අවස්ථාවාදී භූමිකාව!

43

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් විසින් බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නගරයේ පිහිටි පාර්ලිමේන්තුව වන ජාතික කොංග්‍රස් ගොඩනැඟිල්ල ඇතුළු රජයේ ආයතනවලට කඩා වැදී දේපළවලට හානි කරන්නට පටන් ගත්තේ පසුගිය දිනවල.

මේ තත්ත්වය උග්‍ර වීමත් සමග විරෝධතාවයට විරෝධය පාමින් කෝපයට පත් දස දහස් ගණනක් වන බ්‍රසීල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට සහය පළ කරමින් රට පුරා නගරවලට පැමිණෙන්නට පටන් ගත්තා.

බ්‍රසීලයේ බොල්සොනාරෝ කණ්ඩායමේ විරෝධතාවය සහ ලංකාවේ අරගලය එකට සමපාත කරන්නට සමහරු උත්සාහ කරනවා.

ඒ උත්සාහය මොනතරම්ද කියල පැහැදිලි වෙන්නේ අපේ රටේ ජනාධිපතිවරයා බ්‍රසීලයේ අරගලයට විරෝධතාවය පළකරමින් නිකුත් කළ නිවේදනය දුටු විට.

ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ එක් තැනක තිබෙනවා මෙවැනි විරෝධතාවයක් ලංකාවේ තිබූ බවත්, මෙබඳු ප්‍රජාතන්ත්‍ර විරෝධී විරෝධතා නැවැත්විය යුතු බවත්.

තමන්ගේ බලය උදෙසා පාලමක් බවට අරගලය පත් කරගත් සමහරු, බලය තහවුරු කර ගැනීම සඳහා එදා ජනතා විරෝධතාවයට සහ පිළිකුලට ලක් වූ කණ්ඩායම්වල සරණ පැතූ විට නිරුත්සාහයෙන්ම විරෝධතාවයන්ට විරුද්ධ වීම අරුමයක් නෙවෙයි.

නමුත් අපි අවබෝධ කරගත යුත්තේ බ්‍රසීලයේ විරෝධතාවයේ සහ ලංකාවේ විරෝධතාවයේ වෙනසයි.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවීස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජනාධිපතිවරණයේදී ජයීර් බොල්සොනාරෝ පරාජය කළේ ඉතාම තියුණු සටනකින්.

දේශපාලනයේ ප්‍රතිවිරුද්ධ පැතිවල ප්‍රතිවාදීන් දෙදෙනකු අතර පැවති ජනපතිවරණයෙන්, ලූලා 50.9% ක් ලබා ගත්තා.

නමුත් ලූලගේ ජයග්‍රහණය බොල්සොනාරෝ පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ සියයට පනහකට ආසන්න මට්ටමේ සිටින තමන්ගේ ආධාරකරුවන් සමග විරෝධතා මාලාවක් ආරම්භ කිරීම.

නමුත් බොල්සොනාරෝ කියන්නේ බ්‍රසීලයේ සිටි ඉතා දූෂිත පාලකයකු ලෙස ප්‍රකට අයෙක්.

විශේෂයෙන්ම ලෝක පරිසර විනාශය උදෙසා කැපවූ කුප්‍රකට පාලකයන් අතර බොල්සොනාරෝ ඉදිරියෙන්ම සිටිනවා.

ඇමසන් වනයට හානි කිරීමේ අඳුරු ඉතිහාසය ඔහුගේ පිටුපස්සෙන් රැඳී තිබෙනවා.

ඇමසන් හැඳින්වෙන්නේ ලෝකයේ පෙනහැල්ල විදිහට. ඒ තරමටම ඇමර්සන් ලෝකයේ පැවැත්ම වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරනවා. එවන් ඇමසන් විනාශ කිරීමට දායක වූවන්ගේ ලයිස්තුවේ බොල්සොනාරෝ ඉදිරියෙන්ම සිටිනවා.

එවැනි පුද්ගලයෙක් පෙරටු කරගෙන පාක්ෂිකයන් සිදු කරන අරගලය ශිෂ්ට සම්පන්න සමාජය හෙළා දකිනවා.

නමුත්, ලංකාවේ පැවති අරගලය අවස්ථාවාදය ඉක්මවා ගිය පරාර්ථ සිතුවිලිවලින් පිරුණු අරගලයක්.

පටු සිහින වෙනුවට පොදු සිහින කරපින්නා ගත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ලංකාවේ පුරවැසි අරගලයට දායක වුණා.

ඔවුන්ගේ අරගලය අවිහිංසාවාදී එකක් වුණා. නිර්මාණශීලී එකක් වුණා. ශිෂ්ටත්වය සහ මානවවාදය එකට මුසු වුණු චමත්කාරජනක අරගලයක් වුණා.

ගං කැටයක්වත් විසි නොකරමින් දින අනූවක් පුරා අඛණ්ඩව පැවති අරගලයට ප්‍රහාරය එල්ල වුණේ ආණ්ඩු පාර්ශ්වයෙන්.

එදා ඒ ප්‍රහාරයෙන් නිරායුධ අරගලකරුවන් විශාල ප්‍රමාණයකට බරපතළ හානි වලට මුහුණ දෙන්න සිදුවුණා.

අපේ රටේ අරගලකරුවන් වුණේ පොදු මහජනතාව. විවිධ පක්ෂවල විවිධ පිරිස් එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් අරගල කළා.

එදා රට දෙකට බෙදුනේ දුර්දාන්ත පාලකයන් සහ මහජනතාව විදිහට. මහජනතාව එක් පසෙකත්, දුෂ්ඨ පාලකයන් තව පසෙකත් හිටියා.

එය කෙළවරක් වුණේ පාලකයන් වෙනස් කරමින්.

ඉතින් ලංකාවේ අරගලය බ්‍රසීලයේ අවස්ථාවාදී අරගලයට සමපාත කරන්නේ කෙසේද?

බ්‍රසීලයේ විශාලතම නගරය වන සාඕ පවුලෝ නගරයේ විරෝධතා රැලිවලට සහභාගි වූ ජනතාව එක හඬින් පවසා ඇත්තේ කෝලහාලකරුවන් පිටුපස සිටින බවට අනාවරණය වී ඇති රටේ හිටපු ජනපති බොල්සොනාරෝ සිරගෙදරට යැවිය යුතු බවයි. නමුත් ලංකාවේ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අද සිරගත වන්නට සිදුව තිබෙන්නේ, පුරවැසි අරගලයට එකතු වී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇප කැප වූ තරුණ කණ්ඩායම්වලට.

දුෂ්ට පාලකයන්ට ජනතා අරගල දරාගත නොහැකි බව ඇත්ත. තමන්ට සහයෝගය දුන් කණ්ඩායම වෙනුවෙන් කලගුණ දැක්වීම උදෙසා ඕනෑම සාධාරණ දෙයක් අසාධාරණ ලෙස හංවඩු ගැසීමට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය බ්‍රසීලයේ අවස්ථාවාදී අරගලයට සමපාත කරන කිසිවෙක් සිටිනවානම් ඔහු ඉටු කරමින් සිටින්නේ “අවස්ථාවාදියකුගේ භූමිකාව පමණයි!.

ඕනෑම බොර දියක මාළු බාමින්, තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.

අපි අත්දකිමින් සිටින්නේ ඒ අන්ධකාර ඛේදවාචකයයි.

advertistmentadvertistment
advertistmentadvertistment