අල බහින්න කලින් සහල් ඉවර වුණොත් මොනවද කන්නේ…

359

දැනට තිබෙන ඵලදාව ආරක්ෂා කරගැනීම ගැන තවමත් කතා නෑ

තව මාස හතරකින් රටේ වී ගබඩා හිස්වෙයිලු

යල වී අස්වැන්න 50% කින් පමණ අඩුවෙන බවට පුරෝකථන

රසායනික පොහොර හා කෘෂිරසායන නැතිකමෙන් යල කන්නයත් ෆේල් !

මීට මාස කීපයකට කලින් එළිපහලියේ කතාබහ කරන විටදී තහනම් වචනයක් වූයේ ‘සාගතය’ යන්නයි. එතරම් බරපතළ නොවන විධියට ‘ආහාර හිඟය’ යනුවෙන් ටිකක් ඇල්මරා කිව්වත්, කතාව නොදිරවන නිසා රවා බලනා දෙතුන් දෙනෙක් වටපිටාවේ සිටියහ. රූප පෙට්ටියට පැමිණෙන බලධාරීන් පවා කිසිදා ආහාර හිඟයක් මෙරට ඇතිවෙන්නේ නැතැයි කියා දැවැන්ත විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කෙරුවේ නරඹන්නන්ගේ සිත් තුළට සිහින් පවන් සලමිනි. පිටරටින් එක හාල් ඇටයක්වත් ගෙන්වන්නේ නැති බවට දේශපාලන බලධාරීන් සද්දෙට කෑගසන විටදී ගමේ පාක්ෂිකයා දිව රෝල්වෙන්නට ඇඟිලි කටේ ඔබාගෙන විෂිල් ගැසූහ. එතැන් සිට තවත් සති කීපයක් අවෑමෙන් භූමිකම්පාවකින් පසු ඇතිවෙන නිහඬතාවය වැනි නිසොල්මන් පරිසරයක් මේ වනවිට රට තුළ උදාවී තිබේ. රට සරු කරන්නට කාබනික පොහොර නම් ද්‍රව්‍ය තොගයක් සමග පැමිණි චීන නැව ඩොලර් වලින්ම වන්දිත් රැගෙන පිටවී ගියා මිස ඉන් ඔබ්බට කිසිදු ආරංචියක් නැත. බෝම්බ ගැසුවාක් මෙන් පලදාව දෙනවා කියූ දියර පොහොර ඉසින ලද කිසිදු වගා බිමකින් එවන් අමුතු සද්දයක් ඇසුනේද නැත. වගා පාළුවූ ගොවියාට වන්දි දෙන්නට අතේ මිටේ රුපියල් පවා නොමැති බවක්ද කියවේ. දැන් දැන් වැඩිපුරම භාවිතා වෙනු ඇසෙන්නේ එදා හොරෙන් වගේ මිමිනූ ආහාර හිඟය නමැති වචන යුගලයයි. රටේ ආහාර නිෂ්පාදනයේ ගාමක බලවේගය සේ හැඳින්වෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවා ඉදිරියේ එන ආහාර හිඟයකට නිල මට්ටමෙන්ම සූදානම් වෙමින් ජනතාව වගාබිමට ඇදගැනීම සඳහා විවිධ වැඩසටහන් එළිදක්වමින් සිටී.

අප කිසිවෙක් සාගතයක අත්දැකීම් ලබා නැත. ඒ නිසා එවන් බර වචන භාවිතය අද දවසේ නොකළ යුත්තක් යැයිද සිතේ. ඉතිහාස පොත්වලනම් සාගත ගැන විස්තර අන්තර්ගත වුණි. එකක් වූයේ ක්‍රිස්තු පූර්ව 103 -89 දක්වා කාලයේදී දශකයක් වැනි දිගු කාලයක් පුරා පැවති “බැමිනිටියා සාය” නම්වූ අහේනි කාලයයි. නිරපරාදේ බඩගින්නේ මියැදුණු නොහැකිව බෞද්ධ භික්ෂූන් පවා එකල ඉන්දියාවට හා මාලදිවයිනට පලා ගිය බව සඳහන්ය. සාගතයට මූලිකම හේතුව වූයේ පරසතුරු ආක්‍රමණ හේතුවෙන් වාරි පද්ධති විනාශවී යෑම, දූෂිත පාලනය, වී නිෂ්පාදනය නොසලකා හැරීම වැනි හේතූන් මත රටේ නිපැයුම් අඩාලවීමයි. අවසානයේදී වලගම්බාහු රජ බලයට පත්වී, විනාශවූ වාරි පද්ධති අලුත්වැඩියා කරමින් වී ඇතුළු ආහාරයන්හි නිෂ්පාදනය ඉහළ නංවා සාගතයට තිත තැබූ බව ඉතිහාසයේ සඳහන්ය.

දෙවැනි ලෝක යුද සමය වූ 1943 දී වර්තමාන බංගලාදේශ ප්‍රදේශයේ ඇතිවුණ ‘බෙංගාල සාගතය’ තවත් උදාහරණයකි. එහිදී කුසගින්න, මැලේරියාව ඇතුළු වසංගත ආදිය නිසා මිලියන 60 ක් වූ ජනගහනයෙන් මිලියන 3.8 ක් පමණ ප්‍රමාණයක් මියගිය බව කියවේ. මෑත ඉතිහාසයේ උපන් අපි මෙවන් කිසිදු අත්දැකීමකට මුහුණදී නැත. ඇතැම් අවස්ථාවලදී අහේනි තත්ත්වය පෙනෙන මානයේ ළඟට ගියද එහි පූර්ණ අමිහිර අත්විඳින්නට පෙර ගැළවීම ලබාගෙන නිදහස් වී තිබේ. 1952 අවුරුද්දේ මෙවන් අවස්ථාවක් උදාවුණි. අප එවකට ආනයනික රට සහලෙන් යැපෙමින් සිටිනා ජාතියකි. දේශීය වී නිෂ්පාදනය ඉතාමත් සුළු විය. අදට සමාන වූයේ ඩොලර් හිඟයක්ද තිබුණු බැවිනි. වෙළෙඳ හා වාණිජ ඇමැති පදවිය දැරූ රිචඩ් ගෝඨාභය සේනානායක (ආර්. ජී. සේනානායක) මහතා චීනය රබර් හිඟයකින් පෙළෙනා බව දැනගෙන ලංකාවට සහල් දෙන්නට කැමතිනම් හිලව්වට රබර් දෙන්නට අප සූදානම් බව දන්වා යවා තිබේ. එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අනුව මැලේසියාවෙන් චීනයට රබර් යැවීම ඒ වනවිට තහනම්කර තිබූ නිසා චීනයද එක පයින්ම කැමති වුණි. චීන ලංකා රබර් සහල් ගිවිසුමක් ගසා එදා අප ආහාර අහේනියෙන් ගැළවුණෙමු. දැන් චීනයට රබර් වුවමානවකුත් නැත. වුවමනා වුණත් දෙන්නට අපට රබර් ඇත්තේද නැත.

ඊළඟ ආහාර හිඟය ආවේ 70 දශකයේදීය. මගතොටේ ගෙනයාහැකි සහල් ප්‍රමාණයට මෙන්ම සතියකට බත් කෑමේ දින ගණනටද සීමා පැනවුණි. විකල්ප පිෂ්ඨ ආහාරයක් වශයෙන් රට පුරා මඤ්ඤොක්කා වගා කෙරිණ. අන්තිමේදී හැම පුරවැසියකුටම සතියකට ඇට රාත්තල් අටක් ලබාදෙන බවට වූ කටට කෙල වුණන මැතිවරණ පොරොන්දුවකට අවනත වී විවෘත ආර්ථිකයටද දොරපියන් හැරදමා එම අහේනි කඩුල්ලත් ජනතාව විසින් පැනගනු ලැබීය. කෘෂි විද්වතුන්ගේ කැපවීමත්, රාජ්‍ය අංශයෙන් අරමුදල් සපයාදෙමින් කළ දිරිගැන්වීමත්, විදෙස් විද්‍යායතනය මගින් ලබාදුන් නව තාක්ෂණයේ දැනුම හා පුහුණුවත් හේතුවෙන් එතැන් සිට ගතවූ අඩ සියවසක පමණ කාල පරාසය තුළදී, වැඩි අස්වැන්න දෙන වී ප්‍රභේදත්, ඒවාට ගැළපෙන වගා තාක්ෂණයත් මෙරටින් බිහිවුණි. මහපොළොව හා හැප්පෙන ගොවි ජනතාව විසින් ඒවා ගොවිපොළේ වපුරා රට සහලින් ස්වයංපෝෂණය කරන ලදී. මෙරටට ගෙන්වීමට අවශ්‍ය වූයේ සංචාරක හෝටල් කීපයකට වුවමනාවෙන, මෙහි නිෂ්පාදනය කළ නොහැකි බාස්මතී වැනි සහල් වර්ගයකින් සොච්චමක් පමණි. උදේ වේලටත් බත් කෑමට උනන්දු කරවන රතු කැකුළු බත්කඩ පවා මග දෙපස බිහිවූයේ ඇති පමණට රට තුළ දේශීය සහල් තිබුණු නිසාය. රයිස් කොත්තු වැනි අරුමෝසම් කෑම වර්ගද මේ හේතුවෙන්ම සමාජගත වුණි.

අල බහින්න කලින් සහල් ඉවර වුණොත් මොනවද කන්නේ…

එවන් සශ්‍රීක දේශයක් තුළ ජීවත්වූ ජනතාව හොඳින් වැසි වැටුණු, උනුහුමට හිරු පෑයූ යාබද වගාකන්න දෙකක් අවසානයේ ආහාර හිඟයකින් බේරෙන්නට අල බතල වවන්නට දඟලනවා පෙනෙන්නට තිබේ. කේවට්ට උපදෙස් ලබමින් ගොයමට වුවමනා පෝෂණය අවහිර කිරීමේ වරද හමුවේ යසට තිබූ ස්වයංපෝෂිත දේශය මේ වනවිටත් කෙලෙසී හමාරය. උපදේශකයන් පැදුරටත් නොකියා නොව පැදුරුත් අරගෙනම පැන ගොසිනි. කෑමට ගත හැකි ගහකොලකින්, අතට අහුවෙන ඇටයක් දණ්ඩක් වුවද කොතැනක හෝ භූගත කරනා ලෙසට කෘෂිකර්ම නිලධාරීන්ද උපදෙස් දෙමින් සිටී. පසුවූ වගාකන්න දෙක තුළදීම ගොවිබිම් තුළින් ඇසුනේ හානා හීය වෙනුවෙන් පානා අඬහැරය නොව දියව් දියව් වැනි ගාලගෝට්ටි සද්දයකි. කරල් පූදින්නේ නැති පුරන් කුඹුරුවල පාහේ එකම රූපකායකින් හෙබි පඹයින් පවා ඉදිවුණි. එම පඹයින්ට කුරුළු කොබෙයියන් බය නොවෙන නිසාදෝ, හදනවාට වඩා වේගයෙන් ඒවාට ගිනි තබනවාද දුටුවෙමු. නිතර දෙවේලේ කුඹුරට පයගසන්නේ නැති, දරුවන්ට කෘෂිකර්මය ඉගැන්වීමේ යෙදී සිටින විශ්වවිද්‍යාල ඇඳුරන් වැනි කොටසකට ගොවියාගේ මේ අසාමාන්‍ය හැසිරීම පෙනී කලබලවී, ප්‍රසිද්ධියේ යම් කරුණු දැක්වීමක යෙදී සිටියද, ගෙඩිය පිටින්ම කුඹුරේ කටයුතුවල අයිතිය තිබෙන නිලදරුවන් නම්, ගතවූ කන්න දෙකම සිටියේ කොහේදැයි කියාවත් දන්නා කෙනෙක් නැත්තා සේය. එක්කෝ ඔවුන් කාට හෝ බියෙන් සැඟවී සිටියා විය හැකිය. නැත්නම් කුඹුරේ සිදුවෙන ජංජාලය නොදුටුවා විය හැකිය. එහෙත් මේ වනවිට නම් ඔවුන්ද යමක් කළයුතුයි පවසමින් ගුලිවී සිටි කවච තුළින් පිටතට පැමිණෙමින් සිටී.

දැන් ගෙවී යන්නේ යල කන්නයයි. සාමාන්‍ය ඉලක්කය වන්නේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහක් වගා කරන්නටය. එහෙත් තවම වගා ස්ථාපනය කර තිබෙන්නේ හෙක්ටයාර් තුනකට මඳක් වැඩි ප්‍රමාණයකය. ඒවායින්ද නියම අස්වැන්නක් නොලැබෙන්නේ අවශ්‍ය පමණට පෝෂණය ලබාදීමට ගොවීන් සතුව රසායනික පොහොර නොතිබෙන නිසාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටින්නේ 50% ක පමණ අස්වැන්න අඩුවක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන බවයි. අසාර්ථක වූ පසුගිය මාස් කන්නය තුළදීත් සැලකිය යුතු වී අස්වැන්නක් ගබඩාවලට නොලැබුණානම්, 50% ක අඩුවකුත් සමග මෙම යල කන්නයත් අවසන් වේනම්, තවත් මාස හතරක් පහක් යනවිට ගබඩා තුළ තිබෙන පරණ වී සංචිත සිඳී ගොස් අපේ බත් කෑමටත් අගුල් වැටෙනවා ඇත. කෘෂිකර්ම ඇමැතිවරයා පවා පසුගියදා පැවසුවේ යල කන්නය සඳහා පොහොර ගෙනෙනවා තබා තවමත් පොහොර තොග නැවටවත් පටවා නොමැති බවයි. එතුමා බලාපොරොත්තු තබාගෙන සිටින්නේද මේ වසර අගදී ආරම්භවෙන 22/23 මාස් කන්නය ගැනය. එහි ගොයම් කැපෙන්නේ 2023 අප්‍රේල් සමයේදී නිසා තව මාස 3-4 කින් පටන්ගන්නා ආහාර හිඟය යටතේ, මාස හයකින් පමණ දික්වූ එම කාල පරිච්ඡේදය පසුකර යන්නේ කෙසේ දැයි සිතාබැලිය යුතුවේ. පාන්පිටි ආනයනයද සීමාකිරීමට සිදුවෙන බව පසුගිය දිනෙකදී එම ආනයනකරුවන්ද පවසා සිටියේ හිතේ හැටියට නිදහසේ තිරිඟු පිටි මිල ඉහළ දමා හති වැටීමෙන්ද අනතුරුවය. යථාර්ථයට ගරු කරමින් ඇතැම් කුඹුරු හිමියන් අලබෝග, මුංඇට වැනි වෙනත් අතිරේක බෝගවලට යොමුවී තිබීමද සාධාරණ වුවත් ලාංකිකයාට බත්පත අමතක කරන්නටද නොහැකිය. එබැවින් බලධාරීන්ගේ යුතුකම හා උත්සාහය විය යුත්තේ ගොවියාව හැකි ඉක්මනින්ම වී ගොවිතැන වෙතට ආපසු කැන්දා ගැනීමට සුදුසු පරිසරයක් සැකසීමයි.

“දැන් හැමෝම කඩිනම් වගා සංග්‍රාමයක් ගැන කතා කරනවා. වී පර්යේෂණ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් හැටියට මගේ ප්‍රමුඛත්වය නම් හැමතිස්සෙම ලැබෙන්නේ සහල් වලටමයි. ඔය කතාකරන සියලුම බෝග වර්ග අතරින් ගොයම් කියන්නේ ඉක්මන්ම බෝගය. බිම් සැකසීමට සුළු කාලයක් යනවා තමයි. හැබැයි බී.ජී. 300 වගේ අපි හදාපු ප්‍රභේද දවස් 95 න් අස්වැන්න දෙනවා. අනිත් එක බත් කන එක ජනතාවට අමුතු දෙයක් නෙවෙයි. බඩ පිරෙනවා වගේම හිතත් පිරෙනවා. සමහරු ඉන්නවා මොනවා කෑවත් එක වේලක් හෝ බත් කටක් නොකෑවොත් ඒ අයට ලොකු අඩුවක් වගේ දැනෙනවා. හිත පිරෙනවා කියලා මම කිව්වේ ඒකයි. ඒ නිසා ඔය මොනදේ වැවුවත් කුඹුරේ වී වගාවට තියෙන අවධානය එහා මෙහා කළයුතු නෑ. ඉතිහාසයේත් අපි ගොඩ ගියේ වී වගාවෙන්. ඒක නොකළොත් පද්ධතියම අවුල් වෙනවා.”

අල බහින්න කලින් සහල් ඉවර වුණොත් මොනවද කන්නේ…

එසේ පවසන්නේ ජ්‍යෙෂ්ඨ වී අභිජනන විද්‍යාඥ ආචාර්ය එම්. පී. ධනපාල මහතායි. බතලගොඩ වී පර්යේෂණායතනයේ පළමු අධ්‍යක්ෂවරයා ලෙසද, පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ විද්‍යාඥයෙක් ලෙසද සේවය කර ඇති හෙතෙම සහල් පර්යේෂණයන් පිළිබඳව ලොව පුරා රටවල් ගණනාවකදී අත්දැකීම් රැසක් ලබා ඇත්තෙකි. 1982 වසරේදී ජනාධිපති සම්මානය හිමිකරගත් ඔහුට එම වසරේදීම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ‘සෙරස්’ පදක්කමද පිරිනමන ලදී. 1996 දී කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාව විසින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම මෙහෙයක් ඉටුකරන ලද විද්‍යාඥයාට හිමිවන සම්මානයද ධනපාල මහතාට පිරිනැමුණි. සම්මාන පෙරහැර එතැනින් නොනැවතුණු අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වසර 75 ක් සැපිරීම නිමිත්තෙන්, විවිධ ක්ෂේත්‍රයන් උදෙසා තම ජීවිත කාලයම කැපකළ විද්වතුන් කිහිප දෙනකු තෝරාගෙන ප්‍රදානය කෙරුණු වජ්‍ර ජයන්ති සම්මානය, ශාක අභිජනනය උදෙසා ආචාර්ය එම්. පී. ධනපාල විද්වතාණන් වෙත 2017 ජූලි මස 06 වෙනිදා හිමිවිය. මේ සුපිරි ජ්‍යෙෂ්ඨයා පිළිබඳව මෙවැනි සුළු සටහනක් හෝ තැබුවේ පසුගියදා ඇතිවූ කාබනික උන්මාදය සම්බන්ධයෙන් එතුමාගේ සිත හැඬූ තරම කෙතරම් දැයි පෞද්ගලිකවම මා දන්නා නිසාය. ඉවසා සිටින්නට බැරිම තැන හෙතෙම ඉංග්‍රීසි පුවත්පත් හරහා ලිපි කීපයක්ද ලීවේය. මා විසින් ඉන් කීපයක් පරිවර්තනය කරදුන් අතර සිංහල පුවත්පත්වල ඒවාද පළවුණි.

ඉන්දියාවේ සේවය කරන සමයේදී ලද අත්දැකීම් ඇසුරෙන් කාබනික ගොවිතැන නමැති සංකල්පයක් ශ්‍රීමත් ඇල්බට් හොවාඩ් ප්‍රමුඛ කීප දෙනෙක් විසින් ඉදිරිපත් කෙරුවේ විසිවෙනි ශතවර්ෂයේ මුල හරියේදීය. සියවසකට අධික කාලයක් ගෙවීගොස් ඇතත් තවමත් ලොව පුරා කාබනික ගොවිතැන කෙරෙන්නේ මුළු වගාබිම්වලින් 1.2% ක තරමේ සුළු ප්‍රමාණයකි. එයට හේතුව රත්තරන් වැනි මෙම සංකල්පයේ නුගුණ නිසා නොව ලෝකය පුරා වැඩිවෙන ආහාර ඉල්ලුමට සරිලන සැපයුම් ජවයක් දෙන්නට මේ ක්‍රමවේදයට ඇති නොහැකියාව නිසාය. එසේ නමුත් මෙරට තුළින් හදිසියේ පහළවූ කාබනික ඝෝෂාව යටපත් කරන්නට සහලේ පැටිකිරිය ගැන කෙල පැමිණි මිනිසකුවූ ආචාර්ය ධනපාල වැන්නන්ගේ හඬ සමත් වූයේ නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඒ වනවිටත් කාබනික රසායනික සම්මිශ්‍රණයකින් කෙරෙන සහයෝගි ගොවිතැන් ක්‍රමයක්, ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණය නමින් එළිදක්වා ක්‍රියාත්මක කරමින් සිටියේය. එහෙත් හදිස්සියේම වගා උපදෙස් ලැබෙන්නට පටන් ගත්තේ දොස්තරලාගෙන් සහ තාරුකා වලින් කඩාහැලෙන නයිට්‍රිජන් ප්‍රමාණ මැන බලමින් ශාක පෝෂණය ඇස්තමේන්තු කරන උදවියගෙන්ය. අප හිත හදාගත යුත්තේ නිරාහාර මිනිසුන් මගදෙපස මැරී වැටෙන තත්ත්වයකට යෑමට කලින් ආපසු හැරෙන්නට හැකිවූ බැවිනි.

දැන් තිබෙන අභියෝගය වන්නේ එනවා යැයි කියන ආහාර හිඟය හානිපූරණය කරන්නට මාස කීපයකටවත් සෑහෙන්න රට හාල් රැගෙනවිත් කන්නට හෝ මුදල් නැතිකමයි. අත්‍යවශ්‍ය ආහාර ආනයනය සඳහා මුදල් සපයා දෙන බවට පසුගිය සතියේදී මහ බැංකුව සහතික වී තිබුණද සහල් ආනයනය එයට අයත් වන්නේ දැයි අප නොදන්නෙමු. මන්දයත් මෙතෙක් සහල් ආනයනයනය රටේ අත්‍යවශ්‍ය දෙයක් නොවුන බැවිනි. යහමින් රට තුළ විදේශ කාසි තිබුණානම් කාබනික ලෝලී දොස්තරලාට වුණත්, ස්වයං ආරක්ෂාව උදෙසා වකුගඩු දෙක ගලවා මාස කීපයකට ශීතකරණයේ තබා රසායනික පොහොර දමා සෑදූ රට සහලෙන් පෝෂණය වන්නට තිබිණ. මඤ්ඤොක්කා වැවුවත් එහි අල එරෙන්නට මාස 8-9 ක් ගතවේ. මාස හයෙන් වුවත් ගලවන්නට හැකිය. නමුත් ලැබෙන්නේ එයට හිමි නියම අස්වැන්න නොවේ. වැල්අල වර්ගවල කාලය මීටත් එහාට යයි. බතල නම් කෙටිකාලීන බව සැබෑය. එහෙත් එකම බිමක කන්න දෙක තුනක් වගාකිරීමෙදී බතල ගුල්ලා වැනි පළිබෝධකයන් නිසා සිදුවෙන හානිය අතිමහත්ය. කෙසේ වෙතත් වගා සංග්‍රාමය කිසිවිටෙකත් අත්හැරිය යුතු නොවේ. අතට හසුවෙන හැම ඇටයක් දණ්ඩක්ම සුදුසු තැනක පැලකළ යුතුය. ගෙවතු, වැඩබිම් ආදී සියල්ල සීමා නොතකා අස්වැද්දිය යුතුය.

“දැනට පර්යේෂණ කරලා නිර්දේශ පවා ඉදිරිපත් කරලා තියෙන කාබනික – අකාබනික සහයෝගි ශාක පෝෂණ කළමනාකරණය ඉදිරියට ගෙනයා යුතු බවට මේ තත්ත්වය හමුවේ අදිටන් කරගත යුතුයි. අලුත් තාක්ෂණයත් එයට ගැළපෙනවා. ‘භූතයා’ කියන සංයුක්ත නෙලනය බලන්න. පිදුරු ටික කැපිලා කුඹුරටම වැටෙනවා. ඉස්සර ගොවියෝ පිදුරු ගිනි තිබ්බා. අපි කොච්චර එපා කිව්වද. ඒත් ඒක කෙරුවා. අද වුණත් සමහරු කැපිලා කුඹුරටම වැටෙන ඔය කෑලි ටිකටත් ගිනි තියනවා. ඔන්න ඕවයි නවත්තන්න ඕනෑ. පිදුරු කෑලි ටික නිසා යෙදිය යුතු රසායනික පොටෑෂ් පොහොර සෑහෙන මට්ටමෙන් අඩු කරන්න පුළුවන්. මේ තොරතුරු දන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ කරන උදවිය. පරිසරයට ආදරෙන් හරියට ගොවිතැන් කරන ගොවියොත් මේ තොරතුරු දන්නවා. ඒ අය රසායනික පොහොර දමන්නේත් සහනාධාරයට දෙන නිසාම නෙවෙයි. මේ පිරිස් පැත්තකින් තියලා නොදන්නා අයත් සමග
ගොවිතැන මෙහෙයවන්න ගියොත් ඉදිරියට මීට වඩා අනතුරු වුණත් වෙන්න පුළුවන්”

ආචාර්ය ධනපාල තවදුරටත් පෙන්වා දෙයි. අල එරෙනතුරු කල් මරන්නටත් බැරි ගතියක් දැනේ. රටේ වී තොග ඊට කලින් අවසන් වේදැයි බරපතළ සැකයකි. මේ නිසා වගා සංග්‍රාමය දියත් කරනවාට සමගාමීව දැනට තිබෙන පලදාව නාස්ති නොකර කල්තබාගැනීමට සහ සංරක්ෂණය කිරීමට හෙට සිට පටන්ගත යුතුවේ. දකුණු ආසියාවේ අංක එකට එමින් 12.3% ක වයස හැට ඉක්මවූ ජනතාවක් වෙසෙන රටක සාම්ප්‍රදායික ආහාර සංරක්ෂණ ක්‍රමයන්ගේ හිඟයක් තිබෙන්නට නොහැකිය. මීට අමතරව ආහාර සංරක්ෂණ තාක්ෂණයන් හසුරුවන ආයතනයන්ද ගණනාවකි. මේ සියල්ල පොදු අරමුණක් වෙනුවෙන් පෙරට ආ යුතුය. ආහාර හිඟයක හෙවනැලි හමුවේ පුරුද්දට මෙන් හටගන්නා එළවළු ඇට බෙදීමේ වියරුව පමණක් මේ මොහොතට ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය වන්නේ විද්‍යාත්මකව කරුණු ගලපා බිහිකරන වැඩසටහනකි. උගත් පාඩම් මෙනෙහි කරමින් මින් ඉදිරියටවත් ශාක පෝෂණයට වැට කඩොලු නොබැඳ පරිසර හිතකාමී ගොවිතැනක් මෙහෙයවන්නට බලධාරීන්ද අදිටන් කරගන්නේනම්, මෙවැනි අමිහිරි යුගයන් යළි උදා නොවෙනවාද ඇත.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment