අවසන් පැතුමත් නවසීලන්තය බිඳ දමයි

233

දිගින් දිගටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හි පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6 ක වේදනා බර පරාජයකට මුහුණ දීමට ඊයේ (31 දා) සිදුවිය. පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් තිබුණේ නම් අද ලද පරාජයත් සමඟ ඒ සියලු අවස්ථාවන් ද මඟ හැරී ගියේය. ගෞරවාන්විත තරගාවලි නිමාවක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජය අතිශය වැදගත් වුවත්, පිතිකරුවන්ගේ වූ වරදින් වාසිය තමන් වෙතට හරවා ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ එක්දින තරගාවලියද 2-0 ක් ලෙස ජය වාර්තා කළහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර මැදදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කොට ජය ලබා ගත යුතු වේ.

දෙවැනි එක්දින තරගය මුලුමනින්ම වර්ෂාවට සේදී ගියත් පළමු එක්දින තරගයේ දී පිතිකරුවන් තුළ වූ කඩා වැටීම තෙවැනි තරගයේදී හෝ නිරාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි විය. පිතිකරුවන් යැයි සම්මත ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම ලකුණු 10 ට අඩුවෙන් දැවී ගිය අතර එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා සමස්ත ඉනිමම 42 වැනි පන්දුවාරයේදී ලකුණු 157 කට සීමා වීමය.

එම ඉලක්කය හඹා යෑමේදී ළහිරු කුමාර ප්‍රමුඛ වේග පන්දු යවන්නන්ගේ ප්‍රබල අභියෝගයක් එල්ල කළද කලබලයකින් තොරවූ නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 32 කුත් පන්දු 5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

අවසන් පැතුමත් නවසීලන්තය බිඳ දමයි

ලකුණු 6 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනා දවා ගනිමින් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට ළහිරු කුමාර සමත් වද්දී අංක 3 පිතිකරුවා ලෙසින් පවුරක් සේ නොසැලී සිටි විල් යංග් නොදැවී ලකුණු 86 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ පෙරමුණ ගත්තේය. දසුන් ශානක විසින් ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගන්නා විටත් නවසීලන්ත ජයග්‍රහණයට ලකුණු 99 ක් අවශ්‍ය විය. එහිදී විල් යංග්ට එක් වුණු හෙන්රි මිචෙල් පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 100 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත පිල 2-0 ක තරගාවලි ජයග්‍රහණයක් දක්වා රැගෙන ගියහ. පන්දු 108 ක් පමණක් වැය වුණු එම සම්බන්ධතාවයේදී නිකොල්ස්ගේ දායකත්වය පන්දු 52 කදී ලකුණු 44 කිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ළහිරු කුමාර ලකුණු 39 කට කඩුලු 2 ක් දවා ගත්තේය. කසුන් රාජිත සහ දසුන් ශානක පසුව පැමිණ කඩුල්ල බැගින් දවා ගත්තද නිකොල්ස් සහ යංග්ගේ සම්බන්ධතාව බිඳ හෙළීමට අපොහොසත්වීම නිසා අපහසුවකින් තොරව තරග ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුව දවා ගත් මැට් හෙන්රි දෙවැනි ගොදුර වශයෙන් වටිනාම පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙත පීඩනය ගෙන ආවේය. පළමු එක්දින තරගයේදී කඩුලු 5 ක් දවා ගත් හෙන්රි ශිප්ලේගේ පන්දු හමුවේ යළිත් අසීරුතාවයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය පිතිකරුවන් 10 දෙනා අතරින් තිදෙනෙක්ම ඔහු හමුවේ දැවී ගියහ.

ශ්‍රී ලංකා ඉදිරි පෙළ නියෝජනය කළ නුවනිඳු ප්‍රනාන්දු (02), කුසල් මෙන්ඩිස් (00), ඇන්ජලෝ මැතිව්ස් (00) සහ චරිත් අසලංක (09) අඩු ලකුණුවලට දැවී යෑම නිසා ශ්‍රී ලංකා ඉනිමට හිස එසවීමට නොහැකි විය.

පන්දු යැවීමේදී ශිප්ලේට අමතරව මැට් හෙන්රි සහ ඩැරල් මිචෙල් කඩුලු 3 බැගින් දවා ගත් අතර එහිදී හොඳම පන්දු යැවීම මැට් හෙන්රි විසින් වාර්තා කළේය. ඉනිමේ පන්දුවාර 10 යවා නිම කළ එකම පන්දු යවන්නා බවටද පත්වූ හෙන්රි නිලකුණු පන්දුවාර 2 ක්ද සමගින් ලකුණු 14 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගත්තේය.

ආරම්භයේ සිට එක් අන්තයක් කඩා වැටෙද්දී තම අන්තය ආරක්ෂා කරගත් පැතුම් නිස්සංක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 64 කට මුහුණ දුන් පැතුම් ලකුණු 57 ක් ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් ඉටු කරමින් සිටියදී කඩුලු අතර දිව යෑමේදී වූ අතපසුවීමකින් කඩුල්ල අහිමි කර ගත්තේය.

පළමු පවර් ප්ලේ පන්දුවාර 10 දී දුර්වල පන්දුවලට පමණක් පහර එල්ල කළ දකුණත් පිතිකරුවාට, එම කාල සීමාවේදී වැඩි යමක් කළ නොහැකි වූයේ දිගින් දිගටම කඩුලු වැටීම නතර නොවූ බැවිනි. පවර් ප්ලේ පන්දුවාර 10 අවසන් වන විට ශ්‍රී ලංකා පිල රැස් කරගෙන සිටියේ කඩුලු 3 කට ලකුණු 26 ක් පමණි.

ඉනිමේ මැද පෙළින් දසුන් ශානක සහ චාමික කරුණාරත්න කණ්ඩායම ගොඩ ගැනීම සඳහා කිසියම් උත්සාහයක් ගත්ත ද ශිප්ලේ සහ හේනරි ඊට හරස් වූහ. පන්දු 36 කට මුහුණ දුන් නායකයා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 කට ශිප්ලේගේ ගොදුරක් බවට පත් වද්දී චාමික පන්දු 42 කදී ලකුණු

24 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 41.3 කදී සියලු දෙනා දැවී ලකුණු 157 යි – (පැතුම් නිස්සංක 57, දසුන් ශානක 31, චාමික කරුණාරත්න 24, ධනංජය ද සිල්වා 13, මැට් හෙන්රි 14/3, හෙන්රි ශිප්ලි 32/3, ඩැරල් මිචෙල් 32/3)

නවසීලන්තය පන්දුවාර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 159 යි – (විල් යංග් 83 නොදැවී, හෙන්රි නිකොල්ස් 44 නොදැවී, ළහිරු කුමාර 39/2, කසුන් රජිත 44/1, දසුන් ශානක 25/1)

advertistmentadvertistment
advertistmentadvertistment