අලුත් අවුරුදු දින තුනේ මරණ 17 ක් : 573 ක් රෝහලේ

296

අලුත් අවුරුද්දේ දින 03 ක් තුළ (13, 14, 15) දිවයින පුරා සිදුවූ මනුෂ්‍ය ඝාතන, රිය අනතුරු හා දියේ ගිලීම් හේතුවෙන් මරණ 17 ක් සිදු වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මේ දින තුන ඇතුළත, කොළඹ, කළුබෝවිල, හොරණ රෝහල් තුනට විවිධ අනතුරුවලට ලක්වූවන් 573 ක් ඇතුළත් කර ඇත.

මනුෂ්‍ය ඝාතන 07 ක්, දියේ ගිලීම් 04 ක් සහ රිය අනතුරුවලින් 06 ක් මියගොස් ඇති බවට වාර්තා වී ඇත.

මනුෂ්‍ය ඝාතන අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා 26 හැවිරිදි කාන්තාවක මියයෑම, බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ බීමත් පියකු විසින් සිය මවට පහරදීමට යෑමේදී පුතා විසින් පහරදීම නිසා 57 හැවිරිදි පියා මියයෑම, එරාවුර් ප්‍රදේශයේ පවුල් ආරවුලක් නිසා සැමියා විසින් 62 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීම, ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු ඩී.ජේ. සංදර්ශනයකදී වෙඩි තැබීමකින් 18 හැවිරිදි සහ 36 හැවිරිදි දෙදෙනකු මියයෑම, අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු මියයෑම සහ සීදුව රාජපක්‍ෂපුර වෙඩි තැබීමකින් 45 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී ඇත.

කොබෙයිගනේ මොරගහවැව ප්‍රදේශයේ ළමුන් කිහිපදෙනකු දැදුරු ඔයේ දිය නාමින් සිටිදී 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියයෑම, රත්තොට කවුඩාගම්මන ඔයේ දිය නෑමට ගිය 29 හැවිරිදි පළාපත්වල ප්‍රදේශයේ පුද්ගලයකු මියයෑම, යටියන්තොට ප්‍රදේශයේදී කැලණි ගඟට ඇදවැටීමෙන් 42 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී ඇත.

බිබිල පොලිස් වසමේදී යතුරුපැදියක් පාපැදියක ගැටී සිදු වූ අනතුරකින් 59 හැවිරිදි යතුරුපැදිකරු මියයෑම, සාලියවැව පොලිස් වසමේ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව සිදු වු අනතුරකින් 33 හැවිරිදි පුද්ගලයකු මියයෑම, දොරටියාව කුරුණෑගල – මහනුවර මාර්ගයේ යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් 56 හැවිරිදි යතුරුපැදිකරු මියයෑම, පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේ අත්ට්‍රැක්ටරයක කන්ටේනර් රථයක් ගැටීමෙන් 09 දෙනකු තුවාල ලබා ඉන් 46 සහ 47 වැනි වියේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු මියයෑම, බුලත්සිංහල හොරණ මාර්ගයේ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව සිදු වු අනතුරකින් 22 හැවිරිදි ඉංගිරියේ පදිංචි තරුණයකු මියයෑම, කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව සිදු වූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයකු මියයෑම වාර්තා වී තිබේ. මෙම සිද්ධීන්වලට අදාළව සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

විවිධ අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට 34 ක්, කළුබෝවිල රෝහලට 148 ක්, හොරණ රෝහලට 82 ක් ඇතුළත් කර තිබූ අතර ඉන් 165 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහල් ප්‍රකාශකයෝ පැවසූහ. රෝහල්ගත කළ පිරිස අතර මාර්ග අනතුරුවලට ලක්වූවන්, නිවසේදී අනතුරුවලට ලක්වූවන්, කලකෝලාහල හේතුවෙන් රෝහල්ගතවූවන්, වැටීම් හේතුවෙන් රෝහල්ගතවූවන් වෙති.

මීට අමතරව ගිනිකෙළිවලට ලක්වූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි අතර කළුබෝවිල සහ හොරණ රෝහල්වලට ගිනිකෙළි හේතුවෙන් කිසිවකු ඇතුළත් කර නොමැති බව වාර්තා වේ.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment