අවසන් හතරේ ප්‍රහේළිකාව

356

2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ නිමාව අද සනිටුහන් වනු ඇත. ඒ ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරගයෙනි. ඊට පෙර අද දිනයේ තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය සහ අනතුරුව බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගයයි. අද තරග වදින කණ්ඩායම් සියල්ල සුපිරි 12 වටයේ දෙවෙනි කාණ්ඩය යටතේ තරග කළ කණ්ඩායම් වෙයි. එම කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් හතර අතරට එන්නේ කවුරුදැයි තවමත් විසඳී නොමැත. මේ සටහන තබන විට සුපිරි 12 වටය යටතේ නිමා වී තිබුණේ එක් කණ්ඩායමකට නියමිත තරග 5න් මුල් තරග 4 පමණි.

අවසන් හතරේ ප්‍රහේළිකාව

එහෙත් පළමු කාණ්ඩයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායම් මොනවාද යන්න මේ පුවත්පත ඔබ අතට පත්වන විට නොරහසකි. එම කාණ්ඩයේ සියලු තරග ඊයේ නිමාවට පත්වීමට නියමිතව තිබුණි. එහි අවසාන තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ද ශ්‍රී ලංකාව සමගයි. එයද එක්තරා ආකාරයක අපූරු තරග සැලසුමකි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයට ක්‍රීඩා කළේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ නැමීබියාව සමගයි. එම තරගයෙන් නම් ශ්‍රී ලංකාව පරාජය විණි. එසේම සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයෙන් අවසාන තරගය ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවටය. ඒ අපූරු අවස්ථාව තවත් චමත්කාරජනක අවසානයකට රැගෙන යෑමට ශ්‍රී ලංකාවට ඉඩ ලැබුණේ ද යන්න දැන් ඔබ දනී. එනම් අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමයි. එසේ වීමට අවස්ථාවන් දෙකක් සම්පූර්ණ වීමට තිබුණි. ඉන් එකක් අයර්ලන්තය නවසීලන්තය පරාජය කිරීම හෝ ඇෆ්ගනිස්තානය ඔස්ට්‍රේලියාව පරාජය කිරීමයි. මේ දෙකෙන් එකක් හෝ සම්පූර්ණ වී නම් ශ්‍රී ලංකාවට තවත් තීරණාත්මක දෙයක් ඉතිරිව තිබිණි. ඒ ඊයේ (05 වෙනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කිරීමයි.

ඒ කෙසේ වෙතත් මෙවර තරගාවලියේ සුපිරි 12 වටයේ කණ්ඩායම් කිසිවකට මුල් තරග 4 අවසාන වුණත් අවසාන පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීම විශේෂ සිද්ධියකි. පළමු කාණ්ඩයේ සහ දෙවන කාණ්ඩයේ සියලු කණ්ඩායම් මෙම තත්ත්වයට මුහුණ දුන්නේය. ඊට හේතුව මෙවර තරගාවලිය එතරම්ම උණුසුම් ස්වරූපයක් ගැනීමයි. ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින සීතල දේශගුණික තත්ත්වය යටපත්කර ඉහළට නැඟි මේ ක්‍රිකට් උණුසුම තව සතියකින් එනම් හරියටම ලබන 13 වෙනිදා නිමාවට පත්වේ.

එම අවසන් මහ සටනට සුදුසුකම් ලැබීමට නම් අවසන් පූර්ව තරගවලින් ද ජය ගැනීමේ අභියෝගය කණ්ඩායම් ඉදිරියේ පවතී. එම අවසන් පූර්ව තරග දෙක ලබන 9 වෙනිදා සහ 10 වෙනිදා පැවැත්වේ. සුපිරි 12 වටයේ පළමු තරග අවසානයේ පෙරමුණ ගෙන සිටියේ පළමු කාණ්ඩයෙන් නවසීලන්තය සහ එංගලන්තයයි. දෙවෙනි කාණ්ඩයයෙන් අංක එක සහ දෙක හිමිකර ගෙන තිබුණේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවයි. එහෙත් පළමු කාණ්ඩයෙන් තෙවැනි සහ සිව්වෙනි ස්ථානවල රැඳී සිටි ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවට ද අවසන් පූර්ව තරග සඳහා දොරටු වැසී නොතිබුණි. දෙවෙනි කාණ්ඩයේ අංක 3 සහ අංක 4 ස්ථාන හිමිකර ගෙන සිටි බංග්ලාදේශයට සහ පකිස්තානයට ද එම තත්ත්වය එසේය.

ඒ නිසා මෙවර පැවැත්වෙමින් තිබෙන්නේ පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අතරින් ඉතා තියුණු තරගාවලියකි. ඒ තියුණු බවට සහ පීඩනයට සාර්ථකව මුහුණ දුන්නෝ ලබන ඉරිදා කිරුළු පළඳිති.

● ජයග්‍රාහී සමුදීම

ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලයේ පැමිණි ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මධ්‍යස්ථ සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර ඇති බව පෙනේ. විශේෂයෙන් තරග හතරකට සහභාගි වී ඔවුන් ඉන් තරග දෙකක් ජයග්‍රහණය කර තවත් තරග දෙකක් පරාජයට පත්වී ඇත. පරාජයට පත්වුණේ නවසීලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. එම පරාජයන් ඉතා දරුණු ඒවා විය. ශ්‍රී ලංකාව ජය ගත්තේ අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි. එම කණ්ඩායම් දෙක සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ අවසාන ස්ථාන දෙකට පත් වුණු කණ්ඩායම් දෙකයි. ශ්‍රී ලංකාව පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද සුපිරි 12 වටයේ දී ජයග්‍රහණය කළේ තරග දෙකක් පමණි. එය ද එම අවසාන ස්ථාන දෙකට පත් බංග්ලාදේශයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවය. එවර දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය හමුවේ පරාජයට පත් විණි.

අවසන් හතරේ ප්‍රහේළිකාව

මෙවර තරග දෙකක් නොව තරග තුනක් දිනන්නට හැකි නම් එය අගනේය. ශ්‍රී ලංකාවේ අවසාන තරගය එංගලන්තය සමග ය. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පසුගිය සිකුරාදා පැවති තරගවලින් ජයග්‍රහණය කළේ නම් ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කළ ද අවසන් පූර්ව තරගවලට නම් යෑමට නොහැක. එහෙත් ඕනෑම තරගයක් ජය ගැනීම පරාජය වීමට වඩා හොඳය. ඒ නිසා අවසන් පූර්ව තරගවලට නොපැමිණියද ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කළේ නම් තරගාවලියට ජයග්‍රාහී සමුදීමකි.

කසුන් රණවීර
ඔස්ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment