අවර්ණ බවෙන් මිදෙන වෛවර්ණ ලෝකය!

48

“සාමය, ආදරය සහ අපේක්ෂාව රජයන නව යුගයකට අපි ප්‍රවේශ වන්නෙමු. දස ලක්ෂ දෙසිය පහළොවක් වන බ්‍රසීල ජනතාවගේ නායකයා ලෙසින් මම ඒ නායකත්වය දෙන්නේ එක රටක්, එකම ජනතාවක් සහ ශ්‍රේෂ්ඨ ජාතියක් යන කාරණා සිත්හි දරාගෙනයි.”

ලතින් ඇමෙරිකාවේ ට්‍රම්ප් ලෙසින් හැඳින්වූ බ්‍රසීලියානු ජනපති ජායිර් බොල්සොනාරෝ පරදවමින් බ්‍රසීල ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගනිමින් ජනපති ලෙසින් තේරී ඇති ලුයිස් ඉකාශියෝ ලූලා ද සිල්වා තම ජයග්‍රහණයෙන් අනතුරුව ඉහත ප්‍රකාශය කර සිටියා.

“සාමය – ආදරය – අපේක්ෂාව” රජයන සමාජයක් පිළිබඳව ඔහු දෙන මේ සහතිකය, බෙදීම්වලින් සී සී කඩ ගොස් ඇති, ආර්ථික අතින් අගාධයකට වැටී ඇති ජාතියකට යා යුතු මග පෙන්වන නිවැරදි මග සලකුණු ලෙස සැලකිය හැකියි. ඔහුගේ ප්‍රකාශයේ තවදුරටත්, “මිලියන දෙසිය පහළොවක් පමණ වන බ්‍රසීලියානු ජනතාවට මා නායකත්වය දෙන්නට යන්නේ අපි එකම රටක්, අපි එකම ජනතාවක් සහ අපි ශ්‍රේෂ්ඨ ජාතියක් යන්න සිත්හි දරාගෙනයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

ඔහුගේ වචන කොතෙක් දුරට සද්භාවයෙන් යුතුද, ඒ ඉලක්කයන් වෙත ළංවීමට ඔහු සමත්වේද යන්න කාලය විසින් අපට පෙන්වයි. කෙසේ වෙතත් ලූලාගේ 2003 – 2009 පාලන අවදිය බ්‍රසීල ඉතිහාස පොත තුළ අපූරු පිටු කිහිපයකින් නිර්මාණය වී තිබුණා. ලෝක බැංකු වාර්තා අනුව ඒ අවදියේදී මධ්‍යම පන්තියේ වර්ධනය 50% වී තිබුණා. බ්‍රසීල සමාජයේ දැන් පවතින ආදායම් විෂමතාවන් දුරලීම සහ ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිසංස්කරණ ඔහුගේ මැතිවරණ ප්‍රතිඥාවන් අතර වනවා. එහෙත් වර්තමාන ලෝක ආර්ථික තත්ත්වයන් මැද ඔහුගේ උරහිස මත පැටවී ඇත්තේ අභියෝගයක්.

තවත් අතකින් බැලූ විට බ්‍රසීලයේ මේ ඡන්ද ප්‍රතිඵල තුළින් බ්‍රසීල ජනතාව බෝලසොනාරෝ ගේ අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලෝකය පුරාම මේ නැවුම් යොමු වීම විශේෂයෙන් අවධානය කරන්නට පුළුවන් තත්ත්වයක්.

ඇමෙරිකාවේ ට්‍රම්ප් පරදවමින් ඩිමොක්‍රොටික් පක්ෂයට ජනපතිවරණය ජය ලබාදෙන්නේ බයිඩන් – බර්නි සැන්ඩර්ස් සන්ධානය. ඒ සමගින් සම්ප්‍රදායික ලෙසින් සිදුවන මහා පරිමාණයේ ධනවත් සමාගම්වල මූල්‍ය ආධාරවලින් තොරව, මැතිවරණ ජයගත හැකි බව පෙන්වමින් කොංග්‍රසයට අලුත් පරම්පරාවකින් නියෝජිතයන් රැසක් තේරී පත්වුණා.

ලතින් අමෙරිකාව දෙස බලන කළ චිලිය, මෙක්සිකෝව, පේරු, කොලොම්බියාව, හොන්ඩුරාස් සහ ආර්ජන්ටිනාව වැනි රටවල් ගණනාවක ප්‍රගතිශීලී අදහස් දරන දේශපාලන ව්‍යාපාරයන් ශක්තිමත්ව නැගීඒම දකින්නට තිබෙනවා.

කැනඩාවේ ජස්ටින් ටෲඩෝ, නවසීලන්තයේ ජසින්තා ආඩන් මෙන්ම චිලියේ ගේබ්‍රියල් බෝරික් වැනි පොදුජන අභිලාෂයනට සංවේදී වන ප්‍රගතිශීලී තරුණ නායකයන්ගේ රැල්ලක් අපි අද ලොව පුරා දකිමින් සිටිනවා. චිලියේ ගේබ්‍රියල් බෝරික් චිලියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් “මධ්‍යස්ථ සමාජවාදියෙකු” ලෙසින් මාධ්‍ය හඳුන්වාදී තිබෙනවා. නව ලිබරල් අන්ත දක්ෂිණාංශ ප්‍රතිපත්ති බැහැර කරන, සමාජයේ පීඩා විඳින ජනකොටස්වල ජීවන අරගලය පහසු කිරීම සඳහා ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් ඔහු ඉදිරිපත් කළා. මේ අතරම ඔහුගේ අමෙරිකානු සහ කැනඩා විදේශ සංචාරයන් රට තුළ ඔහුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපකාරී වී තිබෙනවා.

මේ අතර අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂය තම නායකයා ලෙස හින්දු ආගමික ඉන්දියානුවෙකු වන රිෂී සුනාක් තෝරාගත්තා සහ ඔහු දැන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව සිටිනවා. ආරම්භක අවස්ථාවලදී කොන්සවටිව් පක්ෂ සාමාජිකත්වය තුළ කළු ජාතිකයන් සහ ආසියානුවන් සිටීම විරල වුණා. දැන් එවැනි පක්ෂයන් තුළින් මෙවැනි පසුබිමක කෙනෙකු නායකත්වයට පත්වීම ඒ පදනම තුළද යම් ප්‍රගතිශීලී ප්‍රවණතාවක් ඇතිව තිබීම පෙන්නුම් කරන්නක් ලෙස සලකන්නට පුළුවන්.

අද ලෝකයේ නව ප්‍රවණතාව වන්නේ සම්ප්‍රදායක දේශපාලන බලපුළුවන්කාරකම් දෙදරා යෑම. ඒ වෙනුවට කුසලතාව, දක්ෂතාව, හැකියාව මෙන්ම මිනිස් වර්ගයාට එක සේ සැලකීම පෙරට පැමිණ තිබෙනවා.

වැට කඩුලු වලින් කොටු ගසා ගත් රටක් වෙනුවට මිත්‍රත්වයේ දෑත ලෝකයට දිගු කරන රටවල් වලට අද ලෝකය ජයගැනීමේ හැකියාව උදා වී තිබෙනවා. තමන් ලිබරල් යැයි කියමින් උස් හඬින් ඝෝෂා කරන බොහෝ සාම්ප්‍රදායික දේශපාලන චරිත ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය රවටමින් කරන දෙබිඩි රංගනයන් ඉතිහාසය විසින් කුණු කූඩයට තල්ලු කර තිබීම ගැන නිදසුන් එමටය.

එකිනෙකාගේ ධන රින වලින් ඉගෙන ගනිමින් ප්‍රායෝගික ගමන් මාර්ගවලට අවතීර්ණ වූ රටවල් අද සාර්ථක ප්‍රතිඵල නෙළමින් සිටීම අප දකිනවා.

“ප්‍රතිඵල ලබා දෙන්නේ නම් බලලා සුදු වුවද, කළු වුවද කම් නැත.” යනුවෙන් වූ ඩෙංග් ෂියා වෝ පෙංග් ගේ සුපතල කියමන මගේ සිහියට එනවා.

අද අන්ත දකුණ හෝ අන්ත වම වෙනුවට පුද්ගල නිදහස සහ සමාජ යහපත යන දෙකම ප්‍රමුඛ කොට සලකමින් සහ තුලනය කරගනිමින්, කාර්යක්ෂම ඉදිරි ගමනක් සඳහා යල්පිනූ න්‍යාය ධර්මවලින් පිටපැන සාර්ථක ලෙසින් ආර්ථික පිමි පනිමින් සිටින රටවලින් අපට පාඩම් උගත හැකිව තිබෙනවා.

ඇත්ත වශයෙන්ම අද එළැඹ තිබෙන්නේ මැද මාවතක් තුළ වෛවර්ණ රටක් නිර්මාණය කිරීමට නව මං සොයන ප්‍රායෝගික ජවසම්පන්න නායකයන්ගේ ලෝකයක්.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment