අවපාතය

874

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගම් ප්‍රධානියකු වන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීමෙන් සෑහෙන දවසක් ගතවී ඇති නමුදු තවමත් ඊට වගකිවයුත්තන් සොයා ගැනීමට හැකිව නැත. මෙහිදී පොලිසිය ප්‍රමාද බවක් අපි නොකියමු. සමහරවිට පොලිසිය උත්සාහ කරන්නේ සැබෑ අපරාධකරුවන් නොමග යවමින් සිය අරමුණ කරා යෑම විය හැකිය. මේ වන විට සිද්ධියට අදාළව පුද්ගලයන් 30 දෙනකුගෙන් පමණ පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබ ඇත. එසේම සී.සී.ටී.වී. කැමරා පනහක හෝ ඊට වැඩි ප්‍රමාණයක තිබූ දත්ත පරීක්‍ෂා කිරීමටද පොලිසිය පියවර ගෙන තිබේ. දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ලේ සුසාන භූමිය දක්වා ගමන් කළ හෝ ගෙනගිය මෝටර් රථයේ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති නමුත් එක්තරා සීමාවකට පසු තවදුරටත් තොරතුරු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවේ. මේ මරණය සෙවීම සඳහා පොලිසිය පැය 24 ම වැඩකරන බව අපගේ වැටහීමය. ඊට අමතරව මේ රටේ සිදුවන මිනීමැරුම් සහ වෙනත් අපරාධ මර්දනය කිරීම සඳහා පොලිසිය ඉතා දැඩි ලෙසත් වැඩි අවධානයකිනුත් වැඩ කළයුතු බව සාමාන්‍ය රට වැසියාගේ මතය වී තිබේ. 1977 න් පසු ශ්‍රී ලංකාව සාපරාධී රාජ්‍යයක් බවට පත්විය. කුණු දේශපාලනය, යුද්ධය, මත්ද්‍රව්‍ය යනාදිය නිසා රටේ තත්ත්වය දිනෙන් දිනම බරපතළ වෙමින් පවතී.

එප්පාවල ගැට දිවුලේ පදිංචිව සිටි නව හැවිරිදි පිරිමි දරුවකු පසුගියදා අතුරුදන් විය. කිසියම් වැඩිහිටි විදුලි කාර්මික ශිල්පියෙක් මේ දරුවා සමග කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගියේය. ඒ අතර පසුගිය 19 දා විදුලි කාර්මිකයාත්, දරුවාත් යන දෙදෙනාම අතුරුදන් වූහ. මෙය සංකීර්ණ තත්ත්වයකි. එක්කෝ සැකකරු විසින් කුඩා දරුවා පැහැරගෙන යනු ලැබ ඇත. නැතහොත් දරුවා අපරාධයකට ලක්කර සැකකරු පැන යන්නට ඇත. මෙවැනි සිදුවීම් පසුගිය කාලයේදී දිගින් දිගටම සිදුවිය. මෙයට අවුරුදු 50 ට පෙර උතුරේ කරවල වාඩිවල වහල් සේවයේ යෙදවීම සඳහා කුඩා දරුවන් පැහැරගෙන යන ලදී. මීට අවුරුදු 30 ට පමණ පෙර කප්පම් ගැනීම සඳහා කුඩා දරුවන් පැහැරගෙන යෑම සිදුවිය. දැන්, එනම් අවුරුදු පහ හයක සිට කුඩා දරුවන් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සිදුවේ. 2015 දී කොටදෙනියාවේ ජීවත් වූ සේයා සදෙව්මි නමැති කුඩා දැරියක් නිදි ඇඳේ සිටියදීම පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමන ලදී. මීට සති කිහිපයකට පෙර මේ ආකාරයෙන්ම දූෂණය කර මරණ ලද දැරියකගේ සිරුර මඩ ගොහොරුවකින් මතුවිය. මෙහි තිබූ භයානකම පැත්ත වූයේ දූෂණය කර මැරූ දැරිය සෙවීමට මිනී මරුවාද උනන්දු වීමය. සමහරවිට දිනේෂ් ෂාෆ්ටර් මැරූ අයම එම මිනීමැරුම සෙවීම සඳහා ඉදිරිපත් වීමට ඉඩ තිබේ. සෑම හෙළි නොවුණු මිනීමැරුමකදීම මිනී මරුවා තමන් විසින් මරණ ලද පුද්ගලයාගේ මළ ගෙදර යන ප්‍රවණතාවක් තිබේ. එහිදී ඔහු මරණකරුගේ ඥාතීන් සමග එක්ව තරගයට හඬා වැළපෙන අවස්ථා ඇත. සීදුවේ ගැලිගන්එළිය ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙක් මළේය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පිස්තෝලයකින් වෙඩි තබා මෙම මරණය සිදුකරන ලදී.

ශ්‍රී ලංකාව සාපරාධී අතීතයක් තිබූ රටක් නොවේ. මෙය මුලින්ම සාපරාධී රටක් බවට පත්කරන ලද්දේ අධිරාජ්‍යවාදීන් විසිනි. අධිරාජ්‍යවාදීහු සිංහල වැසියන් ලක්ෂ ගණනින් ඝාතනය කරමින් භීෂණය මුදාහැර ලංකාව ලේ විලක් කර එම ලේ විලේ ඔරු පැද්දාහ. 1948 න් පසු මේ රට ඉතා සාමකාමී අහිංසක මිනිසුන් සිටින රටක් බවට පත්විය. ඒ කාලයේදී මිනිහකු විසින් තවත් මිනිහකු මරණ ලද්දේ නම් ඒ ගමේ මිනිස්සු මාස දෙකක් පමණ කම්පනයෙන්ද, භීතියෙන්ද මුළුගැන්වී සිටියහ. 1971 අප්‍රේල් කැරැල්ලෙන් මේ තත්ත්වය වෙනස් විය. මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය ජන ජීවිතයේ කොටසක් බවට පත්කිරීම 71 කැරැල්ලෙන් පසු සිදුවිය. 83 ජූලි කලබලය සහ එයට සමගාමීව හටගත් ජනවාර්ගික යුද්ධය නිසා මරණය යන සාධකය සිදුවන දෙයක් නොව සිදුවිය යුතුම දෙයක් බවට පත්විය. 88, 89 භීෂණයේදී මරණ ලද තරුණයන්ගේ ක්වන්ධය කොළඹිනුත් හිස නුවරිනුත් හමුවූ අවස්ථා තිබිණ. වෙඩි හඬ සහ රතිඤ්ඤා හඬ අතර වැඩි වෙනසක් නැති බව මේ භීෂණ සමයේදී රට වැසියන්ට පුරුදු කරන ලදී. අද වන විට යුද්ධය අවසන්ය. 88, 89 භීෂණයද නැත. එහෙත් මිනිස්සු නිතරම පාහේ භීතියෙන් ත්‍රස්ත වෙති. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීම නිසා ඇතැම් ධනවත් ව්‍යාපාරිකයෝ මහත් සේ බියපත්ව සිටිති. එසේම පිරමීඩ ජාවාරම් ඇතුළු වෙනත් මුදල් විශුද්ධිකරණ වැඩ කටයුතුවල නිරතව සිටින ව්‍යාපාරිකයෝ ගෙයින් දොරට බැසීමෙන් පවා වැළකී සිටිති. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඒ තරමටම බලසම්පන්න අවපාත තත්ත්වයක් සමාජය තුළ ඇතිකර ඇත. මෙය බෙංගාල බොක්කේ හටගන්නා අවපාතවලට වඩා භයානකය. ආර්ථිකය තුළ හටගන්නා මූල්‍ය අවපාතවලට වඩා භයානකය.

ලෝකය ශිෂ්ටාචාරය දිගේ ඉදිරියට ගමන් කරන තරමටම සාපරාධී විය. මේ සාපරාධීත්වයේ ප්‍රතිඵලයක් ලෙස කුලියට මිනී මරන්නෝ බිහිව සිටිති. කුලියට මිනී මැරීම ආකාර දෙකකට විස්තර කළ හැකි වේ. පළමුවන ආකාරය නම් කුලී හේවායන්ය. කුලී හේවායෝ ලොව පුරා රටවල යුද බිම්වල කුලියට මිනී මරති. ඊළඟ කණ්ඩායම වන්නේ කොන්ත්‍රාත් මිනී මරුවෝය. ඔවුහු ඔබේ සතුරා පිළිබඳ තොරතුරු ඔබෙන් ලබාගෙන ඔහු හෝ ඇය ඝාතනය කරයි. මේ සඳහා මුලින්ම ඇඩ්වාන්ස් එකක් ද ඊළඟට බැලන්ස් එකද ගෙවිය යුතුය. මේ අනුව ශිෂ්ටාචාරයේ ප්‍රධානතම උපකරණයක් වූ මුදල විසින් ශිෂ්ටාචාරය සමාප්ත කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති බව පෙනේ. මෙය අන්තර්ජාතික මට්ටමේ සමාජ අවපාතයකි.

advertistmentadvertistment
advertistmentadvertistment