අවස්ථාවාදී සහ ජාතිවාදී දේශපාලනයෙන් රට සැමදා අර්බුදයට ලක්වුණා – විපක්‍ෂ නායක

102

රටේ සුළු ජාතීන් ලෙස වෙනම ජාතීන් නොමැති බවත්, සිටිනා සියලු ජාතීන් සියල්ලන් එක් වී රට ගොඩනැඟිය යුතු යැයි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාතික සංවිධාන 12ක නියෝජිතයන් අතර පැවැති හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

වඳ කොත්තු, වඳ සැත්කම්, ශාෆි සිදුවීම වැනි සිදුවීම් හරහා ජාතීන් අතර වෛරයක් ඇති වූ බවත්, එයින් රටේ ඒකීය භාවයට මෙන්ම ජාතික ආරක්ෂාවට හානියක් වූ බවත් ඒ ප්‍රේමදාස මහතා පැවසීය.

පොහොට්ටුව බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදය වැපිරූ අයුරු සිහිපත් කළ විපක්ෂ නායකතුමා තමන් ජාතිවාදයට, ආගම්වාදයට, අන්තවාදයට සහ ත්‍රස්තවාදයට සහමුලින්ම විරුද්ධ බවත්, අවස්ථාවාදී ජාතිවාදී දේශපාලනය හේතුකොටගෙන විවිධ අවස්ථාවල රට බලවත් අර්බුදයන්ට ලක් වූ බවත් කීය.

තමන්ගේ සහ සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මේ රටේ සිටින්නේ සුළු ජාතිකයන් නොව සෙසු ජාතිකයන් බව කී විපක්ෂ නායකතුමා, ඕනෑම කෙනෙකුට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බවද අවධාරණය කළේය.

කවුරුන් කෙසේ අර්ථ ගැන්වූවත් 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද තිබෙන ආකාරයටම ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවත් එය අඩු හෝ වැඩි නොවී පැවතිය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ජාතිවාදය, ජාතිභේදය නිසා රට අනතුරේ බවත්, මේ හේතුවෙන් මැදපෙරදිග රටවල් සමඟ පවා සාකච්ඡා කර රටට උපකාර ගැනීමට නොහැකි වී ඇති බවත් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් වන සිදුවීම මේ සඳහා තදින්ම බලපෑ බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේය.

කිසිදු ජාතියකට ආගමකට අයත් පුද්ගලයන් පහත් කොට නොසැලකිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසිදු පුද්ගලයකු තවත් කෙනකුට යටත් වීමට නොකැමැති හෙයින් එම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව යනුවෙන් හැඳින්වූයේ මිලිටරි සිකුරිටි පමණක් බවත් නමුත් ජාතික ආරක්ෂාව යනුවෙන් සැබැවින්ම හඳුන්වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, යුද, වානිජ, කර්මාන්ත ආදී සෑම දෙයක්ම බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ නැවත එවැනි තත්ත්වයක් ඇති වීමට විපක්ෂයක් ලෙස ඉඩ නොදෙන බවයි.

බෙදුම්වාදී, රට දෙකඩ කරන, විවිධ ජන කොටස්වලට කලාප බෙදාදෙන තැනක විපක්ෂ නායකවරයා සහ විපක්ෂය ලෙස නොසිටින බවත් තමාගේ ශබ්දකෝෂය තුළ සුළු ජාතිකත්වය කියා දෙයක් නොමැති බවත් ඔවුන් සුළු ජාතිය යනුවෙන් හඳුන්වනවාට වඩා සෙසු ජාතිය ලෙස ගෞරවනීය ලෙස හඳුන්වා දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සෑම ජාතියකටම වෙන්වූ භූමියක් ප්‍රදේශයක් හෝ තත්ත්වයක් නොමැතිව ඔවුන් සියලු දෙනාම සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකම තත්ත්වයක හැඳින්විය යුතු බවත් පැවසීය

advertistmentadvertistment
advertistmentadvertistment