අවංක දේශපාලනඥයකු වූ ඇම්. ඩී. බණ්ඩා

164

දිවංගත ඇම්. ඩී. බණ්ඩා මහතාගේ 52 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

මාහොට්ටාලගේ ඩිංගිරි බණ්ඩා නොහොත් රටම දන්වා ඇම්. ඩී. බණ්ඩා මහතා අගනුවර නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් විය.

1934 වර්ෂයේ කොළඹ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1937 වර්ෂයේදී ලන්ඩන් බී. ඒ. උපාධියක් ලබා පිට විය. එම යුගයේ ලංකාවේ අලුතින් බිහි කළ ප්‍රථම ආදායම් පාලක නිලධාරි ප්‍රථම කණ්ඩායමට සමත්වී අනුරාධපුර කලාගම් ආදායම් පාලක නිලධාරි වශයෙන් පත්විය. පසුව නුවරඑළිය දිසාවේ හඟුරන්කෙත මතුරට ආදායම් පාලක වශයෙන් පත්විය. ජනතාවගේ ඉල්ලීම පිට 1943 නුවරඑළිය අතුරු මැතිවරණයට ඉදිරිපත් විය. එයින් ජයග්‍රහණය ලබා 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී මතුරට ආසනය ජයගෙන 1947 කම්කරු උප ඇමැති ලෙස පත්විය. 1950 කම්කරු ඇමැති ධුරය ලබාගත් අතර 1952 අධ්‍යාපන ඇමැති වශයෙන් පත්විය. 1960 මාර්තු, ජූලි මැතිවරණවලදි ජයගත් ඇම්. ඩී. බණ්ඩා මහතා තම උපන්ගම වන පොල්ගහවෙලට තරග කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදි. 1965-1970 දක්වා පොල්ගහවෙල මන්ත්‍රී හා ආහාර හා කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කරන වකවානුවේ පොල්ගහවෙල මධ්‍ය මහා විද්‍යාලයට තම පෞද්ගලික ධනයෙන් අක්කර 22ක භූමි භාගයක් පරිත්‍යාග කරන ලදි. 1969 වර්ෂයේ පොලොන්නරුව ගොවි ජනපද බලා එමින් සිටියදී ඇම්. ඩී. බණ්ඩා ඇමැතිතුමා දඹුල්ලේ පැල්වැහැර සංචාරක නිකේතනයට අධික වර්ෂාව නිසා ඇතුල්වීමට ගියේය. එම ආයතනයේ සිටින මුරකරු වාහනයට සහ ඇමැතිතුමාට ඇතුළුවීම ප්‍රතික්‍ෂේප කළේය. පසුව කළමනාකාරතුමා මෙය දැක මුරකරුට පහදා දී සංචාරක නිකේතනයට කළමනාකරු විසින් කැඳවාගෙන යන ලදි. පසුදින උදයේ කොළඹ යන ගමන් ගේට්ටුව ළඟ සිටින මුරකරුට කතා කර ඔහුගේ නම හා ලිපිනය ලියා ගනිමින් කොළඹට පැමිණියේය. මාස 3කින් පමණ අනියම් මුරකරු ස්ථිර කර සේවා ප්‍රධානියාට ලියුමක් එවන ලදි. රාජකාරිය නිසි ලෙස ඉටුකළ නිසාවෙන් මුරකරුට මෙය හිමිවිය. මෙවැනි දේශපාලනඥයන් අද දේශපාලනඥයන්ට ආදර්ශයක් වනු ඇත. එතුමන් 1974.09.18 දින දැයෙන් සමුගත්තේය. ඇම්. ඩී. බණ්ඩා මැතිතුමාට නිවන් සැප ලැබේවා.

ඇම්. ඩී. බණ්ඩා අනුස්මරණ පදනමේ සාමාජික
පොල්ගහවෙල කුලරත්න රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment