අවසන් තරග බලාපොරොත්තුව සමග ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අද සටනේ

392

* අග‍්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ අභියෝග  කුසලාන පාපන්දු තරගාවලිය

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන’ සිව් කොන් ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සය වැනි තරගය ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (16) රාත‍්‍රී 09.00 ට කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී ආරම්භ කෙරේ.

අද (16) පස්වරු 04.00 ට සීෂෙල්ස්ට් ට එරෙහිව මාලදිවයින තරග බිමට පිවිසෙන අතර එය මෙවර තරගාවලියේ 05 වැනි තරගය ලෙස ක‍්‍රියාත්මක කෙරේ.

ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මූලික වටයට අයත් අවසන් තරග යුගළය මෙය වන අතර එය පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරෙන අවසන් පූර්ව වටයේ තරගයක ස්වරූපයකට පත්ව තිබීම විශේෂත්වයකි.

මෙවර අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීමට ගන්නා උත්සාහයේදී බංග්ලාදේශය සහ සීෂෙල්ස් යන දෙපිළ පෙරමුණේ පසුවෙයි. මෙතෙක් පැවැති තරග ආශ‍්‍රිතව තම අපරාජිත බව තහවුරු

කරගෙන සිටින ඔවුන් අද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගතහොත් පහසුවෙන්ම තීරණාත්මක අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීමට හැකිවනු ඇත. බංග්ලාදේශය සහ සීෂෙල්ස් යන දෙපිල ප‍්‍රසාද ලකුණු 04 බැගින් ලබා ගනිමින් පෙරමුණේ පසුවෙන අතර එක් ප‍්‍රසාද ලකුණකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ඊට පසුපසින් සිට අද තරගයට එක් වෙයි.

ඒ අනුව බලන විට අද තරගයේදී ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ජයග‍්‍රහණය කළහොත් කණ්ඩායම් සියල්ලගේම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව සමාන වීම මත අවසන් තරගයට සුදුස්සන් තෝරා ගැනීම ගෝල් පරතරය අනුව තීරණය කිරීමට සංවිධායකයින්හට සිදු වනු නොඅනුමානය.

ඒ අනුව බලන කල ශ‍්‍රී ලංකාවට සහ මාලදිවයිනට තම තරගය ජයග‍්‍රහණය කිරීමට සිදුවන්නේ වැඩි ගෝල් පරතරයක් සහිතව ය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් තරග යුගළ මෙන්ම මෙම තරගය ද්විත්වය ද ආරම්භයේ සිට අවසානය  දක්වා ම තියුණු මුහුණුවරකට පෙරළෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

සත්කාරක දේශය ලෙස මෙවර තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගය දක්වා පිවිසීමට හෝ ගෞරවනීය අවසානයක් කරා යාමට අද දිනයේ දී බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ උපරිම දක්ෂතාවය ප‍්‍රදර්ශනය කළ යුතුමය.

මාලදිවයින සමග පැවති මුල්ම තරගයේ දී නිවැරදි රිද්මයට අවතීර්ණ වෙමින් දෙවන භාගයේ දී ප‍්‍රදර්ශනය කළ දක්ෂතා මෙරට ක‍්‍රීඩකයින්ගේ කැපී පෙනුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ගෝල් 04 – 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට දෙපිලට හැකිවිය.

මෑත ඉතිහාසයේ මාලදිවයිනට එරෙහිව ශ‍්‍රී ලංකා පිල ප‍්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය මෙය වූ අතර එය සීෂෙල්ස් පිල අතර පැවැති දෙවන තරගයේදී නිවැරදි රිද්මයෙන් පවත්වාගෙන යෑමට අපොහොසත් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ගෝල් 01 – 00 ක අනපේක්ෂිත පරාජයක් අත් වීඳීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් හට සිදු වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment