අලුත් ජනපති

1309

වෙනදා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති තෝරනු ලබන්නේ මහජන ඡන්දයෙනි. ඒ වෙනුවට අද මේ රටේ 8 වෙනි විධායක ජනාධිපති තේරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සිදුවෙයි. මෙයට පෙර එකම එක අවස්ථාවක මෙවැන්නක් සිදුවිය. ඒ කොටි සංවිධානය විසින් ජනාධිපති ආර්. ප්‍රේමදාසට බෝම්බ ගසා මරණ ලද අවස්ථාවේදීය. එහිදී හිස් වූ ජනාධිපති තනතුරට අගමැති ඩී. බී. විජේතුංග මහතා පත්කරන ලද්දේ පාර්ලිමේන්තුවේ අභිමතය පරිදිය. මෙවර ජනාධිපති තරගයට පාර්ලිමේන්තුව වෙත රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර දිසානායකගේ නම් යෝජනා විය. කලින් මෙය පැවතියේ සිව් කොන් සටනක් ලෙසිනි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට කල්පනා කර තිබූ බැවිනි. එහෙත් අන්තිමේදී එම චතුරශ්‍රය ත්‍රිකෝණයක් විය. ජනාධිපතිවරයා පත්කිරීමේ තරගය ත්‍රිකෝණයක්, චතුරස්‍රයක් හෝ අටපට්ටම්ක් වුවද ජනයාට ඉන් වැඩක් නැත. මේ වෙලාවේ මේ රටේ ජනයාට ඉන්ධන, බෙහෙත්, ආහාර පාන, විදුලිය නැත. දැනට මේ රටේ යහමින් ඇත්තේ ඔක්සිජන් සහ හිරු එළිය පමණි. ඒවා නොමිලේ ලැබුණද ශරීරයට හානිකරන තරමට දූෂණය වී තිබේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආශ්වාස කරන වාතය බෙහෙවින් දූෂිතය. අප පෙනහළුවලට ඇදගන්නා ඔක්සිජන් තුළ කාබන් මොනොක්සයිඩ් බහුලව ඇත. එසේම අප මතට ඇද වැටෙන සූර්ය රශ්මිය තුළ විෂ සහිත අන්තරීක්ෂ කිරණ වර්ග රැසක් ඇත. මේ අන්තරීක්ෂ කිරණ නිසා චර්ම පිළිකා හටගනී. කෙසේ හෝ වේවා මහජනතාවට මේ කිසිදු මඟුලකින් වැඩක් නැත. දේශපාලන අපේක්ෂා භංගත්වය, රටේ අස්ථාවර භාවය, අතේ සතේ නැතිකම, අතේ තිබෙන සතේට පවා සත කාලකවත් වටිනාකමක් නැතිකම යනාදිය හේතුවෙන් රට වැසියෝ නිතරම හිඟන මානසිකත්වයකින් පෙළෙති. හැමෝම උත්සහ කරන්නේ මේ රට අත්හැර වෙන රටකට පැන ගැනීමටය. අපගේ වැටහීම නම් ඊළඟ ජනාධිපති ලෙස පත්වන මනුස්සයා ජනතාව සතු මේ ඉච්ඡා භංගත්වය ඉතා කෙටි කලක් තුළ නැති කළ හැකි දේශපාලන ප්‍රාණියකු විය යුතු බවය. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. රටේ දේශපාලන ප්‍රශ්න ගෝල්ෆේස් එකේදී විසඳා ගැනීමට හැකි වුවද රටේ තීරණාත්මක ප්‍රශ්න විසඳා ගැනීමට හැකි වන්නේ පාර්ලිමේන්තුවේදී පමණි. දැනට මේ රටේ තිබෙන තීරණාත්මක ප්‍රශ්න විසඳීම සඳහා ගෝල්ෆේස් අරගලය මගින් ලොකු බලපෑමක් කර තිබිණ. ඒ බලපෑමේ කොටසක් වශයෙන් අරගලකරුවන් හෝ අරගලකරුවන් අතර සිටි කුපාඩි හොරුන් වෙතින් අරලියගහ මන්දිරයටත්, ජනාධිපති මන්දිරයටත්, ජනාධිපති ලේකම් කාර්යාලයටත් සිදුවූ හානිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීමට පමණක් තුන් මාසයක කාලයක් යන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආණ්ඩුවට දන්වා ඇත. අරගලකරුවන් විසින් ඉහත සඳහන් ස්ථානවලට කඩා වැදීමෙන් පසු එම පරිශ්‍රයන්හි තැන්පත් කර තිබූ වැදගත් ලියැවිලි ද අතුරුදන් වී ඇත. සමහරවිට රාජ්‍ය නායකයන්ගේ අත්සන් සහිත මේ වැදගත් ලියැවිලි තව අවුරුදු තිහකින් පමණ ලන්ඩනයේ කෞතුක භාණ්ඩ වෙන්දේසි පොළවල්වලදී ඉහළ මිල ගණන්වලට විකිණෙනවා ඇත. රටේ දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ගෝල්ෆේස් අරගලයෙන් ලැබුණු දායකත්වය කෙරෙහි ජනතාව ස්වකීය ස්තුතිය පළකළ යුතුය. ඒ නිසා අරගලයේ කතාව ඉතිහාසයට එකතුවන ආකාරය පිළිබඳව තවදුරටත් කල්පනා කිරීමට මේ රටේ හිටපු ජනාධිපති සහ හිටපු අගමැති එලවූ තරුණ පරම්පරාවට සිදුවනවා ඇත.

අද තේරී පත්වන අලුත් ජනාධිපති කවර වැඩපිළිවෙළක යත්දැයි අපි නොදනිමු. ඔහුගේ වැඩපිළිවෙළ කවරක් වුවද එහි ඵලය ක්ෂණිකව ජනතාව අතට පත්වේ නම් මැනවි. අලුත් ජනාධිපති ආණ්ඩුවක් හැදිය යුත්තේ ඇපයෙන් ගැලවීමට නොවේ. පසුගියදා අරගලකරුවන් හමුවූ සජිත් ප්‍රේමදාස මීළඟ ආණ්ඩුව පිළිබඳ වැදගත් කතාවක් කීවේය. සජිත්ගේ අදහසට අනුව මාස තුනට, මාස හයට, මාස දහයට සෙට් වෙන අන්තර්වාර ආණ්ඩු හැදීමෙන් මේ රටට ඵලක් නැත. මාස දහයකින් තබා අවුරුදු දහයකින්වත් විසඳීමට බැරි ප්‍රශ්න මේ රටේ තිබේ. එබැවින් කෙටිකාලීන සංගීත සංදර්ශනවලින් වැඩක් නැත. සජිත් ප්‍රේමදාසගේ මේ අදහසට අපි ගරු කරමු. අවුරුදු 22 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිටින ඔහු පරිණත දේශපාලනඥයකු බවට පත්වීම මේ රටේ මතු අනාගතයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනවා ඇත. මේ රටේ ඊළඟ ජනපති රනිල් වේවා නොඑසේ නම් ඩලස් වේවා නොඑසේ නම් අනුර දිසානායක වේවා අප ඔවුන්ගෙන් ඉල්ලන්නේ නිදහසේ හුස්මක් ගෙන රට දියුණු කරගැනීමේ හැකියාව ජනතාවට ලබාදෙන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment