අලුතින් පත් කරන ආණ්ඩුවේ ඇමැති වැටුප් කපයි වරප්‍රසාදත් අඩු කරනවා – අගමැති

546

ඉදිරියේදී පත්කෙරෙන නව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අඩු කෙරෙන අතර ඔවුන් වැටුප් නොගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය. දැනට පවතින ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

18 වැනිදා 06ට එල්.අයි.ඕ.සී. එකේ ස්වර්ණ පුෂ්ප කියන නැව ආවා. ඒවගේම 20 දා ඉන්දියාවේ මුදල්වලින් ගෙන එන ස්වර්ණමාලා නැව එනවා. මාර්තු 28 ආව තව නැවක් තිබෙනවා. මුදල් නැති නිසා තියාගෙන ඉන්නවා. අපි කියලා තිබෙනවා කොහොමහරි මුදල් ගෙවනවා කියලා. ජීටී ෆ්‍රීඩම් කියන නැව අප්‍රේල් මාසේ ආවේ. දැන් තමයි ඒක වරායට ගේන්නෙ.

ඊළඟට 29 – 30 වැනිදා වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 38000ක් රැගත් තව නැවක් එනවා. තව එකක් මැයි 01 දා ඇවිත් තිබෙනවා. ඒකට ගෙවන්න තවම මුදල් නෑ. මේවාට මුදල් ගෙවන්න පුළුවන් වුණොත් අපට විදුලි බලාගාරවලට ගන්න පුළුවන්. ඊයේ රෑ එකක් ආවා. තව එකක් එනවා. ඒ අනුව පෙට්‍රල් නැව් 02ක් තිබෙනවා. ඒත් පෝලිම් තිබෙනවා. අපි බලන්නේ පෝලිම් කෙටිකරන්න. ඉවර කරන්න නොවෙයි. අපි පළමුවෙන්ම බලන්නේ ඉන්ධන සංචිතයක් ඇති කරන්න. එක නැවක් ප්‍රමාද වුණොත් මේ පෝලිම් ඇතිවෙයි. දැනට ජුනි වෙනකම් එන්න තිබෙනවා.

දැන් ගෑස් පිළිබඳ ප්‍රශ්නය වරායෙන් ලොරි දාලා ගෙනයන්න කිව්වා. නමුත් ඊයේ රෑ වෙනකම් ඒ ලොරි දාලා තිබුණේ නෑ. ඇයි ඒ ප්‍රමාදය වුණේ කියලා ලිට්‍රෝ නිලධාරීන් මෙතෙන්ට ගිහින් අහලා වාර්තාවක් ගන්නයි යන්නේ. ඒ අය දුවලා වැඩ කරන්න ඕනා. අපි ඔක්කොම වැඩ කරනවා රෑ 11 – 12 වෙනකම්.

අනෙක අපි ඇමැතිවරු පත් කරන විට ඇමැතිවරුන් වැටුප් ලබා ගන්නේ නෑ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම ඇමැති වරප්‍රසාද අඩු කරන්න යනවා. ඒ ගැන දැනුම් දෙනවා කියලා අපි කියන්න කැමතියි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment