අලුත් දියකදුරු මැද උල්පත් පිපේවා!

95

අපි පසු කරමින් සිටින්නේ එකක් පසුපස එකක් වශයෙන් පැමිණෙන අර්බුදවලින් ජනයා හෙම්බත්වී සිටින මොහොතක්. හදවත් කැකෑරෙන, ප්‍රවෘත්තිවලින් අඩුවක් නැහැ. සෑම පුරවැසියෙක්ම පාහේ කාලය ගෙවා දමනු ලබන්නේ අසහනයෙන්. කලකිරීමෙන්.

සෑම අතකින්ම විඳින අප්‍රමාණ පීඩාවන් මැද තැලෙන පෑගෙන ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ට, තම දූ පුතුන්ට අහිමි කළ ජීවිතය යළිත් ලබාදෙන ලෙසයි. මේ මිනිස් වේදනාව එයට හිමි නිසි අරුතෙන්ම හඳුනා ගත යුතුයි.

මේ මොහොතේ රට මුහුණ දෙන ප්‍රශ්නයේ ගැඹුර සෑම ප්‍රකාශනයකින්ම පැහැදිලියි.

ඩොලර් ලක්ෂ 25ක් ගෙවීමට නොහැකි හේතුවෙන්, ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් රැගත් නෞකාවකට දින 6 ක් ශ්‍රී ලංකාව දෙස බලා සිටීමට සිදුව තිබෙනවා.

ඒ නැවෙන් එන තෙල් රටට ගන්න බැරි නිසා ජනතාවට පෝලිම්වල බලා සිටීමට සිදුවී තියෙනවා.

එම නෞකාවට අමතර වශයෙන් දිනකට ගෙවීමට සිදු වූ ප්‍රමාද ගාස්තුව ඩොලර් 18000ක් වෙනවා.

අප රටක් වශයෙන් පත්ව ඇති අන්ත අසරණ තත්ත්වය මෙමගින් මනාව නිරූපණය වෙනවා.

හරිහැටි කෑමක් බීමක් නැතිව, තෙල් ටිකක් හෙට එයිද අනිද්දා එයිද නිශ්චිතව නොදැන බාල මහලු ගැහැනු පිරිමි තෙල් පෝලිම්වල

රෑ දවල් නැතිව දුක් විඳිනවා. මිනිස් අපේක්ෂාවන් සහ සිහින සී සී කඩ විසිර යද්දී සහකම්පනයක් නැති, ලාදුරු රෝගීන් වැනි පාලකයින් විහිළු සපයමින් සිටිනවා.

මේ සටහන ලියවෙන මොහොතේත්, තෙල් පෝලිමක දෙවැනි මරණය වාර්තා වෙනවා. ඇත්තටම මේ රටේ මිනිස්සු කළ වරද කුමක්ද? තමන් පීඩාවට පත් කරන්නැයි ඉල්ලා ආණ්ඩු පත් කර ගන්නේ මොන මිනිස්සු ද?

මනුස්ස වේදනාවක තරම නොතේරෙන පාලකයින් මේ රටට උරුම කරන්නේ කුමක්ද?.

චිරාත් කාලයක් මුළුල්ලේ අපේ රටේ පුරවැසියන්ගේ මුවග නිරායාසයෙන් නැගුණු ලෙන්ගතුකම සිනහව වෙනුවට අද ඔවුන්ගේ මුවග ඇත්තේ සංවේගය සහ පීඩාවේ වේදනාව. බලාපොරොත්තු කඩවුණු, අපේක්ෂාවන් විසිරී ගිය වෙහෙස.

හෘද සාක්ෂියක් ඇති කිසිදු පාලකයෙකුට තමන්ගේ රටේ අහිංසක පුරවැසියන්ගේ ජීවිතවල වේදනාව සමඟ සෙල්ලම් කළ හැකිද?

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයාගත නොහැකි පසුබිමක ආර්ථික අර්බුදය පාලනයෙන් ගිලිහෙමින් තිබෙනවා. බොහෝ වෙළෙඳසල්වල හිස් රාක්කවලින් පෙන්නුම් කරන්නේ හෙට දවස පිළිබඳව ඇති භයානක හිස් බව.

ගෙවුණු සෙනසුරාදා දිනයේ දී, පමණක් සියලුම සහල් වර්ගවල මිල රුපියල් 30 කින් ඉහළ ගියා. රටේ සියලුම දෙනාට සමාන බෙදාහැරීමක් සිදුවන බව සහතික කරනු වස් සලාක ක්‍රමයක් හඳුන්වාදීම කෙරේ රජයේ නිලධාරීන්ගේ අවධානය යොමුව තියෙනවා.

මෙය ප්‍රායෝගික නොවන විහිළුවක් පමණක් බව කිව යුතුයි.

වාහන ධාවනය කිරීමට අවැසි ඉන්ධන සපයා ගැනීමේ සිට, බොහෝමයක් නිවාසවල සහ අවන්හල්වල ආහාර පිසීමේ කටයුතුවලට යොදාගන්නා ගෑස් සපයා ගැනීම දක්වා සියලුම දේ අතිදුෂ්කර වෙමින් තිබෙනවා.

සම්පත් සීඝ්‍රයෙන් ක්ෂයව යමින් තිබෙනවා.

ඩීසල් හිඟය බස් සේවාවන්ට දැඩිව බලපා තිබෙන අතර, පිට පළාත්වල සිට කොළඹට එළවළු රැගෙන ධාවනය වූ ලොරි රථ ප්‍රමාණය ද, ඉතාම අල්ප යි. එහි ප්‍රතිඵලය දෙයාකාරයි. එක් පසෙකින් දේශීය වශයෙන් සපයාගත හැකි එළවළුවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර, අනෙක් පසින් නැවුම් එළවළු නාස්තිව යමින් ඇත්තේ ඒවා වෙළඳසල්වලට ප්‍රවාහනය කරගත හැකි ක්‍රමය ගිලිහී ගිහින්.

දියවැඩියාවට බහුලව භාවිතා කෙරෙන ඉන්සියුලින් ඇතුළු ඖෂධ බොහෝමයක් සොයාගන්නට නැහැ. මෙරට හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා සහ දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග ගණනාවක ප්‍රමාණාත්මක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

සීඝ්‍රයෙන් මන්දපෝෂණය ඉහළ යමින් තියෙනවා. තමන් වැදූ දරුවාව ගංගාවකට විසිකොට දමන්නට තරම් අදහාගත නොහැකි ඛේදවාචකයකට සමාජය තල්ලු වී තිබෙනවා.

අශ්වයා පලා ගිය පසු ඉස්තාලය වසා දැමීම පිළිබඳව අපි අසා තිබෙනවා. නමුත් අපේ රටේ ආණ්ඩුව කළේ අශ්වයාට පලායන්නට දී ඉස්තාලය කඩා දැමීමයි. අද රටක් ලෙස අත් විඳිමින් සිටින්නේ ඒ ඛේදවාචකයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය අප්‍රේල් මාසයේ 29.8ක් ලෙස පැවති උද්ධමනය 39.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රටේ පරිහානිය අසාමාන්‍ය ලෙස සිදු වෙද්දීත් හිතුවක්කාරී, සහකම්පනයක් නැති පාලකයින් එදාවේල විහිළු සපයමින් සිටිනවා.

රට තියෙන්නේ බොහොම බිහිසුණු තත්ත්වයක. දැන් ඉන්නේ අගාධයක. ඒ අගාධයේ අපි ඉන්නෙත් තව අගාධයකට වැටෙන්න ඔන්න මෙන්න කියන තත්ත්වයක. ඒක පාලකයෝ දන්නෙත් නැහැ. එහෙම වුණා කියලා පාලකයින්ට ගාණක් ඇත්තෙත් නැහැ.

නමුත්, දුෂ්කරයි කියා මේ රටේ පුරවැසියන්ට ජීවිතය හැර යා නොහැකියි. මනුෂ්‍යත්වය උදෙසා මිනිස් අරගලයක් අවශ්‍යයි. එකිනෙකාගේ කඳුළු පිසින සහෝදරත්වයේ අරගලයක් අවශ්‍යයි. ජාති ආගම් කුලමල පක්ෂ පන්ති පාට භේදයකින් තොරව වෛවර්ණ මනුස්සකමට ආදරය කරන වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි.

අවස්ථාවාදී බලලෝභීත්වය වෙනුවට රටට ජයග්‍රහණ අත්පත් කර දෙන මානවවාදී මිනිස් අරගලයක් අවශ්‍යයි.

ඒ වෙනුවෙන් සිතමු!

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment