීමට අද සිට ඔවුන්ට සිදුවනු ඇත. මේ නිලධාරීන් සඳහන් කරනුයේ අඩු තරමේ ඔවුන්ගේ මෙම ඉන්ධන සහ වාහන දීමනා මෙම බද්දෙන් ඉවත් කරදෙන ලෙසයි. එසේම ඒවා ඔවුන්ට ලැබුණත් ඒවා භාවිතා වනුයේ වහනයට ඉන්ධන ගැසීමට සහ වාහනයේ නඩත්තුව වෙනුවෙන් වන නිසා ඒ මත ද බද්දක් පැනවීම අසාධාරණ බවයි. නිලධාරීන් මෙසේ කියන අතරේ සාමාන්‍ය ජනයාට ද තමන් මත පැටවී ඇති බදු බර මත සහ අධික බඩු මිල මත නොයෙකුත් සහන ඉල්ලා සිටිය හැකිය. හේතුව නම් තවමත් රජයේ මුළු බදු ආදායමෙන් සියයට 77ක්ම තිබෙන්නේ වක්‍ර බදු වීමයි. කෙසේ වෙතත් අප කියන්නේ රාජ්‍ය බදු ආදායම් වර්ධනය කරගත යුතු බව සත්‍යයක් නමුත් සංකෝචනය වන ආර්ථික තත්ත්වයක් තුළ මේ සිදුකළ බදු ප්‍රතිසංස්කරණවල සුදුසු නම්‍යශීලීභාවයන් (වෙනස්කම්) ඇති කිරීම ද සුදුසු බවයි.

අලුත් අවුරුද්දේ ඩොලර් පැල කරමු!

අපේ ආර්ථිකය ගිය වසරේ (2022) බංකොළොත් වීම ගැන ද යමක් සටහන් කළ යුතුව ඇත. විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් 2022 අප්‍රේල් මස 12 වන දින විදේශීය ණය පියවීම තාවකාලිකව අත්හිටුවීම පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කළේය. මේ තීරණය සහ මේ බව ප්‍රකාශයට පත් කිරීම ගැන විවිධ මත පළව තිබේ. මේ පිළිබඳව දේශපාලන විවේචන ද එල්ල වී ඇත. මේ සමග ‘ආර්ථික ඝාතනය’ යන වචනය ද කරළියට පැමිණ ඇත. මේ සියලු විවේචනවලට මෙන්ම ඒ සඳහා රජය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලබා දුන් පිළිතුරුවලට ද මහජනයා මේ වන විටත් සවන් දී ඇත. මෙහි ඇත්ත නැත්ත ගැන අපෙන් ද බොහෝ දෙනා විමසනු ලබයි. කෙසේ වෙතත් රජය පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින විදේශීය ණය පියවීම අත්හිටුවා ඇති බව ප්‍රකාශ කිරීම නිවැරදි තීරණයක් බවයි. පෙර දැනුම්දීමකින් තොරව සිදු කෙරෙන ණය පැහැර හැරීමක් ඇති වීම වැළැක්වීමට සහ රට ඒ වන විට අත්විඳිනවාට වඩා අයහපත් ප්‍රතිඵල අනාගතයේ දී ඇති වීම වළක්වා ගැනීම සඳහා ඒ අවස්ථාවේ ගත හැකිව තිබූ එකම විකල්පය එය බවත් රජය ප්‍රකාශ කර ඇත. එසේම මේ ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ඉතා පැහැදිලිව කරුණු දක්වා ඇත.

රජය විසින් 2022 අප්‍රේල් මස 12 වන දින සිදු කළ විදේශීය ණය පියවීම තාවකාලිකව අත්හිටුවීම පිළිබඳව ආර්ථිකය ඝාතනය කිරීම ඇතුළු නොයෙකුත් විවේචන එල්ල වී තිබෙන නිසා මේ ගැන සාමාන්‍ය ජනයා තුළ ද කිසියම් ව්‍යාකූලභාවයක් ඇත. මේ නිසා මේ ගැන කරුණු විමසා බැලීම ඉතා වැදගත් වේ. එවිට රජය විසින් 2022 අප්‍රේල් මස 12 වන දින සිදු කළ විදේශීය ණය පියවීම තාවකාලිකව අත්හිටුවීම ඒ වන විට පැවති විදේශ මුදල් තත්ත්වය හා පියවීමට තිබූ විදේශ මුදල් වගකීම් අනුව සිදු කළ එකක් බවත් ඒ වන විටත් අපට විදේශ ණය පියවීමට නොහැකි තත්ත්වයකට රට පත් කර අවසන්ව තිබූ බවත් පැහැදිලි වන්නකි. මෙසේ අපට විදේශ ණය පියවීමට නොහැකි තත්ත්වයක් ඇති වූයේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටය. මින් පෙර හැම විටම කලට වෙලාවට අප විසින් සියලුම විදේශ ණය වාරික පියවා ඒ පිළිබඳ නිකැළැල් ඉතිහාසයක් අපට ඇත. එහෙත් 2022 අප්‍රේල් මාසය වන විට අපගේ භාවිත කළ හැකි සංචිත ප්‍රමාණය හොඳටම පහත වැටී අපට විදේශ ණය පියවීමට නොහැකි තත්ත්වයක් උදා විය. මේ නිසා 2022 අප්‍රේල් මස 12 දින විදේශීය ණය පියවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට සිදු විණි. ඇතැම් අය මේ ප්‍රකාශය සිදු කිරීම බලවත් වරදක් ලෙස දක්වන නමුත් එසේ ප්‍රකාශයට පත් කිරීමට සිදු වූයේ ඊට පෙර විදේශ ණය ගෙවාගත නොහැකි තත්ත්වයට (බංකොළොත් තත්ත්වයට) රට පත් කළ නිසා බව ද අප තේරුම්ගත යුතු කරුණකි. ආර්ථික ඝාතනයක් ලෙස මේ අනුව අප හඳුනාගත යුතු වන්නේ ණය පියවීම තාවකාලිකව අත්හිටුවීම ගැන අපේ ණය හිමියන්ට ප්‍රකාශ කිරීම නොව ඒ තත්ත්වයට රට පත් කිරීමයි. අප වපුරන ලද දේ අපට නෙළා ගැනීමට සිදුව ඇත. ඒ නිසා මෙයට බලපෑ හේතු කාරණා අප විසින් හඳුනා ගැනීම ද ඉතා වැදගත්ය. ඒවා හඳුනා ගන්නා අතරම වඩාත්ම වැදගත් වන්නේ මේ ආර්ථික අගාදයෙන් ගොඩ ඒම සඳහා වන ක්‍රියාවලිය වේගවත් කරමින් රටේ බිඳවැටුණු, ඝාතනය වූ ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත් කර ගැනීමයි. එය මේ උදා වූ නව වසරේ (2023) අපගේ ප්‍රධාන කර්තව්‍ය වනු ඇත.

එහි දී අපගේ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී ඇති වැඩසටහන හා එහි සඳහන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අංශය ද ඇතුළුව සියලුම පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය වේ. රටේ දේශපාලන ස්ථාවරත්වය ද එහිදී වැදගත් වේ. ඒ සඳහා මහජන සහාය ද අවශ්‍ය වනු ඇත. එසේ නම් ඇතැම් අය කියන පරිදි අපේ ආර්ථිකය ඝාතනය කිරීමට බලපෑ හේතු නිවැරදිව හඳුනා ගන්නා අතරම ඒ තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා ගන්නා සියලුම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව, ව්‍යාපාරික සහ ආයෝජක ප්‍රජාවන් ඉතා හොඳින් දැනුවත් කරන පැහැදිලි සන්නිවේදනයක් ද තිබිය යුතු වේ. ජාතියම විපතට පත්ව ඇති මේ මොහොතේ එම සන්නිවේදනය ද යම් ආකාරයකින් හෝ රට ගොඩ ගැනීමේ ක්‍රියාවලියට ඉවහල් වනු ඇතැයි යන්න මේ ලියුම්කරුගේ අපේක්ෂාවයි.

මෙවර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලීමට පෙර සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ පෙර උත්සාහයන් සියල්ල නිෂ්ඵල වී ඇත. එනිසා, 2020 වසර මුල සිට ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම් මධ්‍යයේ ජපානය වැනි වෙළෙඳපොළවල්වලින් සාම්ප්‍රදායික නොවන මූල්‍යකරණය ඇතුළුව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශය අපට අහිමි විය. මේ හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය සැලකිය යුතු ලෙස ප්‍රමාද වී ඇති බව පැහැදිලිය.

අලුත් අවුරුද්දේ ඩොලර් පැල කරමු!

මෙම ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ අඩුවෙමින් පවතින විදේශ විනිමය සංචිත අඛණ්ඩ ණය සේවාකරණය සඳහා යොදා ගන්නා ලද අතර, ආර්ථිකයේ අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පත් සුළු වශයෙන් හෝ ඉතිරි නොවීය. මෙය ඉන්ධන, ආහාර පිසීමට භාවිතා කරන ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා දිගු පෝලිම් ඇති වීමට හේතු වූ අතර, දිනකට පැය 13ක් දක්වා විදුලිය විසන්ධි වීමත් සමඟ පෙර නොවූ විරූ සමාජ දේශපාලන නොසන්සුන්තාවක් ඇති විය. මෙම පෙර නොවූ විරූ සිදුවීම් මගින් 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින විදේශීය ණය සේවාකරණ ගෙවීම් තවකාලිකව අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට පෙර මාස කිහිපයක් තිස්සේ වර්ධනය වෙමින් තිබූ ආර්ථික අර්බුදයේ බරපතළකම මෙරට මහජනයා අත්වින්ද බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, 2022 වසරේ මාර්තු මස 16 වන දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධවීමට ගත් තීරණය සමඟ විදේශීය ණය සේවාකරණ ගෙවීම් තවකාලිකව අත්හිටුවීම පිළිබඳ ප්‍රකාශය වැටී ඇති ආර්ථිකය දරුණු තත්ත්වයෙන් ගොඩගැනීමේ කිසියම් ආරම්භක පියවරක් වී ඇත.

විදේශීය ණය සේවාකරණ ගෙවීම් තාවකාලිකව අත්හිටුවීම රජය විසින් ප්‍රකාශ කිරීමෙන්, ශ්‍රී ලංකාව 2022 වසරේ අප්‍රේල් මස 18 වැනි දින කිසිදු පූර්වගාමී ක්‍රියාමාර්ගයකින් හෝ සන්නිවේදනයකින් තොරව විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීමට එරෙහිව පෙර දැනුම් දී ණය පැහැර හැරීමකට ලක් වූ බව සත්‍යයකි. එහෙත් එමඟින් ඊටත් වඩා අහිතකර වෙළෙඳපොළ ප්‍රතිඵලයක් වළක්වා ගත හැකි විය. ඒ තීරණය නිසා රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට තම ණය හිමියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කාලය සහ අවකාශය ලබා දෙන අතරම, විදේශීය ණය සේවාකරණ ගෙවීම් තාවකාලිකව අත්හිටුවීම සහ අන්තර්කාලීන ණය ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය නිසා ඉන්ධන වැනි තීරණාත්මක ආනයන සඳහා මෙන්ම ගෑස් සහ බෙහෙත් යනාදිය සඳහා ගෙවීමට විදේශ විනිමය සම්පත් වෙන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. අද වන විට අපට කිසියම් දුරකට හෝ සාමාන්‍ය ජනජීවිතයක් උදා වී ඇත්තේ මේ නිසාය.

ගිය වසරේ (2022) සිදු වූ සැලකිය යුතු ආර්ථික පසුබෑමෙන් පසු මේ වසරේ (2023) තවදුරටත් ඊට වඩා අඩු මට්ටමකින් ආර්ථිකය පසු බෑමට පත්වනු ඇත. එහෙත් එම ආර්ථික පසුබෑම සමග ආර්ථිකය කිසියම් දුරකට ස්ථාවර කරගෙන ලබන වසරේ (2024) ආර්ථික වර්ධන මාවතකට පත්කර ගැනීමට ද අපට හැකි වනු ඇත. මේ ගැන පසුගිය දා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා’ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව සලකා බැලීමේ දී, 2023 වසරේ අගභාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතකට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් කාලෝචිත ලෙස ආර්ථිකයේ සියලු අංශ ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ පවතින අප්‍රතිහත කැපවීම මත මෙම වැඩසටහනේ සාර්ථකත්වය පදනම් වන අතර ඒ සඳහා දරන ප්‍රයත්න දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන්ට අදාළ වෙනස්කම්වල බලපෑම්වලින් තොරව සිදු වීම සහතික කළ යුතුය.’

මේ අනුව පැහැදිලි වන්නේ මේ වසරේ (2023) දීද ආර්ථිකය කිසියම් මට්ටමකින් යථා තත්ත්වයට පත්වීම ආරම්භ වනුයේ වසරේ අග භාගයේ සිට බවයි. ඒ නිසා මේ වසරේදීද රට මුහුණ දී සිටින බලවත් ආර්ථික හා විනිමය අර්බුදය හමුවේ පොදු මහජනයාට සැලකිය යුතු දුක් පීඩා විඳීමට තවදුරටත් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඉදිරි කාලය තුළ ද ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තවදුරටත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජයට සිදුවනු ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියන පරිදි අස්ථාවර වූ ආර්ථිකය ස්ථාවර කිරීමට ගැනීමට සිදුවනු ඇත්තේ ජනප්‍රිය තීරණ නොව වේදනාකාරී තීරණය. ඒ අනුව එම තීරණවල වේදනාව සහ පීඩාකාරී බව ද මහජනයාට ව ඩ වඩාත් දැනෙනු ඇත. ඒ නිසා මේ ක්‍රියාවලියේ දී රජය පැත්තෙන් බලවත් ලෙස ආදර්ශ අවශ්‍ය අතරම මහජනයාගේ පැත්තෙන් ද ලොකු ඉවසීමක් අවශ්‍ය බවට සැකයක් නැත. එසේම වැඩිකර ගන්නා බදු ආදායම්වලින් වඩාත්ම පීඩාවට පත්වන කණ්ඩායම් වෙනුවෙන් සහන සැලසීම ද අවශ්‍ය වනු ඇත. මේ අනුව අද සිට ආරම්භ වන්නේ ඝාතනය වූ සහ වැටුණු ආර්ථිකය ස්ථාවර කර ගැනීමට පදනම දමාගත යුතු තීරණාත්මක වසරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment