අවම බලය

1031

ජනතා පීඩනය වැඩි වීමත් සමඟ අරගල බිම උණුසුම් වී තිබේ. ගෝල්ෆේස් අරගලයට දින 14ක් ගෙවී යද්දී රටපුරා විවිධ තැන්වලින් මතුවන උද්ඝෝෂණවලින් ලැබෙන පණිවිඩය රජය නිසි ලෙස තේරුම් ගත යුතුය. එය තේරුම් ගැනීම පමණක් නොව ඊට විසඳුමක් ලබාදීමේ වගකීම ඇත්තේ ද රජයට ය.

තත්ත්වය එසේ තිබියදී පසුගියදා රඹුක්කන ඇති වූ උද්ඝෝෂණය නිමා වන්නේ බිරියකට ආදරණීය සැමියකු අහිමි කරමිනි. දරුවන් දෙදෙනෙකුට පියකු අහිමි කරමිනි. සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ දියණිය ඉල්ලා සිටියේ තම පියා වෙනුවෙන් සාධාරණය, යුක්තිය ඉටුකර දෙන ලෙසයි. මෙම තත්ත්වය හමුවේ කෑගල්ල පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න, ප්‍රදේශය භාර පොලිස් අධිකාරි එස්. එම්. වික්‍රමනායක සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක කීර්ති හේරත් යන අය ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයකට මාරුකර යවා ඇත.

රඹුක්කන උද්ඝෝෂණයේදී තත්ත්වය පාලනය කිරීමට අවම බලය පාවිච්චි කළ බව පොලිසිය මේ වන විට පිළිගෙන තිබේ. පොලිසිය අවම බලය පාවිච්චි කරද්දී වෙඩි වැදී අයකු මියයන්නේ නම් උපරිම බලය පාවිච්චි කළේ නම් වන විපත හිතා ගැනීමටත් බැරි තරම් ය. එනිසා අගරල, උද්ඝෝෂණ විසුරුවා හැරීමේදී පොලිසිය මීට වඩා හික්මීමෙන් කටයුතු කළ යුතුව ඇත. රඹුක්කනදී මියගියේ නිරායුධ පුද්ගලයෙකි. ඔහු දුවයද්දී පොලිසිය වෙඩි තැබූ බවට ද සාක්‍ෂිකරුවකු විසින් ප්‍රකාශයක් ලබා දී තිබුණි. මෙම කාරණය සියයට සියයක් නිවැරදි දැයි අපි දන්නේ නැත. එහෙත් එය එසේ සිදුවූවා නම් එය ප්‍රබල මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙන්ම ජාත්‍යන්තර සම්මුතීන් අනුව ද ජනතාවට සිය සාමකාමී විරෝධතාව පළකිරීමට ඇති අයිතිය පිළිගෙන තිබේ. එහෙත් උද්ඝෝෂකයන් විසින් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් පෙන්නුම් කරන්නේ නම් එය මැඬපැවැත්වීමට සමාන්තර පීඩනයන් එල්ල කිරීමට පොලිසියට අවස්ථාව ඇත. එහෙත් රඹුක්කන සිද්ධිය ගත්විට උද්ඝෝෂකයන් පලවා හැරීමට කඳුළු ගෑස්, බැටන් ප්‍රහාරවලට අමතරව රබර් උණ්ඩ පාවිච්චි කිරීමට ඉඩ තිබියදී ජීව උණ්ඩ පාවිච්චි කළේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. පොලිසිය පාවිච්චි කළේ අවම බලය ද එසේ නොමැතිව අමුතු බලයක් ද යන්න ගැන වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය. රතුපස්වලදී ජලය ඉල්ලා උද්ඝෝෂණය කරද්දී පොලිසිය විසින් අයකුට වෙඩි තබා මරා දැමීම මෙන්ම හලාවත ධීවර උද්ඝෝෂණයකදී වෙඩි තබා මරා දැමීම පොලිස් ඉතිහාසයට එක් වූ කළු පැල්ලම්ය. එහි අවසානය රඹුක්කනින් අවසන් වේවා යැයි අපි මේ මොහොතේ ප්‍රාර්ථනය කරනුයේ තවමත් බුර බුරා නගින උද්ඝෝෂණ රටපුරා පැතිරෙන බැවිනි.

ඉන්ධන හිඟය, ගෑස් හිඟය, බස් ගාස්තු ඉහළ යෑම, ඖෂධ මිල ඉහළ යෑම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඇතුළුව ජනතාව පීඩනයට පත්වන කාරණා දිනෙන් දින සමාජය තුළ සිද්ධ වෙද්දී ඊට එරෙහිව සටන් කිරීමට ඇති සාධාරණ අයිතියට අගතියක් නොවන ලෙස හැසිරීම පොලිසියේ වගකීමකි.

දැවෙන ආර්ථික පීඩනය හමුවේ ජනතාව කබලෙන් ලිපට වැටෙද්දී ඔවුන් තුළ ඇතිවන මනෝභාවයන් අතිශය සංකීරණය. සමහරු එය නිහඬව දරාගන්නා අතර තවත් සමහරු සිය විරෝධතාව එළිපිටම පෙන්වති. මේ මොහොත වන විට රටපුරා නැගෙන විරෝධතා පාලනය කිරීමේදී ජනතාවගේ නැතහොත් පීඩිත පාර්ශ්වයේ මනෝභාවයන් අවබෝධ කර ගැනීමට පොලිසියට ඉවක් තිබිය යුතුය.

මෙහිදී අරගල කරන ජනතාවද සංයමයෙන් සහ ඉවසීමෙන් මේ මොහොතේ කටයුතු කළ යුතුය. මේ මොහොතේ සමස්තයක් ලෙස අප රටේ බහුතර ජනතාව පීඩාවට පත්ව සිටිති. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් අරගල භූමියේදී සටන් වදින සියලු දෙනාට රටේ සෑම දෙනෙකුගේ ගෞරවය හිමිවන බවට සැකයක් නැත. එහෙත් මේ සැබෑ අරගලය අල කරන පිරිසක් ද අපට පසුගිය දිනවල නිරීක්‍ෂණය විය. මේ අය කරන්නේ උද්ඝෝෂණය කරනවා යැයි කියා ලී කොටන් හා වෙනත් ද්‍රව්‍යවලින් මහ මාර්ග වසා දමා විරෝධතා පළ කිරීමයි. එම අවස්ථාවේදී පීඩිතයන්ට එරෙහිව කරන සටනේදී තවත් පීඩිතයන් පිරිසක් විපතට පත්වීම යුක්ති සහගත ද නැත. එය ඔබ කරන අරගලයේ ජීවය බිඳ දමන්නක් බව ද සඳහන් කළ යුතුය.

කවරක් නමුත් අප රටක් වශයෙන් මේ මොහොතේ පසු කරනුයේ ඉතාමත් අවදානම් ගමනක් බව පැහැදිලිය. ඩොලර් සංචිත හිඟය නිසා රටට ප්‍රශ්න ගොඩක් නිර්මාණය වී ඇත. රටක නිශ්චිත ඩොලර් සංචිතයන් පවත්වාගෙන යෑමට කල්පනා නොකළ අනුවණ බලධාරීන් මේ විපතට වගකිව යුතුය. මේ මොහොතේ රට තුළ ඇති වී තිබෙන වියවුල් සහගත බව ඉක්මනින් දුරු නොවුණොත් අපට රටට හෙට සිදුවන දේ සිතා ගැනීමට බැරිය. එනිසා මේ මොහොතේ රටේ පවතින මෙම ව්‍යසනකාරී තත්ත්වය අවසන් කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගැනීම දේශපාලන අධිකාරිය සතු වගකීමකි. රටේ ජනතාවටත්, දේශපාලන අධිකාරියටත් එකඟ විය හැකි ඉම කුමක්ද යන්න මේ මොහොතේ අප සොයා ගත යුතුය. එය ප්‍රමාද වන තරමටම රටේ ඉරණම ද අවදානම් බව කනගාටුවෙන් යුතුව වුවද සඳහන් කිරීමට සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment