අලෙවියට තිබූ ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් 5200ක් අත්අඩංගුවට

456

වෙළෙඳපොළේ අලෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර 5200 ක් පසුගිය දෙමසක කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

පුද්ගලයකුගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට උපයෝගි කරගන්නා මෙම උපකරණවලට කොවිඞ් වසංගත තත්ත්වයත් සමඟ අධික ඉල්ලූමක් ඇති වීම හේතුවෙන් ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබෙන බවට ලද තොරතුරු මත ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ වැටලීම් සිදුකර ඇත.

වලාන ¥ෂණ මර්දන අංශය මගින් ලැබුණු තොරතුරකට අනුව ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර මෙරටට ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයන් තිදෙනකු පසුගිය ජූලි මස 12 දින පිටකොටුවේදී ඔක්සි මීටර 3500 ක් සමඟ අත්අඩංගුවට ගත් බවත්, ඉන් අනතුරුව අඛණ්ඩව සිදුකළ වැටලීම් මගින් ඖෂධ අලෙවිසල්වල විකිණීමට තිබූ තවත් ඔක්සි මීටර 1700 ක් අත්අඩංගුවට ගත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක‍්‍රියාත්මක කිරීමේ අංශයේ අංශ ප‍්‍රධානී අමිත් පෙරේරා මහතා පැවසීය.

මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලඹේ සහ කඩුවෙල යන ප‍්‍රදේශවල පිහිටි ඖෂධ අලෙවිසල් 12 ක් පසුගිය සති අන්තයේ පරීක්ෂාවට ලක්කළ බවත් ඉන් හතරක තිබී ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර සොයාගත් බවත් කී අමිත් පෙරේරා මහතා ඒවා රුපියල් 3000 -3500 අතර මුදලකට අලෙවි කර තිබෙන බවද පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත, එහි ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ආහාර හා ඖෂධ පරීක්ෂකවරු සහ ඖෂධ නියාමන අධිකාරියේ බලයලත් නිලධාරීහු ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර සොයා දිවයින පුරා වැටලීම් සිදුකරතිි.

ඡායාරූප- ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගත් ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර්.

සමන්තී වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment