අලුත් පරපුර එක්ක ගනුදෙනු කරන්න ඕනෑ හරි පරිස්සමින් – අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත උත්තර දෙයි

115

ගොඩක් සිනමාහල්වල දර්ශන කැන්සල් වෙලා
හැමෝම කරන්නේ සිනමාව දවසින් දවස වළපල්ලට යවන එකයි

 

ගුවන් හමුදාවේ හිටපු ගෲප් කපිතාන්වරයකු වූ ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ ‘හිතුමතේ ජීවිතේ’ මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙනවා. අර්බුද චෝදනා මැද වගේම අභියෝග ද හමුවේ හිතුමතේ ජීවිතේ තිරගත කිරීමේ අභියෝගය ජය ගත්තේ කෙසේද යන්න ක්‍රිෂාන්ත අපත් සමග පුංචි පිළිසඳරක යෙදුණා.

අලුත් පරපුර එක්ක ගනුදෙනු කරන්න ඕනෑ හරි පරිස්සමින් - අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත උත්තර දෙයි

● ‘හිතුමතේ ජීවිතේ’ අධ්‍යක්ෂවරයා විදිහට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. පසුගිය දවස් විසිහතරකට ලක්ෂ 155 ක පමණ ආදායමක් ලබලා තියෙනවා. ඒ වගේම චිත්‍රපටයට මිනිසුන්ගේ ලොකු කැමැත්තක් තියෙන බව පෙනී යනවා. අපි චිත්‍රපටය මුදාහැරියේ සීමිත සිනමාශාලා කිහිපයක විතරයි. මේක වෙන හැඩයක කතාවක්නේ.

● මේ වගේ ආර්ථික සමාජයීය අභියෝග මැද්දේ චිත්‍රපටයක් තිරගත කරනවා කියන්නේ ලේසි නැහැ නේද?
ඇත්තටම මේ වෙනකොට ගොඩක් පළාත්වල රාත්‍රී 7.00 දර්ශනය වගේම රාත්‍රී 6.00 දර්ශනය අත්හිටුවලා තිබෙනවා. ඒ තියෙද්දිත් චිත්‍රපටය දුවනවා කියන්නේ චිත්‍රපට බලන්න මිනිසුන්ගේ කැමැත්තක් තියෙනවා කියන එකයි. නමුත් මේ රටේ තිබෙන ආර්ථික අහේනියත් එක්ක යම්කිසි පසුබෑමක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මේ වෙනකොට කියන්න බැරි තරමටම මිනිසුන්ට හැම පැත්තෙන්ම සහනයක් නැති වෙලානේ තියෙන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සු චිත්‍රපටයක් බලන්න යන්නේ සියලු ප්‍රශ්න විසඳා ගත්තාට පස්සේ. ඒ තත්ත්වය මත හරි මිනිස්සු චිත්‍රපටයක් බලන එක ගැන සන්තෝෂයි. මම පසුගිය දවස්වල හැම චිත්‍රපට ශාලාවකටම ගියා. ඒ යනකොට කියන කතන්දරයක් තමයි චිත්‍රපටයක් බලන්න තරම් මිනිසුන්ගේ ආර්ථික හා සමාජයීය ප්‍රශ්න විසඳිලා නැති මට්ටමක් තියෙන්නේ කියලා.

අලුත් පරපුර එක්ක ගනුදෙනු කරන්න ඕනෑ හරි පරිස්සමින් - අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත උත්තර දෙයි

● අලුත් නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් තියෙනවාද?
ඇත්තටම නැවත චිත්‍රපටයක් කරනවා කියන තැන මම ඉන්නවා. නමුත් මේ සඳහා කරන මූලික කටයුත්ත වන තිරනාටකය මමයි ප්‍රියංකර රත්නායකයි මගේ සහෝදරයෙක් වන මහේල හෙට්ටිආරච්චියි එකතු වෙලා අවසන් කරලා තියෙනවා. නමුත් චිත්‍රපටයක් මේ රටේ කරනවාද කියන වාතාවරණය පිළිබඳ ගැටලුවේ මම ඉන්නවා. ගොඩක් සිනමාශාලාවල දර්ශන කැන්සල් වෙලා. මට ‘හිතුමතේ ජීවිතේ’ කරන්න ගිය වියදම වගේ දෙගුණයක් දැන් වියදම් වෙනවා. චිත්‍රපට කරන්න ආසාව තිබ්බට ඒවාට ලැබෙන ප්‍රතිලාභ වගේම රටේ අර්බුද හමුවේ මිනිස්සු ළඟට යන්න පුළුවන් ද කියන ගැටලුවත් තියෙනවා.

● හිතුමතේ ජීවිතේ නිර්මාණය කරද්දි මොන වගේ අභියෝගයන්ට ද මුහුණ දුන්නේ?
 
නිර්මාණය කරනකොට ලොකු අභියෝගයන්ට මුහුණ දුන්නේ නැහැ. මම මේ කලා ක්‍ෂේත්‍රයේ විශේෂයෙන් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය තුළ අවුරුදු 25 ක් විතර වැඩ කළා නේ. ඒ නිසා මම දන්න කියන ගොඩක් හිතවත් අය තමයි මේ නිර්මාණය සමග සම්බන්ධ වුණේ.

නිර්මාණයක් කරනකොට මම තේරුම් ගත් දෙයක් තමයි තවමත් අපිට තරුණ නළු නිළියන් සමග වැඩ කරන්න පුළුවන් කියන එක. අලුත් පරම්පරාව ගන්නකොට ඉතාම හිතාගන්න බැරි මට්ටමේ පිරිහීමක් තියෙන්නේ. බොහොම පරිස්සමින් අලුත් පරපුර එක්ක ගනුදෙනු කරන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ප්‍රවීණයන්ගේ තිබෙන හොඳක් තමයි චිත්‍රපටයක් හදල ඉවර වුණහම බෙදාහැරීමටත් ඔවුන්ගේ ලොකු දායකත්වයක් ලබාදීම. නැවත අලුත් අය සමග වැඩ කරනවා ද කියන ගැටලුවෙත් ඉන්නවා.

අලුත් පරපුර එක්ක ගනුදෙනු කරන්න ඕනෑ හරි පරිස්සමින් - අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත උත්තර දෙයි

● ආපහු ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැතිද?
ටෙලි නාට්‍යයක් ගැන නම් මගේ හිතේ නැහැ. මොකද ටෙලි නාට්‍ය කලාව ඉතාම පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ. 1994 වසරේ ඉඳලා 2010 අවුරුද්ද වෙනකම් මම ටෙලි නාට්‍ය අටක් විතර නිර්මාණය කළා. ඒ හැම එකක්ම අපි කළේ හොඳ තිරනාටක වගේම හොඳ නළු නිළියන් එක්ක. හොඳ ටෙලි නිර්මාණයක් කරන්න ඒ කාලෙ පසුබිමක් තිබුණා. නමුත් මෑත කාලයේ නම් ටෙලි නාට්‍යයක් කරනවා කියන්නේ විහිළුවක් වගේ. දැන් ටෙලි නාට්‍යයක් කියලා දෙයක් නෑ. ටෙලි නාට්‍ය වගේ ඒවා තියෙන්නේ බොහොම ප්‍රාථමික මට්ටමේ නිර්මාණ හැටියට. අවුරුද්දකට එකක් දෙකක් තමයි හොඳ නිර්මාණ බිහි වෙන්නේ. වර්තමානයත් එක්ක ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනකොට දහවරක් විතර හිතන්න වෙලා තියෙනවා. 2010 මගේ අන්තිම ටෙලි නාට්‍යය වන ‘සඳදිය සිත්තම්. ටෙලි නාට්‍යයෙන් පස්සේ මම තීරණය කළා. ආයෙ ටෙලි නාට්‍ය කරන්නේ නැහැ කියලා. මගේ හිත ඇතුළෙත් යම්කිසි කලකිරීමක් ඇති.

අලුත් පරපුර එක්ක ගනුදෙනු කරන්න ඕනෑ හරි පරිස්සමින් - අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත උත්තර දෙයි

● වර්තමානයේ අපේ රටේ තිබෙන සිනමාවේ අර්බුදය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ දකින්නේ කොහොමද?
අපිට හොඳ සිනමාහල් නැති එක තමයි ලොකුම අර්බුදය. යම්කිසි මුදලක් වියදම් කරලා හොඳ චිත්‍රපටයක් හැදුවට වැඩක් නෑ, ලංකාවේ හොඳ සිනමාහල් නැහැනේ. ඇත්තටම චිත්‍රපටයක් පෙන්වන්න සිනමා ශාලා අතළොස්සක් තමයි තියෙන්නේ. ගොඩක් සිනමා ශාලා තාක්ෂණික මට්ටමෙන් බොහොම පහළ තියෙන්නේ. දෙවැනි අර්බුදය තමයි කිසිම පාර්ශ්වයක මැදිහත්වීමක් නැහැ, සිනමාව 70, 80 දශකයේ තිබුණ තැනට ගෙනියන්න ඕනෑ කියලා. මේ හැමෝම කරන්නේ සිනමාව දවසින් දවස වළපල්ලට යවන එකයි. මම 2019 හිතුමතේ ජීවිතේ චිත්‍රපටය හදනකොට තිබුණ සිනමා ශාලා එක්ක බලනකොට මේ වෙනකොට තවත් සිනමා ශාලා 20 ක් විතර වැහිල ගිහිල්ලා. මුළු ලංකාවෙම සිනමා ශාලා පනහකට හැටකට වැඩිය නැහැ.

නිරෝෂන්

 

advertistmentadvertistment
advertistmentadvertistment