අලුත් මිලට ගැසට් එක නොගැහුවොත් හාල් මිල ආයෙත් ඉහළට…

709

ආණ්ඩුවෙන් කියපු මිල ඉවරයි… ගැසට් එකත් ඉවරයි…

වෙළඳපොළේ කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති ආදියෙහි මිල ඉහළ යනු ඇති බවට පසුගිය දිනවල ආරංචි පැතිර යමින් පැවැතියේ ඉතා ශීඝ‍්‍රයෙනි. එමෙන්ම ඒවායේ හිඟයක්ද වෙළඳපොළේ මේ දක්වාම පවතින බව නොරහසකි. මහජනතාව බලපොරොත්තුව සිටියේද ඉකුත් සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ භාණ්ඩවල මිල ඉහළ දැමීම හෝ ඊට සම්බන්‍ධව යම් තීරණයක් ගනු ඇතිබවටය.

එහෙත් සිදුවූයේ අනපේක්‍ෂිත වෙනත් දෙයක් යැයි මහජනයා කියති. එනම් සහල් මිල සම්බන්‍ධයෙන් රජය මෙතෙක් පනවා තිබූ ගැසට් පත‍්‍රය අහෝසි කිරීමයි. ඒ අනුව සහල් මිල තීන්දු කිරීමේ පරම අයිතිය සහල් මෝල් හිමියන්ට ඉබේම පැවැරණු අතර මේ රටේ ප‍්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු පසුදාම එම කාරියට අතගසා තිබුණේ රජය සිය සිතැඟි උවමනාවටත් වඩා ඉහළින් සපුරා තිබීම වෙනුවෙන් නැඟුණු නිම්හිම් නැති සතුටත් සමඟිනි.

ඒ අනුව මෙරට ප‍්‍රමුඛ පෙළේ සහල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප‍්‍රකාශ කළේ රජය ගනු ලැබූ මෙම තීරණයට ප‍්‍රශංසාව පිරිනමන බවය. සහල් සම්බන්‍ධයෙන් රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් මේ රටේ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට වෙළඳපොළේ සහල් මිල ඉහළ යෑමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයිද ඔව්හු එහිදී කියා සිටියහ. එම නිසා රජය සහල් සම්බන්‍ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් වෙළඳපොළේ සහල් මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැතැයිද එම සහල් මෝල් හිමියෝ පැවැසූහ.

අලුත් මිලට ගැසට් එක නොගැහුවොත් හාල් මිල ආයෙත් ඉහළට...

මේ අතර වෙළඳපොළේ එදිනෙදා බහුලව අලෙවි වන සහල් වර්ග කිහිපයක මිල ගණන්ද එහිදී ප‍්‍රකාශයට පත් කෙරිණි. නාඩු වර්ගයේ සහල් කිලෝවක තොග මිල රුපියල් 110ක් සහ එහි සිල්ලර මිල රුපියල් 115කි. සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 135ක් වශයෙන් සහ තොග මිල රුපියල් 140ක් වශයෙන්ද සඳහන් විය. කීරි සම්බා සහල් කිලෝවක තොග මිල ප‍්‍රකාශ වූයේ රුපියල් 160ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 165කි. මේ තොග මිල සහ සිල්ලර මිල අතර ඇත්තේ රුපියල් 5ක වෙනසක් බව පෙන්වා දුන් මහා පරිමාණ සහල් මෝල් හිමියෝ තම ආයතන වෙළඳපොළට සහල් නිකුත් කිරීමේදී එම සහල් නිෂ්පාදන ඇසුරුම්වල සිල්ලර මිල සඳහන් ස්ටිකරයක් අලවන බව කීවේය. ඒ මිලට වඩා වැඩි මිලක් කිසිවෙකුත් ගෙවිය යුතු නැති බවද එම මාධ්‍ය හමුවේදී සහල් නිෂ්පාදකයින් ප‍්‍රකාශ කළහ.

එහිදී අදහස් දැක්වූ අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඞ්ලි සිරිසේන ප‍්‍රකාශ කළේ ඉදිරියේදී මේ සහල් මිලට අනුව ගොවි ජනතාවගේ වී වලට මිල තීරණය වනු ඇති බවය. එය ගොවියාත්, පාරිභෝගිකයාත් සහල් නිෂ්පාදකයාත් සුරක්‍ෂිත වන වැඩපිළිවෙළක් බවද හෙතෙම කීය. එහිදී වැඩිදුරත් සිය අදහස් දැක්වමින් මෙසේද පැවැසුවේය.

‘‘සහල් සහ වී සම්බන්‍ධයෙන් මේ රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයිනුත් ඒ අතර මැද සිටින අපිවත් ආරක්‍ෂා වන ආකාරයේ යෝජනා කිහිපයක් මීට පෙර අවස්ථා කිහිපයකදීම අපි රජයට ඉදිරිපත් කළා. රජය ඒ තත්ත්වය තේරුම්ගෙන ගනු ලැබූ තීරණයක් මේක. මේ පිළිබඳව යම් යම් පාර්ශව විවිධ කතා කොහොම කිව්වත් රජය ගත් ඒ තීන්දුවට රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් වශයෙන් මේ රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් හා සහල් නිෂ්පාදකයන් හැටියට අපි අපේ ප‍්‍රශංසාව පිරිනමන්න ඕන. රජය ගත්තු ඒ වැඩපිළිවෙළ ශක්තියක් වෙලා පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් අසාධාරණයක් නොවන විදියට වී මිලත් සහල් මිලත් පිළිබඳව අපි එකට එකතුවෙලා සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරනවා. ප‍්‍රධාන සහල් නිෂ්පාදකයෝ හැටියට අපේ සහල් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන්නේ එහි මිල සඳහන් ස්ටිකරයක් සහල් ඇසුරුමේ අලවලා. එහි සඳහන් මිලට වඩා වැඩි මිලක් කිසිම කෙනෙක්් ගෙවිය යුතු නෑ. අපි කියන්නට ඕන වී ගොවියාත්, පාරිභෝගිකයාත් ශක්තිමත් වන ආකාරයට ඉදිරියට කටයුතු කරනවා. මේ අනුව නාඩු කිලෝවක තොග මිල රුපියල් 110ක් ලෙසත් එහි සිල්ලර මිල රුපියල් 115ක් වශයෙනුත් සම්බා සහල් කිලෝවක තොග මිල 135ක් සහ සිල්ලර මිල රුපියල් 140ක් වශයෙනුත් කීරි සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 160ක් සහ සිල්ලර මිල රුපියල් 165ක් වශයෙන් මිල නියම කර තිබෙනවා. මේ සහල් වර්ගවල මිල කිසිසේත්ම මීට වඩා වැඩිවෙන්නේ නෑ. මේ රටේ වගකියුතු ව්‍යාපාරිකයින් සහ ප‍්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් හැටියට අපි ඒ බව ඉතාමත් වගකීමකින් කියනවා.’’

කෘතිම සහල් හිඟයක් ඇතිකරවන බවට පසුගිය දිනවල රජය පැත්තෙන් ප‍්‍රකාශවීම සම්බන්‍ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඩඞ්ලි සිරිසේන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සහල් මෝල් වලට පැමිණ සහල් තොග රජයට පවරා ගැනීමෙන් පසු සහල් නිෂ්පාදනයේ අඩුවීමක් ඇතිවූ බව කීය. එයට හේතුව ගොවීන් තමන් සතු වී තොග ඒ අවස්ථාවේ පැවැති අඩුමිලට අලෙවි කිරීමට අකමැතිවීම යැයිද ඒ මහතා කීවේය. අප විසින් මීට පෙර අවස්ථාවලදීද පෙන්වාදී ඇති පරිදි සහල් නිෂ්පාදනය පිළිබඳ කාරණයේදී රජය සතුව සහල් මෝලක් තබා වංගෙඩියක් මෝල් ගහක් තරමවත් නොමැති කල පෞද්ගලික ඒකාධිකාරියට සහල් කිලෝවට ලංසු තැබීමේ අයිතිය හිමිවීම සාමාන්‍ය තත්ත්වයෙකි.

එපමණක් නොව මෙරට වී ගොවියාගේ හෙට දවස පිළිබඳ ඉරණමද එබඳුය. සහල් නිපදවන මහා පරිමාණ මෝල් හිමියන් සහල් කිලෝවේ මිල තීන්දු කරන්නාසේම ගොවියාගේ වී කිලෝවටද මිල මෝල් හිමියා වෙතින් මිසක රජයට ඒ හැකියාව නැති බව පැහැදිලිය. එයට කදිම නිදසුන රජය සහල් මිල ගැසට්ටුව හකුලා ගැනීමෙන් පසු සහල් මෝල් හිමියන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී වී මිල ගැනද කියන්නට අමතක නොකළේය. මක්නිසාද සහල් නිපදවන්නේ වී වලින් බව ඔවුන් අමතක කර නැති නිසාවෙනි. ඒ අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 62.50ක් සම්බා වී කිලෝවක් රුපියල් 70ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 80ක් වශයෙනි.

නිෂ්පාදන පිරිවැය අධික හෙයින් වී කිලෝවේ රජයේ සහතික මිල වැඩි කරන්නැයි ගොවීන් වෙතින් කෙරෙන ඉල්ලීම දැන් කලෙක පටන්ය. ඉකුත් සඳුදා පැවැති කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳවත් යම් තීරණයක් ගනු ඇතැයි ගොවි ජනතාව විමසිල්ලෙන් පසුවූහ. වී කිලෝවේ දැනට පවතින සහතික මිල රජය කොයි මොහොතේ හෝ ඉහළ දමනු ඇතැයි යන දැඩි බලාපොරොත්තුවක් ගොවීන් තුළ පැවැති නිසාවෙනි, ඒ. එහෙත් එම ගොවි සිහින බොඳවී ගොස් ඇති බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. සහල් මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු ඇතිවී තිබෙන තත්වයන් පිළිබඳව මහජන මතයවී තිබෙන්නේ පාරිභෝගියා හෝ ගොවියා මේ තුළින් ආරක්‍ෂා නොවන බවයි. මේ ඇතිවී තිබෙන්නේ රටේ ජනතාව ඉල්ලා නොසිටි දෙයක් බව සමාජයේ විවිධ පිරිස් පෙන්වා දෙති. එහෙයින් නොපමාව රජය සහල් සඳහා මිල පාලනයක් ඇති කළ යුතු බවට ඔවුහු මත පළකර සිටිති.

මුලින්ම මේ කාරණය ගොවි ජනතාවට දැනී ඇත්තේ කෙබඳු ආකාරයකටද යන්න විමසූ අවස්ථාවේ ඒ සම්බන්‍ධයෙන් අදහස් දැක්වූ පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයට අයත් ගැමුණුපුර ගොවි සංවිධානයේ සභාපති ඞී. ජී. ලලිත් ප‍්‍රියදර්ශන ප‍්‍රකාශ කළේ රජය සහල් පාලන මිල ඉවත් කළ මේ කටයුත්ත තුළින් වාසි සැලසුණේ මහා පරිමාණ මෝල් හිමියන්ට සහ වී තොග රැස්කරන මුදලාලිලාට බවයි. වී කිලෝවේ රජයේ සහතික මිල වැඩි කරන ලෙස මිසක සහල් පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලීමක් ගොවීන් කිසි විටෙකත් රජයෙන් ඉල්ලීම් කර නොතිබූ බව ඒ මහතා කීය. ‘‘සමහර උදවිය හිතාගෙන ඉන්නවා ගොවීන් ළඟ වී තියෙනවා කියලා. ගොවීන් ළඟ කෑමට වී ගෝනියක් දෙකක් තියාගෙන ඇති. එහෙම නැතුව ලොරි ගණන් වී ගොවීන් ළඟ නෑ. එහෙම වී තියෙන්නේ මෝල්කාරයෝ ළඟයි, වී මුදලාලිලා ළඟයි. ගොවියා ණය තුරුස් ගෙවා ගන්න වී ටික කුඹුරෙන් ගොඩට ගත්තු ගමන් විකුණනවා. මේ වතාවේ වැඩි මිලට වී ගන්න එපා කියලා ආණ්ඩුව තහංචි දැම්මා. මෝල් කාරයෝ වෙනදා කීයක් හරි වැඩියෙන් දීලා වී ගන්නවා. මේ සැරේ ඒ අවස්ථාවත් ආණ්ඩුව විසින් ගොවියට නැති කළා. දැන් මෝල් හිමියෝ ළඟ තියෙන්නේ ආණ්ඩුවේ ඒ මඟ පෙන්වීම යටතේ ගොවියගෙන් අඩු මිලට ගත්තු වී තොග. ගොවියා දැන් තුට්ටු දෙකට වී ටික විකුණලා ඉවරයි. ආණ්ඩුව හාල් පාලන මිල අයින් කළා. මෝල් හිමියෝ හාල් වලටයි වී වලටයි දෙකටම මිල තීරණය කරනවා. මේකේ කිසිම වාසියක් මේ මොහොතේ ගොවියට ඇත්තේ නෑ. පාරිභෝගිකයටත් නෑ. එහෙම පිටින්ම මෝල්කාරයින්ට විතරයි මෙහි වාසිය තියෙන්නේ. ගොවියට පොහොර සහනාධාරයත් නෑ. වී වලට මිලක් දුන්නෙත් නෑ. ගොවියා ගොයම් ටික කපා පාගා ගත්තු වෙලේ වැඩි මිලකට වී ටික විකුණාගන්න ඉඩ හැරියෙත් නෑ. මේ සියල්ලක්ම සැළසුම් සහගතව කරපු දේවල්ද කියලා අපට දැන් සැකයක් මතුවෙනවා. මෝල් වලට කඩා පැනලා වී තොග හාල් තොග අල්ලපුවා. ඒ ඔක්කොම සංදර්ශන කියලා දැන් තමා අපිට හිතෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ වනවිට ගොවීයා ප‍්‍රශ්න රාශියකට මැදිවෙලා ඉන්නේ. ප‍්‍රධාන වශයෙන් වී කිලෝවට නිසි සාධාරණ මිලක් අවශ්‍යයි. නියම කරලා තියෙන රජයේ සහතික මිල කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ. ඒ බව මේ රජයේ වගකිවයුත්තෝ කිසිම කෙනෙක් තේරුම් අරන් නෑ. ගොවියාගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ඉක්මනින් අවශ්‍යයි. රජය කටයුතු කරන්නෙත් කිහිප දෙනෙකුගේ මනදොල සපුරන්න මිසක් මේ රටේ ලක්‍ෂසංඛ්‍යාත ගොවි ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න විසඳීමට නෙවෙයි කියන එක දැන් ඉතාමත්ම පැහැදිලියි. මේ ආණ්ඩුවේ, මේ දිස්ත‍්‍රික්කයේ කිසිම මහජන නියෝජිතයෙක් ගොවියා වෙනුවෙන් වචනයක්වත් කියන්නේ නෑ. එයින් පැහැදිලියි ඒ අය ඉන්නේ මේ රටේ ගොවි ජනතාව එක්ක නෙවෙයි කියන එක. නමුත් අපි කියනවා මේ දැඩි පීඩනයෙන් ඉන්න ගොවි ජනතාව මේ සියලූ නොපනත්කම්වලට එරෙහිව වැඩි ඈතක් යන්න කලින් පාරට බහිනවා කියලා.’’

රජය සහල් මිල පාලනය පිළිබඳ පනවා තිබූ ගැසට් පත‍්‍රය අහෝසි කිරීමෙන් පසුව රටේ ඈත්වී තිබෙන තත්ත්වය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ගේද ඇත්තේ බලවත් නොසතුටක් බව පෙනෙන්නට තිබේ. සහල් මිල පිළිබඳ වගකීම රජයේ පාලනයෙන් මිදීයෑම කිසිසේත්ම සුබවාදී තත්ත්වයක් නොවන බව ඔව්හු පෙන්වා දෙති. එම නිසා රජය අනිවාර්යයෙන්ම සහල් සඳහා පාලන මිලක්් පැනවිය යුතුයැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පවසති. එසේ නොවුණහොත් ඉදිරි දිනවලදී දේශීය වෙළඳපොළේ සහල් මිල ඉහළ යෑම නියත වශයෙන්ම සිදුවනු ඇති බව ඔවුහු කියා සිටිති. මේ වනවිට වී තොග තිබෙන්නේ ගොවීන් ළඟ නොව ගොවි මුදලාලිලා සතුව හෙයින් මේ මොහොතේ සහල් මිල ඉහළ යෑමෙන් ගොවියාට අත්වන සෙතක් නැතැයිද ඔවුහු පෙන්වාදෙති. එම නිසා ගොවීන් සමඟද සාකච්ඡා කර වී කිලෝවටද රජය සහතික මිලක් නියම කළ යුතු බව එම සහල් මෝල් හිමියෝ පවසති.

අලුත් මිලට ගැසට් එක නොගැහුවොත් හාල් මිල ආයෙත් ඉහළට...

ඒ සම්බන්‍ධයෙන් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් හා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සංගමයේ සභාපති රොෂාන් සිල්වා ‘‘රජය වී සහ සහල් මිල පාලනය කරන්නේ මේ රටේ ගොවීන් වී අස්වනු නෙළන කාලයට පමණයි. හාල් මිල පාලනය ගේන්නෙත් ඒ කාලයට විතරයි. ගොයම් කපන කාලයට ආණ්ඩුව එය පාලනය කරන්නයි කපලා ඉවර වෙනකොට වෙනත් කෙනෙක් පාලනය කරන්නයි රටකට ආණ්ඩුවක් ඕනේ නෑ. පසුගිය දිනවල වී ගබඩා කරපු අයට සිද්ධවුණ දේ අපි දැක්කා. ඒක හරිම අසාධාරණයි. දැන් ඇතිවී තිබෙන තත්ත්වය තුළ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සියයට 90ක් පමණ වැහිලා යනවා. මෝල් ඔක්කොම දුවන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න ඕන. රජය පිටරටින් සහල් ගෙන්වීමට සූදානම් වන්නේ දේශීය සහල් නිෂ්පාදනයේ ඒ ඇතිවන හිඩැස පියවීම සඳහා. එම නිසා රජය වහාම මේ ප‍්‍රශ්නයට මැදිහත් විය යුතුයි. සහල් සඳහා අනිවාර්යයෙන්ම පාලන මිලක් පනවන්න ඕන. එහෙම නොකළොත් ඉදිරියේදී හාල් මිල ඉහළ යනවා. ඒක වළක්වන්න නම් නොපමාව රජය සහල් සඳහා පාලන මිලක් පැනවීමයි. රජයේ පාලන මිල පවතිද්දී සතොස ආයතනයට සහල් සැපයීම කරන ලද්දේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පමණයි’’ යැයිද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. රජය සහල් මිල පාලනයෙන් ඉවත්වීමෙන් පසුව උද්ගතවී ඇති තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට ගොවි අරගල ව්‍යාපාරය පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ඉන්ද්‍රානන්ද ද සිල්වා කියා සිටියේ ආණ්ඩුව වී මෝල් මාෆියාව ඉදිරියේ දණගසා හමාර බවයි. එම නිසා හාල් මිල ඉහල යෑම වැළැක්විය නොහැකි යැයිද ඒ මහතා කීවේය.

‘‘රජය සහල් පාලන මිල ඉවත් කරලා ඩඞ්ලි සිරිසේන ප‍්‍රමුඛ සහල් මාෆියාවට නැවතත් මේ බලය සුපුරුදු පරිදිම ලබා දුන්නා. අපි ඊයේ දැක්කා සමහර ගොවි සංවිධාන වලින් පවා රජය ගත් මේ පියවර පිළිබඳව ඉතා ඉහලින් අගය කරලා ප‍්‍රවෘත්ති සාකච්ජා කැඳෙව්වා. අපි එතෙන්ට වැටෙන්නේ නෑ. මීට කලින් සහල් වලට පාලන මිලක් ගෙනල්ලා 7වෙනිදා ගැසට් පත‍්‍රයක් නිකුත් කරපු ආණ්ඩුව, ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති, වෙළඳ ඇමැති සහල් මාෆියාකරුවන් දණ ගස්සනවා එහෙම බැරි වුණොත් අපි දෙන්නම ඉල්ලා අස්වෙනවා කිව්වා. අපි ළඟ ඔවුන් කරපු ඒ පුරාජේරු කතා තියෙනවා. අපි අහනවා කෝ දැන් මහින්දානන්ද කෝ දැන් බන්දුල ගුණවර්ධන ඉල්ලා අස් වුණාද? ඒ හින්දා කයිවාරු ගහන්න කලින් දැන ගන්න ඕන මේ ආණ්ඩුව කරන්නේ ඔය කියන ධන කුවේරයන්ගේ උවමනා එපා කම් බව. හාල් මෝල්වලට පැනලා හාල් අල්ලලා ලොකු සංදර්ශනයක් කළා. ඊට පස්සේ හාල් හංග ගත්තා වෙළඳ පොළේ හාල් හිඟ වුණා නමුත් මොකුත් කළේ නෑ. ආණ්ඩුව කළේ හාල් පාලන මිල ඉවත් කර ගත්තා. අපි දැක්ක පස්සෙ කරපු මාධ්‍ය සාකච්ඡාවෙදී ඩඞ්ලිගේ මූණේ තිබුණු උපහාසාත්මක හිනාව. එක පැත්තකින් ආණ්ඩුවට හිනාවෙනවා උඹලා අපිව දණ ගැස්සුවද? දැන් උඹලා අපි ළඟ දණ ගහන්න ලෑස්ති වෙයල්ලා කියලා වගේ. අනෙක් පැත්තෙන් මේ රටේ ජනතාවට ඔහු හිනා වෙන්නේ අපිට විරුද්ධව කාටවත් මොකුත් කරන්න බෑ කියලා. මේ රටේ හාල් මාෆියාවට ගොවියාගේ වී මිල තීන්දු කරන ක‍්‍රමයට ගොවි අරගල ව්‍යාපාරය අපි විරුද්ධයි. මේ නිසා තමයි රජය පොහොර ගෙන්වීම නැවැත්තුවේ. ආණ්ඩුව කිව්වා මේ රටේ මිනිස්සු වකුගඩු රෝග හැදිලා පිළිකා රෝග හැදිල මැරෙනව මේ රසායනික පොහොර නිසා. අපි ඒ පැත්ත හිතල තමයි මේ තීන්දුව ගත්තේ කියලා. දැන් අපි අහනවා ගෙන්නන හාල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂය කාබනික පොහොර වලින් හදපුවද, රසායනික පොහොර වලින් හදපුවද කියලා. අපි කියනවා පකිස්ථානය ඇතුළු දකුණු ආසියාවේ රටවල කාබනික පොහොරවලින් සහල් නිපදවන මහා පරිමාණ ක‍්‍රියාවලියක් නෑ. මේක පැහැදිලිව අපි කියනවා රසායනික පොහොර වලින් නිෂ්පාදනය කරපු සහල් මේ ගෙනාවෙ කියන එක. මේවා අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන් ගුල්ලෙක්වත් ගහන්නේ නැතුව ඒ තරමට අධික ලෙස කෘෂි රසායන යොදල තියෙන්නේ අපි ඒක අත්දැකීමෙන් දන්නවා. ඒවා ගෙන්නනවා එතකොට වකුගඩු රෝග හැදෙනේනේ නැද්ද? පිළිකා රෝග හැදෙන්නේ නැද්ද, මේ තියෙන්නේ තනිකර බොරුව. මේ රටේ දවසක පරිභෝජනයට හාල් මෙටි‍්‍රක් ටොන් 5000ක් යනවා. හාල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක් කියන්නේ දවස් 20කට සෑහෙන්නේ. මේ කියාපු මෝල් මාෆියාව රජකරනවා. හාල් මිල ඉතා ඉහලට වැඩිවෙනවා. මොකද දැන් ඒක ඔප්පු කරලා ඉවරයි, උඹලට අපිව දණ ගස්සන්න බෑ. උඹලා දණ ගහපල්ලා කියලා ආණ්ඩුවට කියල ඉවරයි. ආණ්ඩුව දණ ගහලා ඉවරයි ඒක නිසා හාල් මිල මෙතැනින් නතර වෙන්නේ නෑ. පාලන මිලක් තියෙද්දීත් හිතූ මනාපෙට ඕන, ඕන ගණන් වලට හාල් විකුණපු මාෆියාකරුවෝ දැන් ආණ්ඩුව පාලන මිල අයින් කර ගත්තට පස්සේ කොහොමත් යටත් නෑ. අපි ගොවි අරගල ව්‍යාපාරය විදියට ආණ්ඩුවට කියනවා හාල් මාෆියාකාරයෝ ඉදිරියේ දණ ගහපු ආණ්ඩුව වහා ඉල්්ලා අස්විය යුතුයි කියලා.’’

හාල් ප‍්‍රශ්නය මුල් කරගෙන ආණ්ඩු ගෙදර යැවූ අතීත මතක මෙරට ජනයාට තවමත් ඉතිරිව තිබේ. 1960-1965 ඩඞ්ලි සේනානායක ආණ්ඩුවට විරුද්ධව මහජන හර්තාලයක් දියත්වූයේ එවකට රජය මගින් නොමිලයේ ලබාදුන් හාල් සේරු දෙකෙන් එකක් කප්පාදු කිරීමට එරෙහිවය. පසුව 1970දී සිරිමා බණ්ඩාරනායක රටේ ආණ්ඩු බලය ඉල්ලන්නේ තම පාලනයක් යටතේ හාල් සේරු දෙකම නැවත ජනතාවට නොමිලයේ දෙන බව කියමිනි. එහෙම දෙන්නේ කෙසේදැයි ප‍්‍රතිවාදීහු මැතිවරණ වේදිකාවල විමසන විට සිරිමා බණ්ඩාර නායකගේ හිතවාදීහු ඊට පිළිතුරු දුන්නේ අපේ මැතිනි හඳෙන් හරි ගෙනැල්ලා හාල් සේරු දෙක දෙනවා කියාය. හඳේ කොහිද හාල් කිසිවෙකුත් එකල නොවිමසුවද 70 මැතිවරණයෙන් ඩඞ්ලි ගෙදර යවා සිරිමා බණ්ඩාරනායක අගමැති පුටුවට පත්්වූවාය.

වර්තමානයේ ආණ්ඩු බලයක් නැතිව වුවද ඩඞ්ලි සිරිසේන මෙරට හාල් පාලනයේ බලය අතට ගෙන ඇත්තේ ඒ සම්බන්‍ධයෙන් රජයේ වැඩ පිළිවෙල දුර්මුඛ වූ මොහොතකය. ඒ හේතුවෙන් ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවේද යන්න තීන්දු කරනු ලබන්නේ කාලය සහ මහජනතාව විසිනි. නමුත් තමන් ඇමැතිධුරවල සිටිනතාක් කල් පිටරටවලින් හාල් ඇටයක් වත් මෙරටට ගෙන්වන්නේ නැතැයි කියූ, හාල් කිලෝවේ මිල රුපියල 100කින් ඉහළට යන්නට දෙන්නේද නැතැයි පච පූචානම් දොඩා රටක් නොමඟ යැවූ මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ඊට පෙර ගෙදර යෑමට සිදුවේවේදැයි සැකයක් පවතින බව මහජනයා කියති.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment