අලූත් අවුරුද්දට එන කොහා ගැන අප නොදත් කතා

2142

වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය පළ කළ ‘ශී‍්‍ර ලංකා කුරුලූ නාමාවලිය’ හා ඩග්ලස් රණසිංහගේ ‘අසිරිමත් කුරුලූ ලෝකය’ ග‍්‍රන්ථ අනුව ලංකාවේ කුරුලූ විශේෂ 428 ක් ඇති අතර ඉන් 21 ක් ලංකාවට ආවේණිකයි. දැන් මේ ආවේණික සංඛ්‍යාව තවත් තුනකින් පමණ ඉහළ ගොස් ඇත. අවුරුදු කාලය ළං වනවිට මියුරු හඬ නඟන කොහා පිළිබඳ කෙටි විවරණයක් මෙහි එයි.

කොහා අයත් ගෝත‍්‍රය කුකුලිෆෝමේස් (CUCULIFORMES) වූ අතර අයත් පවුල කුකුලිඬේ (CUCULIDAE) වෙයි. සත්ත්ව විද්‍යාත්මක නාමය කියුකියුලස් ස්කෝලෝපේසියුස් (CUCULUS SCOLOPACEUS) වෙයි. ඉංගී‍්‍රසියෙන් කොඉල් (KOEL) දෙමළෙන් කුළුල් හා සිංහලෙන් කොහා – කෝකිලයා – කොවුලා යන නම් යෙදෙයි.

කොහා අයත් කුකුලිඬේ පවුලට පක්ෂි විශේෂ 16 ක් පමණ අයිතිය. උන් නිවර්තන කලාපීය රටවල ඇත. ඉන් විශේෂ පහක් ඉන්දියාවේ හා ලංකාවේ ජීවත් වෙති.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 1954 පළ කළ ජී. එම්. හෙන්රිගේ ‘සිතුවම් සහිත ලංකා කුරුලූ’ පොතේ 14 වර්ණ චිත‍්‍ර පුවරුවේ ලංකාවේම දක්නට ලැබෙන කොහා විශේෂ හයක රූප සටහන් හා විස්තර එයි. එම ග‍්‍රන්ථයේ 13 පිටුවේ ඇති 14 චිත‍්‍ර පුවරුව ලංකාවේ ජීවත්වන කොහා විශේෂ පෙන්නුම් කරයි.

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ගේ ‘සාමාන්‍ය විද්‍යාව – 8’ ග‍්‍රන්ථය අනුව කොහා විශේෂ කිහිපයක් ලංකාවේ ජීවත්වන අතර තව කිහිපයක් ඉන්දියාවේ සිට එති. රතු කොණ්ඩ කොහා උතුරු ඉන්දියාවේ සිට ඔක්තෝබර් මස පැමිණ අපේ‍්‍රල් මස ආපසු යයි. ජී. එම්. හෙන්රිගේ ‘සිතුවම් සහිත ලංකා කුරුලූ පොත’ ග‍්‍රන්ථයේ ඒ බව කියවෙයි.

  • 1978 මාර්තු ‘වාරණ’ සඟරාවේ 4 කලාපය අනුව රතු කොණ්ඩ කොහා හා හීන් කොහා ඊසාන දිග මෝසම් කාලයේ ඉන්දියාවේ සිට ලංකාවට එයි.
  • ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ගේ ගුවන්විදුලි කතාවක් අනුව ලංකාවේ කොහා විශේෂ දොළහක් දැකිය හැකිය. ඉන් විශේෂ අටක් ලංකාවේ සිටින අතර විශේෂ හතරක් පිටරට සිට එයි. පිටරට සිට එන කොහා විශේෂ හතර උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටිය සිට බුරුමය හා චීනය දක්වා උතුරු ප‍්‍රදේශවල සිට මෙහි සංක‍්‍රමණය වෙති. අදිකාරම් පිටරටින් එන කොහා විශේෂ හතර මෙසේ දක්වයි.
  1. හිමාලය සිට චීනය දක්වා ප‍්‍රදේශවලින් එන පුංචි කොහා
  2. හිමාලය සිට උතුරෙන් එන ආසියානු කොහා – කලාතුරකින් මෙහි එයි.
  3. හිමාලය සිට බුරුමය දක්වා රටවලින් එන ගේ කුරුල්ලෙකු තරම් කුඩා කොහා විශේෂය
  4. උතුරු ඉන්දියාවේ සිට එන පිටරට කොණ්ඩ කොහා – ඌ මයිනෙකුට වඩා ටිකක් ලොකුය. අපේ‍්‍රල් – සැප්තැම්බර් අතර ලංකාවේ වියළි කලාපයේ දැකිය හැක.
අලූත් අවුරුද්දට එන කොහා ගැන අප නොදත් කතා

ආචාර්ය අදිකාරම් අනුව ලංකාවේම සිටින කොහා විශේෂ අටක් වන අතර පිටරට සිට එන කොහා විශේෂ හතර සමඟ ලංකාවේ කොහා විශේෂ දොළහක් ඇත.

ඩග්ලස් රණසිංහගේ ‘අසිරිමත් කුරුලූ ලෝකය’ ග‍්‍රන්ථය අනුව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 21 අතර කොහා පවුලට අයත් මල් කොහා ඇතුළත්ය. ජී. එම්. හෙන්රිගේ ‘සිතුවම් සහිත ලංකා කුරුලූ පොත’ අනුව රතු මුහුණ ඇති මල් කොහා ලංකාවටම ආවේණික වෙයි. අදිකාරම් අනුව ලංකාවේ මල් කොහා විශේෂ දෙකක් ඇත. ඒ මුහුණ තද රතු හා මුහුණ තද නිල් මල් කොහා විශේෂ දෙකයි.

ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය 1978 පළ කළ ‘ශී‍්‍ර ලංකා කුරුලූ නාමාවලිය’ ග‍්‍රන්ථය අනුව ලංකාවේ මුළුමනින් කොහා වර්ග 13 ක් දැකිය හැක. (එම ග‍්‍රන්ථයේ 21 – 22 පිටුවල නාමාවලි – අංක 213 සිට 226 දක්වා ලංකාවේදී දැකිය හැකි කොහා විශේෂ 13 මෙසේ දක්වයි.

  1. ඉන්දියන් කොහා (INDIAN CUCKOO)
  2. යුරෝපීය කොහා (COMMON OR EUROPEAN CUCKOO)
  3. හිමාල කොහා (INDIAN PAINTIVE CUCKOO)
  4. කොහා (INDIAN KOEL)
  5. රතු කොණ්ඩ කොහා (RED WINGED CRESTED CUCKOO)
  6. ගෝමර කොණ්ඩ කොහා (PIED CRESTED CUCKOO)
  7. උකුසු කොහා (CEYLON HAWK CUCKOO)
  8. පුංචි කොහා (SMALL CUCKOO)
  9. දුඹුරු දාහ කොහා (CEYLON BAY BOUNDED CUCKOO)
  10. කොළ චූටි කොහා (EMARALD CUCKOO)
  11. කවුඩු කොහා (CEYLON DRANGO CUCKOO)
  12. නිල් මුහුණැති මල් කොහා (BLUE FACED MAL KOHA)

(ජී. එම්. හෙන්රිගේ සිතුවම් සහිත ලංකා කුරුලූ පොතේ සිංහල පරිවර්තනයේදී ඌ ‘පිනි බාලයා’ ලෙස හඳුන්වයි.)

  1. රතු මුහුණැති මල් කොහා (RED FACED MAL KOHA)

(මේ නාමාවලියේ අංක 12 හා 13 නම් දෙක ආචාර්ය අදිකාරම් ‘මල් කොහා’ ලෙස එක් විශේෂයක් ලෙස සලකා ඇත.)

කොහා ලංකාවේ පහතරට තෙත් හා පහතරට වියළි කලාපයේ බහුලව හමු වෙයි. අඩි 4000 පහළ කඳුකරයේ ද ඌ ගැවසෙයි. ලංකාවට ආවේණික මල් කොහා අඩි 5000 දක්වා උස් ලැහැබ්වල ගැවසෙයි. දුඹුරු දාර කොහා කැලෑව පි‍්‍රය කරන බව ජී. එම්. හෙන්රි පෙන්වා දෙයි.

සාමාන්‍ය කොහා විශේෂ ගෙවතු – උද්‍යාන – ඇළ දොළ – ගංගා අසල ගැවසෙයි. රංචු ලෙස නොහැසිරෙයි. ජෝඩු ලෙස ගැවසෙයි. සහාය බාල දක්ෂ කොමසාරිස් එම්. ප‍්‍රනාන්දු ලියූ ‘පක්ෂි අධ්‍යයනය’ අනුව කොහා බියගුලූය. මිනිසුන් දුටු විට වහා පලා යයි. අවුරුද්ද ළං වනවිට අවුරුදු පණිවිඩය ගෙන එන්නේ කොහා හා එරබදු මල්ය. අපේ‍්‍රල් – මැයි අතර ඌ සුලභය.

කොහා අඟල් දහයක් පමණ දිගය. පිරිමි සතා නිල් හා කළු මිශ‍්‍ර දිලිසෙන වර්ණයක් ඇත. පෙනුම කපුටෙකු වැනිය. කපුටාට වඩා උගේ සිරුර තරමක් කුඩාය. පාද කෙටිය. ඇස් රතුය. ගෑනු සතාගේ සුදු පාට උදරය යට දුඹුරු තිත් ඇත. ඇෙඟ් ඉතිරි ප‍්‍රදේශවල සුදු පාට ලප සහිතය. ගෑනු සතා ගෝමර සහිත බැවින් මෙම ගෑනු සතාට සමහරු ‘පුල්ලි කොහා’ යැයි කියති. ඩග්ලස් රණසිංහගේ ‘අසිරිමත් කුරුලූ ලෝකය’ අනුව ලංකාවට ආවේණික මල් කොහා ඇටි කුකුළෙකු තරම ඇත. අදිකාරම් අනුව උතුරු ඉන්දියාවේ සිට ලංකාවට එන රතු කොණ්ඩ කොහා ලංකාවේ කොණ්ඩ කුරුල්ලාට වඩා ටිකක් ලොකු අතර පෙඳය දිගය.

‘අසිරිමත් කුරුලූ ලෝකය’ ග‍්‍රන්ථය අනුව ලෝකයේ පරපුටු කෝකිල වර්ග 47 ක් ඇත. ලංකාවේ සිටින කෝකිල වර්ග අට අතර සමහරු උන්ගේ කූඩුවල බිජුලයි. ලංකාවට සංක‍්‍රමණය වන ඉතිරි වර්ග වෙනත් පක්ෂීන්ගේ කූඩුවල බිජුලයි. ඩග්ලස් රණසිංහ ‘අසිරිමත් කුරුලූ ලෝකය’ ග‍්‍රන්ථයේ පෙන්වා දෙන පරිදි යුරෝපය පුරා සිටින කෝකිල වර්ග. වෙනත් කුරුලූ වර්ග 127 ක කූඩුවල බිජු දමන බව සොයාගෙන ඇත.

ජී. එම්. හෙන්රි සිතුවම් සහිත ‘ලංකා කුරුලූ පොත’ ග‍්‍රන්ථයේ කියන පරිදි රතු මුහුණැති මල් කොහා හා නිල් මුහුණැති මල් කොහා ගස් උඩ පීරිසි හැඩයේ නොගැඹුරු කූඩු සාදයි. ‘අසිරිමත් කුරුලූ ලෝකය’ අනුව ‘ලංකාවට ආවේණික මල් කොහා’ කූඩු සාදා බිත්තර ලයි. ඌ සැප්තැම්බර් සිට ජනවාරි දක්වා තම කූඩුව සාදා සුදු පාට බිත්තර දෙකක් තුනක් ලයි.

ලොව පුරා සිටින කෝකිල වර්ග ගණන 47 ක් වන අතර කොහා විශේෂ වෙනත් කුරුලූ වර්ග 127 කූඩුවල බිජුලති. හෙන්රිගේ ‘සිතුවම් සහිත ලංකා කුරුලූ පොත’ අනුව මල් කොහා කූඩුව සාදා බිත්තර දමා ඌ පැටවුන්් පෝෂණය කරයි. කෝකිල පවුලේ වැඩි දෙනා අනුන්ගේ පවුලේ කූඩුවල බිජු ලති. ලංකාවේ වාසය කරන දුඹුරු දාර කොහා ගිනි කුරුලූ කූඩුවල බිජු දමයි.

අලූත් අවුරුද්දට එන කොහා ගැන අප නොදත් කතා

ලංකාවේ සිටින කොහා වර්ග හැර ලංකාවට සංක‍්‍රමණය වන කොහා විශේෂ කූඩු නොසාදති. අනුන්ගේ කූඩුවල බිජු ලති. ආචාර්ය අදිකාරම්ගේ ගුවන්විදුලි කතාව අනුව ලංකාවේ වාසය කරන කොහා විශේෂ දොළහෙන් දහයක් වෙනත් කුරුල්ලන්ගේ කූඩුවල බිජු දමති. උදාහරණ ලෙස උකුසු කොහා – දෙමලිච්චා කූඩුවල ද කවුඩු කොහා බට්ටිච්චා හා පැණි කුරුලූ කූඩුවල ද පිටරටින් එන කොහා විශේෂයක් සූටික්කා කුරුලූ කූඩුවල ද බිජු ලති. මේ අනුව ලංකාවේදී කොහා වර්ග බිජු දමන වෙනත් කුරුලූ වර්ගවල කූඩු මෙසේ දැක්විය හැක. කපුටා දෙමලිච්චා – කහ කුරුල්ලා – ගිනි කුරුල්ලා – බට්ටිච්චා – සූටික්කා – පැණි කුරුල්ලාය. කොවුළා කපුටු කූඩුවේ බිත්තර දැමීමට උපක‍්‍රමයක් යොදා ගනියි. කපුටිය බිත්තර රකින විට පිරිමි කොවුළා ඇයට කොටයි. එවිට කපුටිය පිරිමි කොහා ලූහුබඳියි. මේ අතර කෙවිළිය කපුටු කූඩුවට ගොස් බිත්තර දමයි. එලෙසම කපුටිය බිජු රකින කූඩුවෙන් ඉවත් වූ විට කෙවිළිය කපුටු බිජුවක් ගිල දමයි. නැත්නම් බිජුවක් ඈතට ගෙන ගොස් දමා තම බිජුලයි. මෙසේ කෙවිළිය කපුටු කූඩුවේ බිජු වරින්වර තුන හතරක් දමයි. කපුටිය ඒවා රකියි. කෙවිළියගේ බිත්තර අළු කොළ පාටය. එහි දුඹුරු පාට ලප ඇත. දින 10 – 14 යන විට බිජු පුපුරා පැටව් එති. උපන් විගස සිටම කෝකිළ පැටවාට අමුතු ශක්තියක් ඇත. ඌ තම ඇඟ ගෑවෙන වෙනත් දේ ඉවතට තල්ලූ කිරීමේ පුරුද්දක් ඇත. කෝකිළ පැටව් පමණක් ඉතිරි වන පරිදි කපුටු කූඩුවේ සිටින කපුටු පැටව් කූඩුවෙන් හෙළා දැමීමට දක්ෂකමක් කෝකිළ පැටවුන්ට ඇත. කපුටු පැටව් කපුටු කූඩුවෙන් බිමට වැටී බඩගින්නේ මිය යති.

ඉක්මනින් වැඩෙන කොවුල් පැටවාට කපුටිය හෝ තමා වසන කූඩුවේ බිජු රකින කිරිල්ලිය රැගෙන එන දේ ඩැහැ ගෙන කෑමේ හැකියාවක් ඇත. මේ අනුව කපුටියගේ පැටව් ඉවතලා මුළු කූඩුවම කොහා පැටව් අත්පත් කර ගන්නා බව පලායෙව් හා රිකෝව් එක්ව ලියූ ‘සත්ත්ව විද්‍යාව’ නමැති රුසියානු පක්ෂි ග‍්‍රන්ථයේ සඳහන් වෙයි. කොහා පැටව් කෑගසන විට කපුටිය උන්ට කෑම බීම ගෙනවුත් දෙයි. පැටව් නාද කිරීම පටන් ගන්නා විට කපුටියට වෙනස වැටහී උන්ට කොටා එළවා දමයි.

කොහාගේ ආහාර අතර පළතුරු වර්ග – ඇට වර්ග – පණුවන් – කෘමි සතුන් – ලා අඹ දලූ වෙයි. උගේ කෙටි හොට පළතුරු කෑමට මනාව ගැලපී ඇත. අඹ ගස්වල දලූ දමන විට ඌ ඒවා කෑමට පි‍්‍රය කරන බව සී. එම්. ප‍්‍රනාන්දු ‘පක්ෂි අධ්‍යයනය’ ග‍්‍රන්ථයේ දක්වයි.

කුරුල්ලන්ගෙන් ඉතා මියුරු නාදය ඇත්තේ කොහාටය. ඌ සඳ පෑයූ මැදියම් රාති‍්‍රයේ ඉතා මියුරු ලෙස හඬ නඟයි. කෝකිළ හඬ ඌ කිරිල්ලිය කැඳවීමට නඟන මියුරු ආදර නාදයකි.

ඉන්දියාවෙන් එන රතු කොණ්ඩ කොහා හා තවත් එක් සංක‍්‍රමණ කොහා විශේෂයක් ලංකාවේදී නාද නොකරන බව ආචාර්ය අදිකාරම් ‘සාමාන්‍ය විද්‍යාව – 8’ ග‍්‍රන්ථයේදී දක්වයි.

පරිසර සම්මේලනය මගින් මුද්‍රිත ‘ලංකාවේ වන ජීවීන්’ කුඩා ග‍්‍රන්ථය අනුව පිටරටින් එන හා ලංකාවේ වසන කොහා විශේෂ දහ හතක් (17) දක්වයි. ලංකාවේ වාසය කරන ඇටි කුකුළු විශේෂ තුනක් සමඟ කොහා විශේෂ 16 ලංකාවේ ජීවත්වන බව ජී. එම්. හෙන්රි පෙන්වා දෙයි. ඒ අනුව ඇටි කුකුළා කොහා පවුලට අයිතිය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්. කේ. ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment