අලුත් ආණ්ඩුව හදන්න පාර්ශ්ව තුනක එකඟතාව

904

අවුරුදු උණුසුමත් සමගම ගෙවීගිය පසුගිය සතිය දේශපාලනමය වශයෙන්ද තීරණාත්මක සතියක් විය. ජනතාව අවුරුදු කන්නට මොන තරම් සූදානම් වූවත් හතර වටින්ම එල්ල වූ අපමණ බාධා නිසා ජනතාව හොඳටම හෙම්බත්ව සිටියහ. අවුරුදු කන්නට සරිලන ලෙස පොදු ජනතාවගේ ආදායම් තත්ත්වය යහපත් වූයේ නැතුවා සේම වියදම් පක්ෂය ද වෙනදාට වඩා තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබිණි. සහල්, පොල්, පොල්තෙල්, පරිප්පු, අල, ලූනූ ඇතුළු සියලු අත්‍යවශ්‍ය ආහාර වර්ග ජනතාවට සහනදායී ලෙස ලබා දෙන්නට රජය අසමත් වූහ. වෙනදා මෙවන් අවස්ථාවල ජනතාවට සහනයක් වන ස.තො.ස ආයතනය ද වැරැදි ඉහළ කළමනාකාරීත්වය නිසා මෙවර ජනතාවට සහනය නොව අසහනය බෙදා හදා දුන්හ. සහල් කිලෝව පිටස්තර වෙළඳපොළේ රුපියල් 200ට වඩා ඉහළ ගොස් තිබියදී ඊට වඩා අඩුවෙන් සතොස ජනතාවට සහල් ලබා දෙන්නට පියවර ගත්තත් එය සාර්ථක නොවූයේ සහල් කිලෝ පහකුත් සමග තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් ඇමැතිවරයා නිකුත් කර තිබූ නියෝගය නිසාය.

එක් පැත්තකින් බඩු මිල ඉහළ ගොස් තිබිණි. අනිත් පැත්තෙන් ගෑස් ප්‍රශ්නයට විසඳුමක් නොවීය. මහ වැසි වසිමින් සාමාන්‍ය ජනයාට අවුරුද්දට ගමනක් බිමනක් යන්නට ඉන්ධන හරියාකාරව සපයන්නට රජයට නොහැකි විය. අවුරුදු දවසේත් පෝලිම්වල අඩුවක් නොවීය. මේ සියලු කාරණා හේතුවෙන් ජනාධිපතිවරයාට හා රජයට එරෙහිව නැගෙමින් තිබූ ජනතා අප්‍රසාදය තව තවත් තීව්ර වන්නට විය. රජයට ඒ තත්ත්වය පාලනය කරන්නට හෝ සමනය කරන්නට කිසිම විසඳුමක් නොවීය.

තත්ත්වය එසේ තිබියදී රජයට එරෙහිව නැගෙමින් තිබූ විරෝධතාවන් හි උණුසුම තව තවත් වැඩිවන්නට වූයේ විරෝධතාකරුවන් ඒ විරෝධතාවය විනෝදයක් බවට පත් කරගනිමින් සාමාන්‍යකරණය කර ගැනීමත් සමඟය. ජනාධිපති ලේකම් කාර්යාලයට වම්පස විරෝධතාකරුවන්ගේ භූමිය තුළ ආරම්භ කරන ලද විරෝධතාවය ඉතා සාර්ථක වූයේ ඒ සඳහා පිටස්තර පාර්ශ්වවලින් ලැබුණු උදව් උපකාර හා ආධාර අනුබල නිසාය. කොළඹ නාගරික මුස්ලිම් ප්‍රජාව, දෙමළ ප්‍රජාව මෙන්ම ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාව තම තමන්ට පුද්ගලිකව ආණ්ඩුව සමඟ තිබූ නොහොඳ නෝක්කාඩුකම්වලට වාඩුව ගැනීමේ අවස්ථාවක් කර ගත්හ. ඒ නිසා විරෝධතාකරුවන්ට ඔවුන් අත දිගහැර වියදම් කරන්නා සේම අවශ්‍ය සෑම පහසුකමක්ම ළඟටම ගෙනැවිත් සපයා දෙන්නට ද අවස්ථාවක් කර ගත්හ.

කෙසේ වෙතත් අවුරුදු උත්සව සමය නිසාත් පසුගිය සතියේ මුළු රටටම බලපා තිබූ අයහපත් කාලගුණය නිසාත් ගාලු මුවදොර විරෝධතාව දවසක් දෙකක් ඔහේ ඔතන සිට කෑ ගසා විසිර යනු ඇතැයි රජය කල්පනා කරන්නට ඇත. එහෙත් පිටස්තරින් ලැබුණු උදව් උපකාර මත විරෝධතාව දිගින් දිගටම කල් පවතින තත්ත්වයක් පෙන්නුම් කළා පමණක් නොව, දවසින් දවස ඊට ඒකරාශි වන පිරිස් ද වර්ධනය විය. එතන සිට අදහස් ප්‍රකාශ කරන සමහර තරුණ තරුණියන්ගේ මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින්ගේ මතය වූයේ ගෝඨාභය ගෙදර යවා රට පාලනය කරන්නට අවශ්‍ය වන රාජ්‍ය යාන්ත්‍රණය තමන් ගෝල්ෆේස් පිටියෙන් ගොඩනඟා ගත යුතු බවය. තවත් සමහර මුස්ලිම්වරු කීවේ මෙම අරගලයේ සටන්කාමීන්ගේ තේමාව “ගෝඨා ගෝ හෝම් නොව, ගෝඨා ගෝ ජේල්“ බවට පත් කළ යුතු බවකි.

තත්ත්වය මේ ආකාරයෙන් වර්ධනය වනු දුටු ආරක්ෂක අංශ නිරතුරුවම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ ගාලු මුවදොර පිටියේ තත්ත්වය සාමාන්‍යකරණය කරන්නට නම් වහාම මෙම පිරිස විසුරුවා දැමිය යුතු බවය. එහෙත් ජනාධිපතිවරයා එම මතය ප්‍රතික්ෂේප කළේය. ඔවුන්ට උද්ඝෝෂණයක කරන්නට ඇති අයිතිය සුරකින ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ගාලු මුවදොර පිටියේ රැඳී සිටිමින් දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත් වූ නා නා විධ තරුණ කණ්ඩායම්වලට කිසිදු බාධාවක් නොවීය.

ආණ්ඩුවක් හදන්න ක්‍රියාන්විත රැසක්

මේ අතර අපේ රටේ දේශපාලන කරළියේ තවත් බොහෝ දේ වෙමින් තිබිණි. ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් කීපයක් ඔස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාන්විතයන් කීපයක්ම අපට දැක ගන්නට ලැබිණි. එක් ක්‍රියාන්විතයක් උත්සාහ කළේ යම් යම් සුළු වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙන ආණ්ඩුවේ බලය ස්ථාවර කර ගැනීමට ය. අවශ්‍ය නම් ආණ්ඩුවේ බහුතරය තබාගැනීමට විපක්ෂයෙන් මන්ත්‍රීවරු එකතු කර ගැනීමටද වෙනම ක්‍රියාන්විතයක් නෙළුම් මාවත කාර්යාලය ඔස්සේ ක්‍රියාත්මක වන බව දැනගත හැකි විය. ඊට ප්‍රතිවිරුද්ධව මේ තිබෙන ක්‍රමය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා අලුත් ක්‍රමවේදයකට අනුව ආණ්ඩුවක් ගොඩ නඟා ගත යුතු යයි සිතන පිරිසක් ද මෙම උද්ඝෝෂණකරුවන් අතර සිටියහ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන විපක්ෂයේ පක්ෂ 11 සන්ධානයේ නායකයෝ දිගින් දිගටම සාකච්ඡා කරමින් පාර්ලිමේන්තුව තුළ බහුතර බලය සහිත භාරකාර ආණ්ඩුවක් පත්කර ගන්නට අවශ්‍ය මතවාදී අරගලය මෙහෙයවමින් සිටියහ. ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් ගණනාවක් සමග සාකච්ඡා කරන්නට වූහ. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පක්ෂ එකොළහේ කණ්ඩායම් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ රජයේ මන්ත්‍රීවරු කණ්ඩායම සමඟ ද පසුගිය සතිය පුරාම ඔවුන් ඒ සඳහා සාකච්ඡා කළහ. මෙහිදී ඇතැම් සාකච්ඡා අසාර්ථක වූ අතර යම් යම් සාකච්ඡා සාර්ථක විය. සාකච්ඡාව දවසින් දවසම අලුත් වන තත්ත්වයක් තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සමග මේ සඳහා සාකච්ඡා කළේ පසුගිය සති අන්තයේ සිරිසේන මහතාගේ පැජට් පාරේ නිවසේදීය.

වහාම මේ තිබෙන ආණ්ඩුවේ බලය වෙනස් කර වෙනත් කණ්ඩායමක් ඉදිරිපත් වී ආණ්ඩුවක් සාදාගත යුතු යැයි කියන මූලික පදනම මත සජිත් ප්‍රේමදාස ද එම අදහසට එකඟත්වය පළ කළේය. එහෙත් ඒ කණ්ඩායමට අයිති විය යුත්තේ කවුරුද යන කාරණාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ද අදහස් විවිධ වූහ.

මේ අතර පසුගිය සතිය ආරම්භයේදී අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයාගේ නිල කාමරයේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මේ සාකච්ඡාවට පැමිණ සිටියේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ එකොළහේ කණ්ඩායමේ නායකයෝ පිරිසකි. ඊට අමතරව විජයදාස රාජපක්ෂ හා අනුර ප්‍රියදර්ශන යාපා ද මෙම සාකච්ඡාවටට පැමිණ සිටියහ.

“මේ වෙලාවේ මට පේන විදිහට සජිත් ප්‍රේමදාස ලා වෙනම විශ්වාසභංගයක් අත්සන් කරමින් ඉන්නවා. මේ ආණ්ඩුවට එරෙහිව අත්සන් 113ට වැඩියෙන් අරන් විශ්වාසභංගය ඉදිරිපත් කරන්නයි ඔවුන්ගේ සූදානම. මට පේන්නෙ අපි ඉදිරිපත් කරපු අන්තර්වාර පාලනය පිළිබඳ යෝජනාව ඊට වඩා අර්ථාන්විතයි. කෝ ඒ ගැන අපි ඉදිරිපත් කරන යෝජනාව ඇතුළත් ලියවිල්ල…” එසේ කියමින් මෛත්‍රීපාල සිරිසේන උදය ගෙන් ලියවිල්ල ගැන විමසා සිටියේ මීට පෙර ඔහුට එවන් යෝජනාවක් සකස් කරන ලෙස දී තිබූ උපදෙස් අනුවය.

උදය අවශ්‍ය ලිපි ගොනුව ඒ වන විටත් සකසා තිබිණි. එය ඔහු මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළේය. එය කියවා බැලූ නායකයෝ එම අවස්ථාවේදීම අදාළ යෝජනාව ඊමේල් හා ෆැක්ස් ආදි විවිධ ක්‍රම මගින් ජනාධිපතිවරයා වෙත ලැබෙන්නට පිටත් කර හැරියේය.

“අපි මේකෙන් යෝජනා කරන්නේ ආණ්ඩුවක් හදන්න නෙවෙයි. අර දින සීය ආණ්ඩුව කාලේ ජාතික විධායක සභාව පත් කළා වගේ සර්වපාක්ෂික සංයුතියකින් යුතු විද්වතුන් හා පරිණත දේශපාලනඥයන් සිටින ජාතික විධායක සභාවක් හදන්නයි. එමඟින් සර්වපාක්ෂික අන්තර්වාර පාලන මණ්ඩලයක් පිහිටුවලා මේ ප්‍රශ්න ටික විසඳා ගන්නා තුරු කෙටි කලකට ආණ්ඩුව භාර අරන් ඊට පස්සේ නිසි වෙලාවට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නයි අපි යෝජනා කරන්නේ…” විමල් හා උදය අදහස් පැහැදිලි කළහ. එම පාලන යාන්ත්‍රණය සඳහා තාවකාලිකව අගමැති ධුරයක් ද ඒ සඳහා පත් කළ හැකි දේශපාලනඥයන්ගේ නම් කීපයක් ද ඔවුන් යෝජනා කර තිබිණි. ඩලස් අලහප්පෙරුම, නිමල්සිරි සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු නම් කිහිපයක්ම එහි විය. මෙම යෝජනාව තුළ අවධානය යොමු විය යුතු කරුණු එකොළහක් පැහැදිලිවම දක්වා තිබිණි.

එම යෝජනාව ජනාධිපතිවරයා අතට පත් වී ටික වේලාවකට පසු උත්තරයක් ලැබිණි. එදා හවස වැඩිදුරටත් සාකච්ඡාව පවත්වා ගෙන යෑමට පක්ෂ එකොළහේ නායකයන්ට ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයට එන්නැයි ආරාධනා කර තිබිණි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නියෝජිතයෝ ජනාධිපතිවරයා සමග මේ ගැන තවදුරටත් සාකච්ඡා කරනු ලැබූහ. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත් කර වෙනම අගමැතිවරයෙක් පත්කර හදන යාන්ත්‍රණය සඳහා එකඟ වන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැමැති වූයේ නැත.

“හරි එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ලා ඕගොල්ලෝ 113ක බහුතරයක් පෙන්වන්න. ඊට පස්සේ මම කැමති වෙන්නම් ඕගොල්ලන්ට අවශ්‍ය විදිහේ පහළොස් දෙනෙක්ගේ කැබිනට් මණ්ඩලයක් පත් කරන්න…” ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ අභියෝගයකි.

ඒ අනුව එදින ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ එකොළහේ නායකයන් සමඟ කරන ලැබූ සාකච්ඡාව අසාර්ථක විය.

මේ අතරතුර අමුතුම දෙයක් තවත් පැත්තක සිදුවෙමින් තිබිණි. ඒ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා හා නෙළුම් මාවතේ මන්ත්‍රීවරු තුන් දෙනෙක් අතර රහසිගතව පැවැත්වෙමින් තිබූ සාකච්ඡාවයි.

ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා කලක් සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතම, විශ්වාසවන්තම දේශපාලනඥයා ලෙසය. එහෙත් ඔහු මීට සතියකට දෙකක කලක පටන් යම් නිහඬ පිළිවෙතක් පෙන්නුම් කළේය. අවසාන වරට ශ්‍රීලනිප නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවට ද ශාන්ත බණ්ඩාර සහභාගි වූවත් සියල්ල අසා සිටියා මිස ඔහු වචනයක් කතා කළේවත් නැත.

එහෙත් ඔහු දුරකථනයෙන් මෛත්‍රීපාල සිරිසේන අමතමින් එක් ඉල්ලීමක් කළේය…

“මට ඔබතුමා එක්ක පොඩි කාරණාවක් ගැන කතා කරන්න අවශ්‍යයි.. මට හම්බ වෙන්න ඕන. ..” ඒ අනුව දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහෙත් එහිදී කතාබහ වූයේ මොනවාද කියා කිසිවක් මාධ්‍යයට අනාවරණය වී තිබුණේ නැත.

හරින් හා මනුෂ සජිත්ට පාර කියයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයකුත් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයකුත් අත්සන් කරනවා යැයි සමගි ජන බලවේගය කල්වේලා ඇතිවම කීවත් සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් හිටියේ එක්තරා දෙගිඩියාවකය… අත්සන් කරනවා ද නැද්ද යන කාරණාව සම්බන්ධයෙන් ඔහු තවදුරටත් කල්පනා කළේය.

පසුගිය සතිය ආරම්භයේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙද්දී මේ ගැන ඉතා තදින් කතාබහ විය.

“නායකතුමා ඇයි මේ වැඩේ පටන් අරන් මගදි නතර කරන්නේ… අපි මේක ඉස්සරහට අරගෙන යා යුතුයි… කවුරු එළියෙ මොන මොන විප්ලව කරත් අරගල කරත් අවසානයේදී මේ ප්‍රශ්නය විසඳගන්න වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න අපිට මිසක් එළියෙ බෝඩ් අල්ලගෙන කෑ ගහන විරෝධතාකරුවන්ට නෙවෙයි…. ඒක නිසා පාරේ කරන ඔවුන්ගේ අරගලය අපි නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවේ කරමු…”

“මේ වැඩේ සාර්ථක වෙන්න නම් අපට බහුතරය තියෙන්නේ ඕන… බහුතරයක් නැතිව මගදී සවුත්තු වෙන්න බෑ…”

“ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච හතළිස් එක් දෙනෙක් ඉන්නවා… විපක්ෂයේ අනිත් බලවේග ඉන්නවා… ඇයි අපි මොකටද පස්ස ගහන්නේ… 113 හොයාගන්න එක අපි කරන්නම්…”

අවසානයේ මනුෂගේ හා හරින්ගේ දැඩි බලපෑම මත සජිත්ට විශ්වාසභංගයට හා දෝෂාභියෝගයට අත්සන් කරන්නට සිදුවිය. ඔහු ඒ දෙකටම එක විට අත්සන් තබා අන් අයටත් අත්සන් කරන්නට ලේඛනය භාර දුන්නේය…. මෙය සිදුවූයේ පසුගිය සඳුදා ය.

“අපි දැන් මේ අත්සන් කරල තියෙන්නේ ඩ්‍රාෆ්ට් එකකට… දැන් මේ ලියවිලි දෙකම අපේ නීතිඥ කණ්ඩායම්වලට දීලා නීත්‍යානුකූල භාවය රැකෙන විදිහට හරියාකාරව සකස් කරන්න…. එහෙම නැතුව පස්සේ නීති රීති මත ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියන්න එපා…” සජිත් උපදෙස් දුන්නේය…

අවසානයේ දී එසේ නීත්‍යානුකූලව සාදන ලද අවසන් කෙටුම්පත් දෙක අඟහරුවාදා උදේ සජිත්ගේ අතට ලැබුණු අතර ඔහු එයට ද අස්සන් තැබීය… එතැන් පටන් පාර්ලිමේන්තුව ඇතුළේ බහුතරය සෙවීමේ ඉතිරි වැඩකටයුතු සියල්ල භාර වූයේ හරීන් ප්‍රනාන්දුට හා මනුෂ නානායක්කාරට ය.

ශාන්ත බණ්ඩාරට පුටු නමයක්

ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පුරාම නොයෙකුත් කතා පැතිර ගියේය. ඇමැති මණ්ඩලය අද පත්වනවා යැයි කීපවරක්ම ආරංචි පැතිර ගියත් ඒ කිසිවක් සිදුවූයේ නැත. අවසානයේ පසුගිය 11 වන දා හවස ඇමැතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දෙන්නේ යැයි කතාවක් පැවතිණි.

එදින යම්කිසි දිවුරුම් දීමක් සඳහා ජනාධිපති කාර්යාලයේ සූදානමක් දක්නට ලැබිණි. ඉහළ උපදෙස් අනුව දිවුරුම් දීම සඳහා පැමිණෙන පුද්ගලයින් 9 දෙනෙකුට යැයි හැඟෙන සේ පුටු 11ක් සූදානම් කර තිබිණි.

ඒ අතර පියල් නිශාන්ත, සනත් නිශාන්ත, කනක හේරත්, කංචන විජේසේකර, මහින්දානන්ද, ජොන්ස්ටන් ඇතුළු දෙතුන් දෙනෙක් පැමිණ සිටියහ. එහෙත් අර සූදානම් කර තිබූ පුටුවල කිසිවෙක් වාඩි වූයේ නැත. අවසානයේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පැමිණ එම එක පුටුවක වාඩි වූයේය.

ජනාධිපතිවරයා පැමිණ දිවුරුම් දීමේ වැඩ කටයුතු ආරම්භ කළේය. ශාන්ත බණ්ඩාර තරුණ මන්ත්‍රීවරයාට ලබාදී තිබුණේ මීට පෙර ශෂීන්ද්‍ර රාජපක්ෂ හොබවන ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නට පසු ජනාධිපතිවරයා ශාන්තට විහිළුවක් කළේ ය.

“දැන් ඉතින් කාබනික ගොවිතැනයි කුඹුරු ටිකයි ඔක්කොම ගොඩදාලා දෙන්න ඕන… ඔබට ඒ වැඩේ කරන්න පුළුවන්…”

උත්සවය වැඩිවෙලා පැවැත්වුණේ නැත… බොහෝ දෙනෙක් කතා බහ කරන්නට වූයේ එතන එක පෙළට හිස්ව තිබූ අනිත් පුටු අට ගැනය. මේවයි කවුරු කවුරුහරි වාඩිවෙලා දිවුරුම් දෙන්න සූදානමක් තිබුණා… මොකක් හෝ හේතුවක් නිසා වැඩේ මඟ හැරුනා යැයි එතන සිටි හිටපු ඇමැතිවරු කතාබහ කළහ.

ශාන්ත බණ්ඩාරව මහ ගෙදරින් නෙරපයි

කලක් තමන් ළඟ සිටි විශ්වාසවන්තම දේශපාලනඥයා මෙන්ම මිත්‍රයා වන ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ අමතක කරමින් ආණ්ඩුවේ ඇමැති ධුරයක දිවුරුම් දුන්නා යැයි කියන කතාව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනට ආරංචි වූයේ එදා හවසය. එම ආරංචිය නිසා ඔහු කලබලයට පත්විය… වහාම දයාසිරි ජයසේකරට කතා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර දරන සියලු තනතුරු හා නිලතල අහෝසි කර ඔහුගේ මෙම ක්‍රියාකලාපයට විරෝධය දක්වා ප්‍රකාශයක් නිකුත් කරන්නැයි දයාසිරිට උපදෙස් දුන්නේය.

ශාන්ත බණ්ඩාර මෙසේ තීරණයක් ගන්නට ක්‍රියා කළේ කවර හේතුවක් නිසා දැයි පක්ෂය ඇතුළාන්තයේ සාකච්ඡාවක් ඇති විය… ඒ පැජට් පාරේ නිවස තුළය. බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් නෙළුම් මාවතේ මන්ත්‍රීවරු තිදෙනෙක් පැමිණ මේ සඳහා ශාන්ත බණ්ඩාර සමඟ සාකච්ඡා කර ඇතැයි කියා හිටපු ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා විය….

“එක්කෙනෙක් ගිහිල්ලා දිවුරුම් දෙන්න සූදානම් වුණා වෙන්න බෑ… දිවුරුම් දෙන දවසේ එතන හිස් පුටු නවයක් තිබිලා තියෙනවා. හැබැයි පුටු නවයෙන් එකයි පිරුණේ… තව අට දෙනෙක් ඔය අවස්ථාවට සහභාගි වෙන්න ඉඳලා තියනවා කියන එකයි ඒකෙන් කියවෙන්නේ.“

“ඔය කියන ඔක්කොම අපේ පක්ෂයේම අය වෙන්න බැහැ…”

“විමල් වීරවංශත් කිව්වා මන්ත්‍රීවරු තුන් දෙනෙක් ඇවිල්ලා ඒගොල්ලන්ගෙ පක්ෂයේ එක්කෙනෙක් එක්කත් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා කියලා. උද්දික ප්‍රේමරත්නයි, වලේබොඩ මන්ත්‍රීතුමායි දෙන්නා ගැනත් කියවෙනවා…”

“ඕවා ඔක්කොම බැසිල්ගේ වැඩ… ඔය වගේ කුමන්ත්‍රණ කරලා මේ පාර ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ…. ඔය විදියට සල්ලි දීලා එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන වැඩක් නෑ… මුළු පාර්ලිමේන්තුවම අනිත් පැත්ත ගහන වෙලාව වැඩි ඈතක නෑ. “ජනාධිපතිතුමා එක් පැත්තකින් අපේ සහයෝගය ගන්න අපිත් එක්ක හිතවත් ව කතා කරනවා… අපිට එක මූණක් පෙන්නනවා. අනිත් පැත්තෙන් අපේ මිනිස්සු සල්ලි දීලා ගන්නවා. වහාම මේ වැඩපිළිවෙළ නවත්තන්න ඕන සර්…” දයාසිරි කීවේය.

“වහාම ශාන්ත බණ්ඩාරට දීපු ඇමැති තනතුරු ආපහු

ගන්න ඕන. එහෙම නැත්තං මීට පස්සෙ ජනාධිපතිත් එක්ක කරන මොනම සාකච්ඡාවකටවත් අපේ මන්ත්‍රීවරු දහතුන් දෙනා එන්නේ නැහැ කියලා ලියුමක් යවන්න… ඒ විතරක් නෙවෙයි අනිත් පක්ෂ එකොළහේ කණ්ඩායමටත් අපි මේ යෝජනාව ඉදිරිපත් කරනවා…” මෛත්‍රීපාල සිරිසේන ඉතා තරහින් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර තිබූ හොඳ හිත හා අවබෝධය අවසන් වූයේ පසුගිය සතියේ ඒ ආකාරයටය.

මේ අතර එතැන සිටි අයෙකුගේ දුරකථනයට පණිවිඩයක් ආවේය.

“උද්ඝෝෂකයෝ පිරිසක් ඇවිල්ලා පක්ෂ කාර්යාලය වට කරලා… ගල්මුල් ගහන්න බැරි නෑ… මේ ආරංචිය නිසා කළ කලබලයට පත්වූ වූ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස වහාම එම කතාබහ නතර කර ඩාර්ලි පාරට පැමිණෙන්නට වාහනවලට ගොඩ වූහ.

ශ්‍රී ලනිපයට එරෙහිව බෙත්මගේ උද්ඝෝෂණයේ….

සාකච්ඡාව එසේ යන අතරවාරයේ ඩාර්ලි පාරේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් වූ බව ඇත්තය. උද්ඝෝෂණය සඳහා පැමිණ සිටියේ තරුණ කණ්ඩායමකි… ඔවුන් අරගලය පාවා දෙන්නට එපා යැයි කියමින් විප්ලවයට ජයවේවා යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැණ වදින්නට ද වූහ.

ඒ වන විට පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඉහළ මාලයේ එක්තරා සාකච්ඡාවක් කරමින් සිටියහ. තරුණ පිරිසක් මෙසේ තමන්ට කෑගහන්නේ මොකද කියා ඔවුහු උඩින් එබී බැලූහ… එතන හෙක්ටර් බෙත්මගේ සිටියේය.

“මුන් මොක්කුද මේ… මුන් කොහොමද අපිට විප්ලව පාවලා දෙන්න එපා කියන්නේ… අපි කවද්ද විප්ලව පාවලා දුන්නේ… යැයි බැණ වදිමින් හෙක්ටර් බෙත්මගේ එසේ කෑ ගසමින් සිටි උද්ඝෝෂකයන් අතරට ගියේය.

තමුසෙලා කවුද මේ විදියට අපේ පක්ෂයට චෝදනා කරන්න… අපිත් රාජපක්ෂ විරෝධියෝ තමයි. තමුසෙලාට වඩා රාජපක්ෂලා අපිට කරදර කරලා තියනවා. මෙන්න මෙයාට දෙනවා ඕක….”

කියමින් උද්ඝෝෂකයින් අත තිබූ විරෝධතා පුවරුවක් උදුරාගෙන හෙක්ටර් බෙත්මගේ ද ඒ මැද සිට සටන් පාඨ කියමින් කෑගසන්නට පටන් ගත්තේය. ඒ අතරතුරේ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස් පක්ෂ කාර්යාලයට පැමිණියේය. මෛත්‍රීපාල එනවිට එතන උද්ඝෝෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ හෙක්ටර් බෙත්මගේ බව දැක්කේය.

“සර් මේක හෙක්ටර් බෙත්මගේ ගෙ වැඩක්… මිනිහනේ මෙතන ලොක්කා වෙලා ඉන්නේ…” පිටිපසින් සිටි මන්ත්‍රීවරයෙක් කීවේය. මෛත්‍රීපාල, දයාසිරි ඇතුළු පිරිස් කඩාගෙන බිඳගෙන එතන ඉදිරියට ගිය විට උද්ඝෝෂකයන් නිහඬ වූහ…. හෙක්ටර් බෙත්මගේ එතන වූ සන්තෑසිය පක්ෂ නායකයන්ට පැහැදිලි කළේය…

“අපි සටන් අත අරින්නෙත් නෑ පාවලා දෙන්නෙත් නැහැ… අපි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපේ යුතුකම් කරනවා… ඕගොල්ලන්ට මෙතනට ඇවිල්ල කෑ ගහන්ඩ විලාප තියන්න අවශ්‍ය නෑ… ඔයාලට වඩා අපි සටන්කාමීයි… අන්න එක මතක තියාගන්න. කියමින් මෛත්‍රී එතනදී ද හොඳ කතාවක් කළේය… උද්ඝෝෂණයේ හඬ බාල වී නැති වී ගියේය.

ආණ්ඩුව වැඩ කරන්නේ මෙන්න මෙහෙමයිලු

දොළොස් වැනි දා උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තවත් වැදගත් රැස්වීමක් කැඳවා තිබිණි. මේ සඳහා පැමිණි සිටියේ අමාත්‍යාංශ ලේකම්වරු පිරිසකි. ජනාධිපති ලේකම් විසින් රැස්වීම මෙහෙයවනු ලැබූ අතර ජනාධිපතිවරයා ඊට සහභාගි වූ එකම දේශපාලනඥයා ය. මේ දිනවල අමාත්‍යංශවල අමාත්‍යවරු නොමැති නිසා සියලු වැඩකටයුතු හා වගකීම් භාරව සිටින්නේ අමාත්‍යංශ ලේකම්වරුන්ය. සාකච්ඡාව කැඳවා තිබුණේ ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටය.

මෙහිදී සාකච්ඡාවට ලක් වූයේ නව මහ බැංකුවේ අධිපතිවරයා පැමිණීමෙන් පසුව රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනට ඇති වී තිබෙන වෙනස්කම්වලට අදාළව අමාත්‍යංශ වැඩ කළ යුතු ආකාරය ගැනය. රාජ්‍ය මූල්‍ය හා විදේශ මුදල් සංචිත සම්බන්ධයෙන් අලුත් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබ තිබිණි. ඒවා මෙහිදී අනාවරණය විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී ගනුදෙනු කරන ආකාරය ගැන මෙන්ම රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණය කරන ආකාරය ගැනද මෙහිදී වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට ලක්විය. රජය තාවකාලිකව විදේශ ණය පියවීම් සියල්ල නතර කරන්නට තීරණයක් ගත් බවත් ඒ සඳහා ආරක්ෂිතව තබා ගෙන තිබෙන මුදල් සංචිත මේ දිනවල අත්‍යවශ්‍ය ඉන්ධන සහ අනිකුත් ද්‍රව්‍ය ගෙන්වීම සඳහා රජය වෙන් කරන බවත් මෙහිදී අනාවරණය විය.

රාජ්‍ය සේවය හා රාජ්‍ය නිලධාරීන් යොදවා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශ ලේකම්වරු පහළොස් දෙනෙකුගේ කමිටුවක් විසින් සාදන ලද යෝජනා ඇතුළත් කෙටුම්පතක් ද මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම් දිසානායක මහතා විසින් සභාගත කරනු ලැබීය. රාජ්‍ය නිලධාරීන්ට විදේශගත වීම සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මෙය පැය කීපයක් ම ගත වූ ඉතා තීරණාත්මක හා ඉතා වැදගත් සාකච්ඡාවක් විය.

නගරයේ ගමේ අවුරුද්ද සහ හිරගෙයි අවුරුද්ද

පසුගිය අවුරුදු දවස්වල අවුරුදු ගත කරන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව බලා පිටත්ව ගියේය. මේ අතර හිටපු ජනාධිපති මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අවුරුදු දිනට පෙර දිනයේ තංගල්ලේ කාල්ටන් නිවස බලා පිටත්ව ගියේ අවුරුද්ද වෙනදා මෙන් සුපුරුදු පරිදි එහි ගත කරන්නට ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් කොළඹ සිය නිවසේ සිට මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමරනු ලැබීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද පසුගිය සතියේ හම්බන්තොට බලා පිටත්ව ගියේ ඔහුගේ සුපුරුදු අවුරුදු කටයුතු වෙනදා මෙන්ම ඉටුකිරීම සඳහාය. සාමාන්‍යයෙන් ඔහු වෙනදා නම් ජීප් රථයක නැගී කැමරාව ද අතට ගෙන අවුරුදු දිනයේ නතරවන්නේ යාල මහ වනාන්තරයේය. අවුරුදු නැකතට සතුන් බලන්නට යෑම ඔහුගේ සිරිතයි. මේ අවුරුද්දේ ද ඔහුගේ එම සුපුරුදු චර්යාව අත්හදා බැලුවා නිසැකය.

අවුරුදු දිනයේ උදේ පාන්දර හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර ඇතුළු ජන බලවේගයෙ තරුණ පිරිසක් කිරිබත්, කැවුම්, කොකිස් ලොකු පාර්සලයක් රැගෙන වැලිකඩ බන්ධනාගාරය වෙත ගියේ ය. ඔවුන් එසේ ගියේ රන්ජන් රාමනායකගේ සුවදුක් විමසන්නට ය.

ඔබට ඔතන ඉන්න වෙන්නේ තව ටිකක් කාලයයි. අපේ නායකතුමාත් අපිත් ජනාධිපතිතුමා සමඟ ඔබ ගැන සාකච්ඡා කළා. ළඟදීම ඔබට ජනාධිපති සමාව ලැබේවි.

“දැන් ඉතින් වැඩකුත් නෑ වගේ… මට දඬුවම් ලැබුණෙ අවුරුදු දෙකයි. ඒකෙන් අවුරුද්දකුත් මාස හයක් දැන් ගෙවිලා ගිහින් ඉවරයි… තව ඉතිරි වෙලා තියෙන්නෙ මාස හයයි…” රන්ජන් කීවේය.

“ඒ කතාවේ නම් ලොකු ඇත්තක් තියෙනවා. දැන් මේ වෙලාවේ ජනාධිපති සමාව අරගෙන එළියට ගියාම ජනතාව අතර වුණත් කතාව යන්නේ ජනාධිපතිගෙන් සමාව හිඟාකෑව කියලයි… මේ ඉන්න විදිහට මේ මාස හයත් ගත කරලා එළියට ගියාම වීරයෙක් වගේ කාටවත් ණයත් නැතුව බයත් නැතුව කොන්ද කෙළින් තියාගෙන යන්න පුළුවන්….” මන්ත්‍රීවරයෙක් කීවේය.

“මම හැමදාම අන්න ඒ වගේ කොන්ද කෙළින් තියාගෙන යන්න කැමති මිනිහෙක්…” රන්ජන් සුපුරුදු හිනාවෙන් කීවේය.

අවසාන වශයෙන් මෙම සතියට වඩා ලබන සතිය තීරණාත්මක විය හැකියැයි කතාබහක් ඇති විය. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විපක්ෂයේ බලවේග ඒකරාශී කර ගනිමින් විකල්ප ආණ්ඩුවක් සාදා ගන්නට අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාන්විත සූදානම් කර හමාරය. ඒ සඳහා පක්ෂ එකොළහේ කණ්ඩායමේ සහයෝගයෙන් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ද ලැබෙනු නිසැකය. සජිත් ප්‍රේමදාස සූදානම් කළ විශ්වාසභංගයේ වැඩ කටයුතු ද දැන් අවසන් වෙමින් පවතිනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ රටේ බහුතර පිරිස අමතමින් බුද්ධිමය මෙහෙයුමක නිරතව සිටී. රටේ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ හා උගතුන් වියතුන් ගේ සහයෝගය ඔවුන් ආණ්ඩු විරෝධයට ටික ටික ගොනු කරමින් සිටින බව පෙනේ. ඔවුන්ගෙන් එල්ලවන විරෝධය ලබන සතිය වන විට තව තවත් තීව්‍ර වේ යැයි ද දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

මේ අතර භාරකාර ආණ්ඩුවක් හෝ අන්තර්වාර පාලන ආණ්ඩුවක් සාදාගන්නට විපක්ෂයේ පක්ෂ අතර වූ එකඟතාවයට සජිත් ප්‍රේමදාසලාගේ පාර්ශ්වය අකැමැත්ත ප්‍රකාශ කර තිබුණේ ද නැත. යම් හෙයකින් සජිත් අකැමැති වුවහොත් ඒ තැන ගන්නට චම්පික රණවක ලොකු සූදානමකින් සිටින බවද ආරංචි මාර්ග හෙළිදරව් කළේය. ඒ අනුව මොන මොන පිළියම් හැදුවත් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ලබන සතිය තීරණාත්මක සතියක් වනු නිසැකය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment