අලුත් බදු ක්‍රමය – රේල් පීල්ල සහ රනිල්ගේ බෙල්ල

1195

කොමිසම එපා කියයි. මණ්ඩලය ලයිට් කපයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ලයිට් කැපිල්ලට එරෙහිව දුනු ඊතල පොලිෂ් කරපු ආකාරයට අප නම් හිතාගෙන සිටියේ විදුලි ඇමැති කංචන විජේසේකරට මෙදා සැරේ නම් දෙකෙන් එකක් සිදුවන බවය. එහෙත් ඒ එකක්වත් සිදුවුණේ නැත. අපොස උ.පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී විදුලි බල මණ්ඩලය ලයිට් කැපීම නොකළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පොළොවේ අඩිය හප්පා කීවේය. එහෙත් අවසන් ඵලයේදී අපට පෙනෙන්නේ ලයිට් කැපිල්ල එලෙසම පවතින බවය. එයින් හැඟී යන්නේ විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම තඹ සල්ලියකට ගණන්ගෙන නැති බවය. මේ නිසා ජනක රත්නායක වහාම ඉල්ලා අස්විය යුතුය. ශ්‍රී ලංකාව මේ දිනවල උග්‍ර ඉන්ධන අර්බුදයක සිරවී සිටී. ඒ අතර විදුලි සැපයුම අල්ලාගෙන වීරයකු වීමට ගිය ජනක රත්නායක පරාජයට පත්වී සිටී. අපගේ වැටහීම අනුව තවදුරටත් ආත්ම ගෞරවය රැකගැනීමට නම් ඔහු කොමිසමේ සභාපතිකමෙන් ඉල්ලා අස්විය යුතුමය. එහෙත් මළාට ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන්නේ නැත.

අද මේ වැකියේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ජනක රත්නායක හෝ විදුලිබල ප්‍රශ්නය නොවේ. අපි ඉහත සඳහන් ප්‍රශ්නය ගැන ලිව්වේ එය වාර්තාකොට තිබිය යුත්තක් බැවිනි. අප මෙතැන් සිට කතා කරන්නේ මේ රටේ මධ්‍යම පාන්තිකයන් මේ මාසේ අන්තිමේ සිට මුහුණ දීමට පටන්ගෙන තිබෙන ආදායම් බදු ප්‍රශ්නයයි. ශ්‍රී ලංකාවේ ජනතාවට ආදායම් බදු ගෙවා පුරුදු නැත. නිදහස ලැබූ දා පටන්ම ක්‍රමයෙන් සුබසාධක රාජ්‍යයක් බවට පත්වූ අපේ රට හැමදාම හිතුවේ කාගෙන් හෝ ණයක් නැත්නම් ආධාරයක් ලබාගෙන එදාවේල සම්පූර්ණ කර ගැනීමටය. බලයට පැමිණි කිසිම ආණ්ඩුවක් මේ රටේ ජනතාව බදු ගෙවිය යුතු දවසකට පා තබන බව සිහිපත් කර ඒ වෙනුවෙන් බදු ගෙවීම සඳහා ජනතාව පුරුදුකළේ නැත. මේ රටේ ලොකුම ඡන්ද පදනම වූයේ ඉහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය, පහළ මධ්‍යම පන්තිය, සහ දිළිඳු ජනතාවය. මේ අයගේ ඡන්ද ටික ඩැහැගැනීම සඳහා හැම ආණ්ඩුවක්ම ධනපති පන්තියෙනුත්, භාණ්ඩවලිනුත් බදු අය කිරීමේ පුරුද්දක් පවත්වාගෙන ගියේය. මේ නිසා ජනතාවගේ ආදායම එහෙමම පැවැතියදී දිනපතාම බඩු මිල වැඩිවිය. ඒ අතර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නන්නත්තාර වූ පසු මධ්‍යම පන්තියෙන් බදු අයකරනු ලෙස අයිඑම්එෆ් සංවිධානය ආණ්ඩුවට බලකරන්නට පටන් ගත්තේය. අවාසනාවට මෙන් දැන් මේ කෝච්චියට බෙල්ල තබා ඇත්තේ කවුද? රනිල් වික්‍රමසිංහය. ඉහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය, පහළ මධ්‍යම පන්තිය, දිළිඳු ජනතාව යන සියලු සමාජ ස්ථරවලින් බදු ගැසීමට ඔහුගේ ආණ්ඩුවට සිදුවී තිබේ. දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ මේ බද්ද දරාගැනීමට නොහැකි ආකාරයෙන් වැදී තිබීමය. මේ පිළිබඳ මධ්‍යම පාන්තික වෘත්තිකයකුගේ සත්‍ය කතාවක් ගෙනහැර දක්වමු. මේ කතා නායකයා ප්‍රියන්තය. ඔහුගේ වැටුප රුපියල් තුන්ලක්‍ෂ පනස්දහසකි. ඒ වැටුප නිර්මාණය වී ඇත්තේ ප්‍රවාහන කටයුතු සඳහා වන ඉන්ධන දීමනාව, දුරකථන දීමනාව සහ වැටුප යන කොටස් තුනෙනි. මේ අනුව ඔහුගේ වැටුපෙන් තුනෙන් දෙකක්ම දීමනාය. ඉන්ධන දීමනාව යනු ආදායමක් නොවේ. කොම්පැණියක් ඉන්ධන දීමනාවක් දෙන්නේ අදාළ පුද්ගලයාගේ මාසික ගමන් සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය ගණන් බලා එහි වටිනාකමටය. දුරකථන දීමනාව යනු දුරකථන සමාගමට ගෙවිය යුතු බිලය. ආණ්ඩුව මෙදාසැරේ බද්ද ගණනය කර ඇත්තේ මේ සියල්ලම එකතු කරය. මෙහිදී ද්විගණනය යන දෝෂය හට ගනී. එනම් එකම ආදායමක් වෙනුවෙන් දෙවරක් බදු ගෙවීමය. ඒ මෙසේය. දුරකථන සමාගමට ගෙවීම සඳහා ලැබෙන දීමනාවෙන් බද්දක් ගැනීම සිදුවෙයි. ඉන්පසු පාරිභෝගිකයා දුරකථන බිල ගෙවීමෙන් අනතුරුව දුරකථන සමාගමෙන්ද බදු අයකර ගැනීම සිදුවෙයි. එවිට අපේ දුරකථන දීමනාව අවස්ථා දෙකකදී බද්දට යටත්වී තිබේ. සාමාන්‍යයෙන් කිසියම් කාරණයක් වෙනුවෙන් එකවරක් පමණක් බදු අයකර ගැනීම සාමාන්‍ය දෙයකි. මේ ද්විගණන දෝෂය නිසා බදු ගෙවන්නාට අසාධාරණයක් සිදුවෙයි. මෙහිදී ආණ්ඩුව බැලිය යුත්තේ දුරකථන සමාගමෙන් පමණක් බද්දක් අයකර ගන්නා විදිහයි. අපි නැවතත් ප්‍රියන්ත දෙසට හැරෙමු. ඔහුගේ මාසික වැටුපෙන් වැඩිකොටසක් සෑදී ඇත්තේ පෙර කී දීමනා වලින් බව අපි මුලින්ද සඳහන් කළෙමු. ප්‍රියන්ත කියන පරිදි ඔහුගේ වැටුපෙන් රුපියල් තිස්පන්දහසක් පමණ බදු කැපී ඇත. ඒ නිසා ඉන්ධන වියදම් ගෙවා දුරකථන ගාස්තු ගෙවීමෙන් පසු ඔහුට වැටුප වශයෙන් ලැබෙන්නේ රුපියල් හැටපන්දහසකි. මේ රුපියල් හැටපන්දහසෙන් ගෙවල් කුලී ගෙවීම, දරුවන් තිදෙනකුගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කිරීම, වැඩිවූ ලයිට් බිල් හා වැඩිවූ වතුර බිල් ගෙවීම, ආහාර පාන වලට වියදම් කිරීම, බෙහෙත් සඳහා වියදම් කිරීම, ඇඳුම් පැළඳුම් ගැනීම, දරුවන් ප්‍රයිවට් ටියුෂන් යැවීම වැනි කටයුතු රාශ්‍රියක් කිරීමට ප්‍රියන්තට සිදුවෙයි. මේ වියදම් සඳහා රුපියල් හැටපන්දහසක් නොව එක්ලක්‍ෂ හැටපන්දහසක්වත් තිබිය යුතුය. ඒ අනුව ලයිට් බිල් සහ වතුර බිල් ගෙවා ආහාර පානවලට වියදම් කළොත් දරුවන් ඉස්කෝලේ යැවීමටත්, ඔවුන්ට ටියුෂන් දීමටත්, පොත්පත් අරන් දීමටත් ප්‍රියන්තට හැකිවන්නේ නැත. දරුවන් ඉස්කෝලේ යවා ටියුෂන් හා පොත්පත් ගෙන දුන්නොත් ලයිට් බිල් නොගෙවා කළුවරේ සිටීමටත්, වතුර බිල් නොගෙවා එහා ගෙදර ළිඳෙන් වතුර ගැනීමටත්, නිරාහාරව සිටීමටත් ප්‍රියන්තට සිදුවේ. මෙය උභතෝකෝටික ගැටලුවකි. හැබැයි ලොකුම අවාසනාව වන්නේ ඉහත කී බදු ක්‍රමය ක්‍රියාත්මක නොකළානම් අයිඑම්එෆ් එකෙන් ණය ලබාගැනීමට අපට බැරිවීමය. අයිඑම්එෆ් සංවිධානය ශ්‍රී ලංකාව වැනි, දේශපාලනඥයන් විසින් විනාශයට පත්කරන ලද ආර්ථිකයන් දෙස බලන්නේ පොලිස් නිලධාරීන් පිට්පොකට්කාරයන් දෙස බලන විදිහටය. නොඑසේනම් කුකුල් ෆාම්කාරයා මුගටින් දෙස බලන විදිහටය. ආණ්ඩුව බදු ක්‍රමය අත්හිටුවුවහොත් අයිඑම්එෆ් ණය නොලැබේ. අයිඑම්එෆ් ණය නොලැබුණොත් දැන් කන ටිකවත් කන්නට ජනතාවට නොලැබේ. රනිල් වික්‍රමසිංහ කෝච්චියක් එනවිට පීල්ලට බෙල්ල තබා ඇති බව අප කියන්නේ මේ නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment