අවසන් මොහොත තෙක් පේරාදෙණිය අත් නොහැරි සම්භාව්‍ය භාෂා වියතානෝ මර්ලින් පීරීස්

212

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය ආරම්භ කළ විද්වතා වූ මහාචාර්ය මර්ලින් පීරිස් මහතා මෙලොව හැර ගියේ ඉකුත් නොවැම්බර් 15 වැනිදාය. අවසන් හුස්ම හෙළන තුරුම ඔහුගේ එකම අරමුණ වූයේ ශ්‍රී ලංකා වාසි දූදරුවන්ට සම්භාව්‍ය භාෂා පිළිබඳ දැනුම බුද්ධිය ළං කර දීමේ වුවමනාව ය.

ඒ සඳහා ඔහු මිය යන මොහොත දක්වාම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු හමුවී නැතිනම් දුරකථනයෙන්

අමතමින් කරුණු විමසා බැලූ බව අපට කීවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දිමා වික්‍රමසිංහ මහත්මිය ය. ඔවුන් සමග විශ්වවිද්‍යාලයේ ගත කළ කාලේ පිළිබඳ දිගින් දිගටම ආවර්ජනය කරමින් ඔහු ලියූ පොතපත පිළිබඳව විස්තර කරමින් ඔහු විශ්‍රාම සුවය විඳ තිබේ.

බොහෝ අවස්ථාවල මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අපේ සම්භාව්‍ය භාෂා අංශය වෙත පැමිණෙනවා. ඔහු අවසන් වරට එහි ආවේ ඔහුට වයස අවුරුදු අසූ පහක් පමණ වන විට. ඉන් පසුව ඔහුට අපේ අංශයේ පඩි පෙළ නැග ගන්න අපහසු වුණා. රෝද පුටුව උඩට ගන්න තිබ්බ අපහසුතා මත ඉන්පසුව ඔහු විශ්වවිද්‍යාලයට ආවේ නෑ. නමුත් ඔහු හැකි සෑම අවස්ථාවකම අපට කතා කොට දැන් අපේ අංශයට ළමයි කීදෙනෙක් එනවද කීදෙනෙක් එන්න ඉන්නවද ග්‍රීක රෝම ඉතිහාසය පිළිබඳ ළමයි උනන්දුයිද.? ළමයින්ගේ උනන්දුව වැඩි වෙන්නට අවශ්‍ය දැනුම පාසල් වෙත ලබා දීමට හැකි ලෙස කටයුතු කරන්න ආදී වශයෙන් උපදෙස් ලබා දෙනවා.

ඔහු ඉකුත් මාසය තුළ ඔහුගේ විශ්වවිද්‍යාල කාලය පිළිබඳ බොහෝ තොරතුරු කිව්වා. විදෙස්ගත වෙලා ඉගෙන ගත්ත හැටි, විදේශීය රටවලට ගොස් ඔහුගේ දැනුම බෙදා දුන්න හැටි විතරක් නෙවෙයි ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ගත කළ කාලය පිළිබඳවත් දිගින් දිගටම සිහි කළා. විශ්වවිද්‍යාල කාලයේ පෙම්වතියක් ලෙස බිරිඳව මුණ ගැහුනු හැටි හරිම රසවත් ලෙස කියා හිටියා…” මහාචාර්ය චන්දිම වික්‍රමසිංහ මහත්මිය මහාචාර්යවරයා සමඟ කළ කතාබහ අප සමඟ එසේ බෙදා ගත්තාය. මෙලොව හැරයන තෙක්ම මහාචාර්යවරයෙකුගේ ප්‍රතාපවත් බවින් පසුවූ මර්ලින් පීරිස් මහාචාර්යවරයාගේ එදා පෙම්වතිය මෙදා බිරිඳ, ශාන්ති සිරිවර්ධන මීට කලකට ඉහතදී ඔහු හැර ගොස් තිබිණි. මහාචාර්ය මර්ලින් පීරිස් මහතාගේ දේහය සිය නිවසේ තැන්පත් කොට තැබීමෙන් පසුව ඊයේ පස්වරුවේ (19 දා) මහයියාව ආදාහනාගාරයේ දී ආදාහනය කරනු ලැබීය. මරණය කාටත් පොදුය. වයස අවුරුදු අනූ දෙකක් හොඳ සිහිබුද්ධියෙන් දරුවන්ගේ භාෂා ඥානය පුළුල් කිරීම සහ ඊට යොමු කිරීම අපේක්ෂාව කරගනිමින් ජීවත් වූ මර්ලින් මහාචාර්යවරයා මෙලොව සිටි සැබෑ බුද්ධිමතෙකි. සැබෑ උගතෙකි. සැබෑ පෙම්වතෙකි. යහපත් පියෙකි.

දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වංශකතාවේ පළමු පෙම්වත් යුවළ තවත් භවයක ඇරඹුම සමග අප අතරම ඉපදෙන්නට සූදානම්ව සිටිනු ඇත.

සමන්ති වීරසේකර

අවසන් මොහොත තෙක් පේරාදෙණිය අත් නොහැරි සම්භාව්‍ය භාෂා වියතානෝ මර්ලින් පීරීස්

advertistmentadvertistment
advertistmentadvertistment