අවමඟුල කරන්න තැනක් නැතිනම් කිතුල්වත්ත පන්සලට එන්න…

216

එම්බාම් කරන ලද දේහ සහිත පෙට්ටිය තබාගැනීමේ පහසුකම්

මරණකරුගේ ඥාතීන්ට අවමංගල කටයුතු අවසන්වනතුරු කෑම, බීම, නවාතැන් පහසුකම්

අදහන ආගමට අනුව ආගමික කටයුතු සිදුකිරීමේ නිදහස

රෝගී භික්‍ෂූන්ට නේවාසික පහසුකම්

පසුගිය දිනක අප වෙත ලැබුණ එක්තරා තොරතුරකින් කියවුණේ බොරැල්ල කනත්ත ආසන්නයේ පිහිටි එක්තරා බෞද්ධ විහාරස්ථානයක වැඩවාසය කරන ස්වාමින්වහන්සේ නමක් පිළිබඳව සහ උන්වහන්සේ විසින් සිදුකරගෙන යනු ලබන මහා සමාජ සත්කාර රැසක් පිළිබඳ සිත පැහැදෙන තොරතුරු සමූහයක්ය. මෘත දේහයක් තැන්පත් කිරීමට තරම්වත් ගෙයක් දොරක් නැති අසරණ අහිංසකයන්ට ඒ සඳහා තම විහාරස්ථානයේ ඉඩ පහසුකම් සැපයීම, කොළඹට දුරබැහැර ප්‍රදේශවල සිට ප්‍රතිකාර ලබාගැනීම පිණිස කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් වෙත පැමිණෙන දුරබැහැර ගැමි ජනතාවගේ ඉදුම් හිටුම් අවශ්‍යතා පිණිස තම විහාරස්ථානයේ පහසුකම් සපයන එම බුද්ධ පුත්‍රයාණන් කවුරුන්ද? උන්වහන්සේ සතු මහා කරුණා ගුණය කුමක්ද? යන්න පිළිබඳව නිවැරැදි වැටහීමක් ලබාගැනීම එතැන් සිට අප තුළ උපන් අලුත් හැඟීම බවට පත් වූහ.

ඉකුත් දිනක වැඩ රාජකාරි රැසක් මැද උදාවූ කෙටි විරාමයක් තුළ කොළඹ 08 බොරැල්ල කිතුලරත්න එෆ්. ආර්. සේනානායකාරාම විහාරස්ථානය වෙත අපි ගමන් කළේ ඉහත විස්තර කරන ලද තොරතුරු කොතෙක් දුරට සත්‍යයක්ද, එහි යම් විශේෂත්වයක් පවතීද යන්න පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැනගැනීමේ අටියෙන් යුක්තවය. අප විහාරස්ථානයට ළඟාවූ සැණින් දැකගත හැකි වූයේ මෙරට සම්ප්‍රදායික බෞද්ධ විහාරස්ථානයක් තුළින් දකින්නට ලැබෙන හැඩයට බොහෝ සෙයින් වෙනස් මුහුණුවරක් සහිත බෞද්ධ සිද්ධස්ථානයකි.

පළමුව ඇස ගැටෙන්නේ තුන් හාරසියයක පිරිසකට වුවද අපහසුවකින් තොරව රැඳී සිටිය හැකි ධර්ම ශාලාවකි. එහිම කෙළවරට වන්නට පිහිටි තරමක් උස් ස්ථානයක සමාධි සුවයෙන් වැඩසිටින බුදුපිළිම වහන්සේ නමක් දැකගත හැක. ඒ ඉදිරියේ කුඩා මල් අසුනකි. ඉන් තරමක් මෙපිටට වන්නට එකපිට එක ගොඩගසන ලද ප්ලාස්ටික් පුටු සමූහයකි. උස් බිත්ති මත යම් කලාත්මක හැඩයක් සහිතව ප්‍රදර්ශනය පිණිස තබා ඇති ඡායාරූප රැසක් දැකගත හැක. එම සෑම ඡායාරූපයක්ම යම් ඉතිහාස කතාවක් කියාපාන නිහඬ සාක්ෂිකරුවන් වැනිය. ධර්ම ශාලාවක්, බුදුපිළිම වහන්සේලා නමක් සහ තවත් බෞද්ධ ආගමික සංකේත කීපයක් සහිත විහාරස්ථානයක් වුවද, අප එහි ළඟාවූ අවස්ථාව වන විට ස්වාමින්වහන්සේලා කිසිවකුත් එහි වැඩසිටින බවක් පෙනෙන්නට නොවූහ. ඉබි යතුරු දමා නැති ප්‍රධාන පිවිසුමෙන් ඕනෑම අයකුට විහාරස්ථානය වෙත ඇතුළු විය හැක. අප ද විහාරස්ථානයට ඇතුළු වූවේ ඒ අවසරයෙන්ය. යමක් අසා දැනගැනීම පිණිස කිසිවෙක් පෙනෙන්නට නැත.

අවමඟුල කරන්න තැනක් නැතිනම් කිතුල්වත්ත පන්සලට එන්න…

කොළඹ 08 බොරැල්ල කිතුලවත්ත එෆ්. ආර්. සේනානායකාරාම විහාරස්ථානය වෙත ගමන් කළ අපට පළමුව දැකගත හැකි වූයේ ඉහත සඳහන් කළ ආකාරයේ වටපිටාවක්ය. සේනානායකාරාමය යනුවෙන් සඳහන්ව ඇතත් එය විහාරස්ථානයක්ද යන කුතුහලය දැඩිව පැනනැගෙමින් ඇත. අප තව දුරටත් ධර්ම ශාලාව තුළ රැඳී සිටිමින් ඔබමොබ විමසන අතරතුර ඉහළ මාලයේ සිට බැස එන තරුණයකු දර්ශනය විය. කාරුණික සිනහවකින් යුත් ඔහු අප අභියසට පැමිණ යමක් විමසා සිටින්නට විය.

මහත්තයල කවුරු මුණගැහෙන්නද ආවේ?

ඊට පිළිතුරු දෙමින් අප එහි ගිය කාරණය කුමක්ද යන්න පිළිබඳව අප විසින් විස්තර කර සිටින්නට විය.

ලොකු හාමුදුරුවන් වහන්සේ නම් මේ වෙලාවෙ විහාරස්ථානයේ නැහැ. උන්වහන්සේ නැවත වඩිනකොට හවස හය හතවත් වෙනව.

කාලය පිළිබඳ ගැටලුවක් මතුවෙමින් ඇත. හිස් අතින් නැවත ‘දිවයින’ කාර්යාලය වෙත නොයා යුතු බවට සිත බලකරන්නට විය. අතනොහැර උත්සාහ කළ යුතුය. ඒ අනුව මා සමීපයේ පෙනී සිටින තරුණයාගෙන් දෙවන වර විමසා සිටින්නට වූයේ දුරකථන මාර්ගයෙන් හෝ ලොකු හාමුදුරුවන් සම්බන්ධ කළ හැකි නම් එය මහත් උපකාරයක් බවය. උත්සාහය සාර්ථක වෙමින් ඇත. දුරකථනය ඔස්සේ අප පිළිබඳ විස්තර කළ තරුණ පුද්ගලයා ඉන් අනතුරුව ඔහු අත වූ දුරකථනය මා වෙත ලබාදෙමින් පවසා සිටියේ ‘ලොකු හාමුදුරුවො කතා කරනවා’ යනුවෙන්ය. උන්වහන්සේ සමග සිදුවූ කෙටි පිළිසඳර නිමාවට පත්වූයේ එකඟතා රැසක් සහිතවය. හොඳයි.. දැනට විහාරස්ථානයේ තියෙන ලිපි ලේඛන, දැන්වීම් පුවරු, ඡායාරූප දිහා බලල යම් අදහසක් අරගන්න. ඊට අමතරව ඡායාරූප ආදිය අවශ්‍යනම් ඒකටත් අවසර තියෙනව. මහත්තයල වෙන වෙලාවක ඇවිත් නිදහසේ මාව මුණගැහෙන්න.

ගෞරව ශාස්ත්‍රවේදී තෙල්වත්තේ නන්දතිස්ස හිමිපාණන් සමග කතාබහක් පිණිස පසුබිම සැකසෙන්නේ ඒ ආකාරයෙන්ය. උන්වහන්සේ සඳහන් කර සිටි පරිදි විහාරස්ථානයේ ඡායාරූප කීපයක් ඇතුළු එහි සිදුකරන කාර්යභාරය පිළිබඳ ඡායාරූප රැසක් ද සහ තවත් තොරතුරු රාශියක් එදින එක්රැස් කරගත හැකි විය. කතිකා කරගත් පරිදි ඊට පසුදින උන්වහන්සේ සමඟ වැඩිදුරටත් විස්තර කතාබහ කර ගැනීමේ අවස්ථාව උදාවූහ.

නොබියව, නොපැකිලිව අදහස් ප්‍රකාශ කිරීමේ ඍජු ගුණයෙන් පොහොසත් උන්වහන්සේ, තම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වාගෙන යන සමාජ සත්කාර්යන් පිළිබඳව එතැන් සිට විස්තර කරන්නට වූ අතර ඒ සඳහා ආරම්භය ලබා ගත්තේ බොහෝදෙනකු විසින් අසුබ නිමිත්තක් බවට පත් කරගත් ‘මරණය’ පිළිබඳ සිහිපත් කරමිනි.

බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන විදිහට මරණය තමයි මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරල දෙන්න තිබෙන හොඳම අවස්ථාව. කිසාගෝතමියට අබ මිටක් ගේන්න කියල උන්වහන්සේ කිව්වෙ ඒ නිසයි. නමුත් වර්තමානයේ අපේ හාමුදුරුවරුන් බොහෝදෙනෙක් මේක වටහා ගෙන නෑ. වැදුම් පිදුම් කරන්න ඕන තරම් වෙහෙර විහාරස්ථාන රටේ ඉදිකරල තියෙනව. රන් වැටවල්, පහන් වැටවල්, මකර තොරන් මේ මොනව තිබුණත් එතන බුද්ධ දර්ශනය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වැඩක් නෑ. බුදුහාමුදුරුවො ජීවතුන් අතර ඉන්නතාක් කලේ අසරණ අහිංසක මිනිස්සුන්ට සරණ වෙන එක බව බුදු බණ තුළ පමණටත් වඩා සඳහන් වෙලත් තිබෙනව. අන්න ඒ බුද්ධ දර්ශනය අනුව යමින් තමයි මම මේ විහාරස්ථානය ඉදිකරන්නෙ. පන්සලක් කියන්නෙ, භික්‍ෂූන්වහන්සේ නමක් කියන්නෙ දුකට, විපතට පත් ඕනෑම අයකුට පිහිට විය යුතු ස්ථානයක් හා පුද්ගලයෙක් විය යුතුයි. අන්න ඒ දැක්ම තමයි මේ ස්ථානයේ ක්‍රියාත්මක වෙන්නෙ. මේ අවට පමණක් නොවෙයි ලංකාවෙ ඕනෑම තැනක ජීවත් වූ ඕනෑම ආගමක්, ජාතියක් නියෝජනය කරන අවමංගල කටයුත්තකදී මේ විහාරස්ථානය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මරණකරුගේ ඥාතීන්ට අවශ්‍ය නේවාසික පහසුකම්, උදේ, දිවා, රාත්‍රි ආහාර පාන පිළියෙල කරගන්නත් මෙතන ඉඩ පහසුකම් සකස් කරල තිබෙනවා. ඊට අමතරව රටේ දුරබැහැර ඉඳල රෝගීන් රැගන එන අයට ඒ රෝගියා නේවාසිකව රෝහල තුළ ප්‍රතිකාර ගන්න තාක්කල් ඔහුගේ හෝ ඇයගේ ඥාතීන්ට මගේ විහාරස්ථානයේ රැඳී සිටීමේ අවස්ථාවත් ලබාදීල තිබෙනවා. එක සත පහක් අය නොකර තමයි මේ හැම දෙයක්ම කරගෙන යන්නෙ. මගේ පන්සලේ පිංකැට නෑ. රන්වැට නෑ. අසූහාරදහසේ පහන් පූජා පිංකම් නෑ. ඒක තමයි අනෙකුත් වෙහෙර විහාරස්ථානවලින් මේ ස්ථානය වෙන්කරල හඳුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්‍ෂණය වෙලා තිබෙන්නේ..”

අවමඟුල කරන්න තැනක් නැතිනම් කිතුල්වත්ත පන්සලට එන්න…

උන්වහන්සේගේ වචන “සැබෑවේ වචන” බව මැනවින් හැඟී යන්නේ මෙතෙක් එම විහාරස්ථානය මුල්කර ගනිමින් සිදුකර ඇති උතුම් කාර්යයන් රැස පිළිබඳ මනාව වටහා ගැනීම තුළ ය. මේ වනවිට මියගිය පුද්ගලයන් පනස්හත් දෙනෙකුගේ දේහයන් එම විහාරස්ථානයේ වරින් වර තැන්පත්කොට අවසන් කටයුතු සිදුකර ඇත. එම පිරිස අතරින් වැඩි දෙනෙක් කොළඹ ජීවත්ව සිට මියගිය පිරිසට අයත් ය. පමණටත් වඩා දුප්පත්කමින් බැටකන ලද ඔවුන්ගේ මෘත දේහය තැන්පත් කර තිබෙන්නෙත් ආගමික වතාවන්වලින් අනතුරුව එම දේහයන් බොරැල්ල කනත්ත වෙත රැගෙන යනු ලබන්නේත් විහාරස්ථානයේ සිට ය. දෙන තැන්පත්කරන ලද අවස්ථාවේ සිට අවසන් කටයුතු කරන මොහොත තෙක් මියගිය තැනැත්තන්ගේ ඥාතීන් හිතවතුන්හට විහාරස්ථානය තම නිවස තරමට ම සමීප ස්ථානයක් බවට ද පත්කිරීමට තෙල්වත්තේ නන්දතිස්ස හිමියන් විසින් කටයුතු කර ඇත. තමන් අදහන ආගම අනුව අවශ්‍ය ආගමික වතාවත් සිදුකිරීම දේහය ඉදිරිපිට ජීවිතය යනු කුමක්ද යන්න වටහා ගැනීමට ඉවහල්වන ඉගැන්වීම් සිදුකිරීම ද එම ස්ථානය මුල් කරගනිමින් සිදුකරගෙන යන තවත් කාර්යයක්ය.

ඊට අමතරව මතට ඇබ්බැහිවූවන් සහ කිසිවෙකුගේ සෙවණ රැකවරණය අහිමි වයෝවෘද්ධ පුද්ගලයන්ට ද තම විහාරස්ථානය නිවහන බවට පත්කරන අප හිමිපාණන් ඒ පිළිබඳව සඳහන් කර සිටින්නේ මේ අයුරින් ය.

“මේක බුදුහාමුදුරුවන්ගෙ තැනක්. ඕන කුඩුකාරයෙකුට හිඟන මනුස්සයකුට මේ ස්ථානය විවෘත යි. මේක ඇතුළේ මිල මුදල් නෑ. රත්තරන් නෑ. ඔය පුටුකබල් ටිකයි මේස දෙක තුනයි පමණයි තියෙන්නෙ. අංගුලිමාල කියන්නෙ හොරෙක් මිනීමරුවෙක්. අම්බපාලි කියන්නෙ ගණිකාවක්, සුනීත, සෝපාක කියන්නේ අන්ත අසරණයන්. ඒ අයට බුදුන් සරණ වුණේ යම් සේද ඒ අනුව යමින් දුකට විපතට පත් අයට සරණවීම හැර මාලිගා, මැඳුරු හදන එක මගේ ප්‍රතිපත්තිය නොවෙයි.

යාපනයෙන් කොළඹ මහ රෝහලට එව්ව රෝගියෙක් මිය යනව. ඥාතීන්ට මෘත දේහය නැවත යාපනයට ගෙනියන්න බෑ. ඒ මෘත දේහය අවසන් කටයුතු සිද්ධකළේ මෙතැන. ඒ වගේම මොනරාගල අනුරාධපුරය, මහනුවර ආදී ප්‍රදේශවල පුද්ගලයන් කීපදෙනෙකුත් තමන්ගේ අවසන් ගමන යන්න පෙර දවසක් දෙකක් මෙතැන ඉඳල තියෙනවා. ඊට පස්සෙ තමයි ඒ අය බොරැල්ලෙ කනත්තෙ මිහිදන් වෙන්නෙ. මේ අවට ගත්තොත් මුළු ලංකාව පුරා ප්‍රසිද්ධ මල් ශාලා ගණනාවක් තියෙනව. නමුත් ඒ මිල ගණන් එක්ක දුප්පත් මිනිස්සුන්ට ඔට්ටුවෙන්න බෑ. අන්න ඒ අයට සරණවීම කියන්නෙ මට බුදුන් සරණ යෑම වගේ වැඩක්..”

අවමඟුල කරන්න තැනක් නැතිනම් කිතුල්වත්ත පන්සලට එන්න…

උන්වහන්සේ පැවිදි ජීවිතය ගත්කළ සමාජ සුබසෙත පිණිස ඉහළ දායකත්වයක් ලබාදුන් අවස්ථා බොහෝ ය. වරක් ගාල්ල ප්‍රදේශයේ පිහිටි උන්වහන්සේට අයත් විහාරස්ථානයක් ගැබිනි මවක් සඳහා සෙවණ දෙන ස්ථානයක් බවට පත්කරන උන්වහන්සේ ඒ වෙනුවෙන් සමාජ ගර්හාවට පවා පත්ව ඇත.

“බඩදරු අම්ම කෙනෙක් ඇතුළු පවුලක් ගෙවල් කුලිය ගෙවා ගන්න බැරිව පාරට වැටුණ. ප්‍රදේශයේ ග්‍රාමසේවක මට කතා කරල මේක කිව්ව. මම කිව්ව එක්ක ඇවිත් බණ මඩුවෙ නතර කරන්න පන්සලෙන් කන්න බොන්න දෙන්නම් කියල. පොඩි හාමුදුරුවන් වහන්සේ කීපනමක් විහාරස්ථානයෙන් පිටවෙනත් තැනකට පිටත් කරල ඒ අයට බණ මඩුව දුන්න කියල ලොකු විරෝධයක් ආව. ඒවයෙන් මාව නතර කරන්න බෑ. අන්තිමට අවුරුදු 1 1/2 ක් පන්සලේ හිටි ඒ අසරණයන්ට මගේ වාහනය විකුණල ගෙයක් පවා හදල දුන්නා. පිරිවෙන් ගුරුවරයෙක් විදියට අදත් මම උගන්වන පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහ පිරිවෙන වෙත උදේ හවා යන්නෙ එන්නෙ බස් එකෙන්. ඒක මට අවනම්බුවක්, මදිකමක් විදිහට මම දකින්නෙ නෑ. සුනාමිය ආව. මරණාසන්නව දියේ ගිලෙමින් සිටි පිරිස බේරගන්න සිවුර පැත්තකින් තියල වතුරට පැන්න. ජීවිත ගණනාවක් එදා මම බේර ගන්නව. ඒ කාලෙ පත්තරවල පවා ඒ විස්තර පළවෙල තිබුණා. මම මේ හැම දෙයක්ම කරන්නෙ බාල ජනප්‍රියත්වය පිණිස නොවෙයි. උතුම් බුද්ධ දර්ශනය තමයි මගේ ජීවන දර්ශනය කියන්නෙ.

තවත් කතාකළ යුතු බොහෝ දේ ඇත. ඊට කාලය හරස්වෙමින් ඇත. කොළඹ නගරය මැද පිහිටි පර්චස් 42ක භූමි භාගයක් උන්වහන්සේ වෙත පත්වූ ආකාරයත් ඊට මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයන් කවුරුන්ද යන්නත් පිළිබඳ විමසීමේ දී උන්වහන්සේ සඳිහන් කර සිටියේ එම අතීතය 1944 දක්වා දිවයන බවත් මෙරට ශ්‍රේෂ්ඨ පරම්පරාවක්වූ බෝතලේ වලව්වේ සේනානායකවරුන් සතු බූදලයෙන් කොටසක් සසුනට පූජා කිරීමේ උතුම් පිංකම හේතුවෙන් එම විහාරභූමිය මහා සංඝරත්නය වෙත පූජාකොට තිබෙන බවත් ය.

“මේ පළාතේ අදටත් ජීවත්වන යහපත් ගුණගරුක පුද්ගලයෙක් තමයි ප්‍රේමරත්න රාජපක්‍ෂ මහත්ත ය. ඒ මහත්තයා හා සේනානායක පරම්පරාවේ මෑත කාලීන පරම්පරාවෙ වැදගත් මහත්වරුත් අතර ලොකු බැඳීමක් තිබුණා. කලකට පෙර මා ගැන පැහැදුණ ප්‍රේමරත්න රාජපක්‍ෂ මහත්තය මාර්ගයෙන් තමයි මම සේනානායක පරම්පරාව හඳුනා ගන්නෙ. ඊට පෙර ඉතිහාසය ගත්තොත් දිවංගත සේනානායකවරුන්ට පිං පිණිස 1944 අවුරුද්දෙ මෙතැන භික්‍ෂු ගිලන් මධ්‍යස්ථානයක් ඉදිකරල තිබෙනව. කාලයක් එක්ක ඕක වල්බිහිවෙලා විනාශයට පත්වෙනව. එහෙම කාලයක් තිබුණට පස්සෙ තමයි රාජපක්‍ෂ මහත්තයගෙ මැදිහත්වීම මත එෆ්. ආර්. සේනානායක මැතිතුමාගේ පුතා වන ආර්. ජී. සේනානායක මැතිතුමාගේ බිරිඳ ආර්. ජී. සේනානායක මැතිනිය විසින් මේ ස්ථානය නැවත සසුනට පූජා කරන්නෙ.

අවමඟුල කරන්න තැනක් නැතිනම් කිතුල්වත්ත පන්සලට එන්න…

එදා ඉඳල ප්‍රේමරත්න රාජපක්‍ෂ මහත්තය මගේ සෙවනැල්ල වෙමින් මේ ස්ථානයේ දියුණුව පිණිස ලොකු වැඩකොටසක් කළා. මේ ස්ථානය ගත්තොත් මෙතැන වාණිජ වටිනාකම මේ වෙද්දී කෝටි 90 ක් තරම් ඉහළ අගයක් ගන්නව. නමුත් ඒ ඇත්තන් තුළ පැවැති ආගමික භක්තිය ඊට වඩා වැඩි අගයක් ගන්නව. එහෙම නැත්නම් අද මෙතැනට එන අසරණ මිනිස්සුන්ට යන්න එන්න තැනක් නෑ. මෘත දේහයක් තියාගන්න ගෙයක් දොරක් නෑ. මේවට තමයි මහා පිංකම් කියන්නෙ. මේ සේවාව නතර වෙන්නෙ නෑ. ගොඩනැඟිල්ලෙ ඉදිකිරීම් තවදුරටත් කරගෙන යනව. ලංකාවෙ ඉන්න ප්‍රකට දානපතියන් මේ ස්ථානයේ මොකක්ද වෙන්න කියන දෙය පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව අපිට උදව් කරනව. ප්‍රේමරත්න රාජපක්‍ෂ, ජෙට්වින් නිර්මාතෘ හර්බට් කුරේ මැතිතුමාගේ දියණිය ශිරෝමාලි කුරේ ඒ වගේම එතුමගෙ පුතාවන හිරාන් කුරේ, ඒවගේම කැප්ටන් කුලරත්න චන්ද්‍රසේන, අරුණ ජයසිංහ, ධනසිරි ද සිල්වා, ප්‍රියන්ජිත් මෙන්ඩිස්, චන්ද්‍රා ජයරත්න, විමල් ශාන්ති, සුජිත් ප්‍රසන්න පෙරේරා, ලසන්ත ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති දීපාල් දල්පදාතු යන මහත්ම මහත්මීන් මේ වෙලාවේ මතක් කළ යුතුයි. ඒ අය තමයි මේ ඉදිකිරීම් කටයුතුවල පෙරමුණ ගත්තෙ. ඒ වගේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශේෂ ස්තුතියක් පුදකළ යුතුයි.’

1968 වර්ෂයේ දී උපත ලබන තෙල්වත්තේ නන්දතිස්ස හිමිපාණන්ගේ 50 වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් 2018 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම වෙනස්ම සේවාව නම් කළ හැක්කේ ශ්‍රී ලංකාවාසී භික්‍ෂූන්වහන්සේ නමක් විසින් තම විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් සියලු ආගමිකයන්ගේ මියගිය දේහය තබා සියලු පහසුකම් සහිතව නොමිලේ ලබාදෙන අවමංගල උත්සව ශාලාවක් ලෙස ය. එය නම් කරනු ලබන්නේද නිදහස් ආරාමික අවමංගල සේවාව ලෙසින් ය. අසරණ දුගී දුප්පතුන් වෙනුවෙන් සරණක් වෙමින් නිහඬව පින් පුරන උන්වහන්සේ ඊට අමතරව පිරිවෙන් අධ්‍යාපනය පිණිස ද තම දැනුම නිර්ලෝභීව ප්‍රදානය කරන අතර අප උන්වහන්සේ ගෙන් සමුගන්න මොහොතකට පෙර ද උන්වහන්සේ විසින් සඳහන් කර සිටියේ භික්‍ෂුවක් ලෙස තමන් වහන්සේට තවත් වගකීම් සම්භාරයක් පවතින බවත් ඒ සියල්ලම තමන් පිණිස නොව ජනතාවගේ සුබසෙත පිණිස ඉටුකළ යුතුම වගකීම් සමූහයක් වන බවත් ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment