අවස්ථාවාදී නොවන ව්‍යවස්ථා සම්පාදන!

45

ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ‘සීමා සහිත බව’ ජය ගැනීමට නම්, පුරවැසියන් හැකිතාක් තමන්ගේ සාමූහික සහ ඍජු සහභාගිත්වය තුළින්, සක්‍රීය පුරවැසියන් ලෙස ගම්, නගර මට්ටමෙන් ගොඩනඟන පුරවැසි කවුන්සිල් තුළින්, දේශපාලන ක්‍රියාකාරීත්වයට ඍජුව සහභාගි විය යුතු බව කීවේ බෙන්ජමින් බාබර්. ඔහු 1984දී ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය: නව යුගයකට අවශ්‍ය සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය’ නම් කෘතිය පළකරමින් එහෙම කීවා. අන් කවරදාටත් වඩා පුරවැසියන් ආණ්ඩුකරණ ක්‍රියාවලියට දායක වීම ලෝකය බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල දක්නට ලැබෙන නව ප්‍රවණතාවයක්. එනිසාම ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය අද එය තවත් ඉස්මතු වී තිබෙනවා.

සර්වජන ඡන්ද බලය ලැබුණු ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ශ්‍රී ලංකාව මෙකී නව ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග වෙත ප්‍රවිශ්ට වීමේදී ඇල්මැරුණු ස්වභාවයක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතා සහභාගිත්වය ප්‍රමාණවත් වූයේ නැහැ.

සමස්තයක් ලෙස ගෙන බලන විට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල පාලනය හිමිකම් කියන ඉතිහාසය අවුරුදු 186 ක් තරම් වෙනවා. එහෙත්, අපට ස්ථිරසාර ව්‍යවස්ථානුකූලවාදයක් ගොඩනොනැඟුණේ ඇයි? රටේ ජනතාවගේ ගෞරවයට, ආදරයට හා භක්තියට පාත්‍ර වූ ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීමට ශ්‍රී ලංකාව මේ දක්වාම අපොහොසත් වීම ඇත්ත වශයෙන්ම ඛේදවාචකයක්.

නිදහසෙන් පසු ගෙවුණු දශක හතක කාලය තුළ දී මේ රට පාලනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් සැකසුණා. මේ වනවිට තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කථිකාවත නිර්මාණය වී තිබෙනවා. එය ද නිර්මාණය වුණොත් නිදහසින් පසු කාලය තුළ මේ රට පාලනය කිරීම සඳහා පැනවූ සිව්වන ව්‍යවස්ථාව එය වෙනවා. දශක හතක් වැනි කෙටි කාලයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් පැනවීමෙන් සහ තවත් එකක් සම්පාදනය කරගෙන යෑමෙන් පෙනී යන්නේ කුමක්ද? මේ රට තුළ ව්‍යවස්ථානුකූල පාලනය කොතරම් අසාර්ථක වී තිබෙනවාද යන්න නොවේද? බලයට පත්වූ සමහර පාලකයන් තමන්ගේ පටු සහ ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු සපුරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මංකොල්ල කෑමේ දේශපාලන සම්ප්‍රදාය අපි විසින් ඒ දශක හතක කාලය පුරාම අත්විඳ තිබෙනවා. තමන් විසින් ලබාගත් මහජන කැමැත්ත අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් තමන්ට අවශ්‍ය පන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඔවුන් බොහෝ දෙනා කටයුතු කොට තිබෙනවා. ඒ හේතු කොට ගෙන අපේ රටේ ව්‍යවස්ථාව වාර ප්‍රකාශනයක මට්ටමට වැටී තිබෙනවා.

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට කරනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය එකී ආත්මාර්ථකාමී බලලෝභී, දුෂ්ට අරමුණ පිළිබඳව දිය හැකි ආසන්නම උදාහරණයක්. මෙරට නාමික වශයෙන් හෝ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය මුළුමනින්ම උඩු යටිකුරු වීමක් 18 හරහා සිදුවුණා.

මේ සියලු සංශෝධනයන්ට ඒ ඒ කාලවල පාලකයන් යොදා ගත්තේ තමන්ට ලැබී තිබුණු ජනවරම ඊනියා ලෙස පාවිච්චි කිරීමයි.

මේ වන විට සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද භාවිතා කරමින් සිටිනවා.

රාජ්‍ය පාලනය උදෙසා ජනතාව වෙන කවදාටත් වඩා සක්‍රීය ලෙස දායක වන අවස්ථා දකින්නට ලැබෙනවා. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු ආමන්ත්‍රණය කිරීමට යොදාගත හැකි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක් වන ‘නියෝජිතයන් ආපසු කැඳවීම” පවා බොහෝ රටවල් භාවිතයට ගනිමින් ඉන්නවා. මහජන මත විමසුම ඇමෙරිකාවේ පළාත් පාලන ආයතනවල සුලභව භාවිත කරනවා. පළාත් පාලන ආයතනයක් නව නීතියක් පැනවීමට හෝ නව සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන විට, එය මහජන අනුමැතිය සඳහා මහජන ඡන්දයකට යොමු කිරීම ඒ හරහා සිදුවෙනවා.

අපේ රටේ පාර්ලිමේන්තුවෙන් පිටත කොහේ හෝ කවුරුහරි හදන නීතිවලට පක්ෂව අත උස්සන සිග්නල් කණු වීමේ ඉරණමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්වී ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කරනවා.

පුරවැසි ජනතාව පාලන කටයුතුවලට වඩා සක්‍රීය ලෙස දායක කර ගැනීමේ ඉඩකඩ අපේ රටේ නැතුවා නොවේ.

ජනාධිපති ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේ හඳුන්වා දුන් උපදේශන කමිටු ඊට කදිම උදාහරණයක්. ප්‍රාදේශීය සභා පනතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ද ඇතුළත් වන ලෙස ඒ උපදේශක කමිටු පිහිටුවනවා. ප්‍රාදේශීය සභාවේ මූල්‍ය කටයුතු, ප්‍රතිපත්ති සැලසුම් කිරීම, නිවාස, ප්‍රජා සංවර්ධනය, පරිසරය හා මහජන සේවා යනාදී විෂයයන් සම්බන්ධව ප්‍රාදේශීය සභාවලට උපදෙස් දීමට මෙම මහජන උපදේශක කමිටුවලට බලය ලබාදී තියෙනවා. ජනතාවගෙන් ඈත් වූ හෝ ජනතාවගෙන් දුරස් ව්‍යවස්ථාවකට වේවා පාලන ක්‍රමයකට වේවා ඉදිරියට යෑමේ හැකියාව සීමා සහිතයි.

රටක පාලන ක්‍රමයකට අදාළව ගනු ලබන තීන්දු තීරණ ජනතාවාදී නොවන තාක් කල් සිදුවන්නේ නිරන්තරයෙන් පැලැස්තර ඇලවීමටයි.

නමුත් ජනතා සහභාගිත්වය ඇතිව සිදුවන බොහෝ දෑ වලට ගමන් කළ හැකි දුර විශාලයි.

advertistmentadvertistment
advertistmentadvertistment