අවිචාර සමයක කලාව – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

659

කලාවේ උපත මිනිසාගේ ජීවිතය තුළ යැයි මහාචාර්ය අර්වින් එඩ්මන් කලාව සහ මිනිසා නමැති සිය කෘතියෙහි සඳහන් කොට ඇත’ ජීවිතය කෙබඳු දුක්ඛ දෝමනස්සයකට ලක්වුවද මිනිසා සුවපත් කිරීමේ මහා බලයක් කලාව තුළ ඇති බවද මේ ඇමරිකානු දර්ශන විද්‍යා මහාචාර්යවරයා දැරූ අදහසකි. කවිය, නවකතාව, නාට්‍යය සහ ජනමාධ්‍ය යන කලා ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමාණික විද්වතකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අපේ රටේ කලා ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවණතා පිළිබඳ පළ කළ අදහස් කිහිපයකි මේ.

අපේ රටේ දේශපාලකයින් කිහිපදෙනෙකු හැර සමස්ත ජනතාවගෙන් අති බහුතරයක් අප ජීවත් වෙන මෙම යුගය හඳුන්වන්නේ අවිචාර සමයක් විදිහට. අපේ රටේ වර්තමානය ගැන තිබෙන මෙම නිර්වචනයට ඔබ එකඟද?

අවිචාර සමයක් යනු කුමක්ද යන්න ගැන ඇරිස්ටෝටල්, ජවහර් ලාල් නේරු, මහත්මා ගාන්ධි වැනි ලෝකයේ ජීවත් වුණු බුද්ධිමතුන් ප්‍රකාශ කර තිබෙන්නේ ජනතාවට හිතන්නට පතන්නට ඉඩ නොතබා බලහත්කාරකමින් කිසියම් ආගන්තුක ආකාරයකට ජීවත්වීමට සිදුව ඇති කාලය අවිචාර සමයක් විදිහටයි. ස්වාභාවික ජීවිතය අතහැර කෘත්‍රිම ජීවිතයක්, අසහනකාරී ජීවිතයක් ගත කරන්නට සිදුවන කාලය අවිචාර සමයක් ලෙසයි ඔවුන් හඳුන්වා තිබෙන්නෙ. ඕනෑම රටක ජීවත්වන ජනතාව තුළ තිබෙන අසහනකාරිත්වය කියන්නෙ ඒ රටේ සමාජයේ ස්වභාවය පෙන්වන කැඩපතක්. අවිචාර සමයක තිබෙන මූලික ලක්ෂණය තමයි හිතන්නට පතන්නට නිදහසක් නැතිකම. තම අවශ්‍යතා, අපේක්ෂා අතහැර ජනතාවට පීඩාකාරී ජීවිතයක් ගතකරන්නට සිදුවීම.

අපේ රටේ වර්තමානය දිහා මධ්‍යස්ථව බැලුවොත් මෙන්න මේ ලක්ෂණ අද අපේ රටේ සමාජය තුළ පැහැදිලිව දකින්නට තිබෙනවා. අද සෑම ක්ෂේත්‍රයකම බරපතළ පරිහානියක් දකින්නට තිබෙනවා. එය අතීතයේත් අවිචාර සමයක ගිලුණු හැම රටකම දකින්නට ලැබුණු පොදු තත්ත්වයක්. සොක්‍රටීස් පඬිවරයා එදා ග්‍රීසියේ පාලකයින්ගෙන් ඇසූ ප්‍රශ්නය අදටත් වලංගුයි. මෙය මම මගේ සොක්‍රටීස් නාට්‍යයෙන් පාලකයින් හමුවට ගෙන ආවා… අපට මීට වඩා යහපත් ජීවිතයක් ගතකරන්න බැරිද? එදා සොක්‍රටීස් ග්‍රීක පාලකයින්ගෙන් නිර්භවය මේ ප්‍රශ්නය ඇහුවා. අදත් මේ ප්‍රශ්නය බය නැතුව අහන අය ඉන්නවා. හැබැයි එදා වගෙම අදත් ඔවුන් මර්දනය කරනවා. බුද්ධිමතුන්ගේ හඬ මර්දනය කිරීම තමයි රටක පරිහානිය. මේ පරිහානිය අද අපේ රටේ සෑම ක්ෂේත්‍රයක් පුරාම පැතිරී තිබෙනවා. දේශපාලන ක්ෂේත්‍රයේත් මෙය බරපතළ ලෙස තිබෙනවා. අපේ මැතිසබයේත් අද විශාල අර්බුදයක් තිබෙනවා. කවුද උගතා… කවුද නූගතා… ඉස්සර අපිට උගත්තු හිටියා. එන්. එම්. පෙරේරා මහතා උගතෙක්. කොල්වින් ආර්. ද සිල්වා මහතා උගතෙක්. කන්නන්ගර මහතා උගතෙක්. බණ්ඩාරනායක මහතා උගතෙක්. ඒ අය හුදු උපාධිධාරියෝ පමණක් නෙමෙයි. ඒ අය ජනතාව අතරට ගියා. අද මැතිසබේ ජනතාව අතරට යන්න පුළුවන් අය ඉන්නෙ කී දෙනාද? වැඩිදෙනා පෙනී ඉන්නෙ රූපවාහිනියෙ විතරයි.

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවණතා පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

කවිය, නවකතාව සම්භාව්‍ය කෘති, පරිවර්තන, නාට්‍ය කලාව, සෞන්දර්ය විෂයය, තාක්ෂණය ආදී දේවල් උගන්වන අයගේ සහ ඉගෙනගන්නා අයගේ විශාල බිඳවැටීමක් – පරිහානියක් අද දකින්නට තිබෙනවා. මේ ක්ෂේත්‍ර උගන්වන අය අද අසහනයට පත්වෙලා ඉන්නෙ. පාසල් පද්ධතිය තුළත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් අද මේ තත්ත්වය පැතිරිලා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ ළමයින්ට උගන්වන්න අත් පත්‍රිකාවක් සකස් කරද්දි එක් අංශාධිපතිවරයෙක් මගෙන් අහනවා ඔය අත් පත්‍රිකාව වට්ස්ඇප් එකට දාල දෙන්න බැරිද කියල. ඒකට හේතුව විශ්වවිද්‍යාලෙ කඩදාසි නෑ. කඩදාසි කර්මාන්ත ශාලාව වහලා. කඩදාසි මිල අහස උසට නැගලා.

රටේ පවතින මේ පරිහානීය තත්ත්වය සෑම කලා ක්ෂේත්‍රයකටම බලපාල තියෙනවා. කවියේ සහ නවකතාවේ වර්තමාන තත්ත්වය කනගාටුදායකයි. පළවෙලා තිබෙන කවි පොත් දහයක් අරගෙන බැලුවොත් එයින් අටක්ම කර්තෘ ප්‍රකාශන. එනම් කර්තෘ විසින් මුදල් වියදම් කරල මුද්‍රණය කර පළ කරන පොත්. නවකතාවල තත්ත්වයත් මීටම සමානයි.

ඔබ කාව්‍යකරණයට පිවිසෙන්නෙ හැටේ දශකයේදී ‘පවුරු වළල්ල’ කාව්‍ය නිර්මාණය තුළින්. කවිය ගැන ගැඹුරු හැදෑරීමක් කළ කෙනකු විදිහට වර්තමාන කවිය පිළිබඳ ඔබේ නිර්වචනය කුමක්ද?

අද ලියවෙන කවි ලෝකයේම වෙනස් රැල්ලක් අරගෙනයි තියෙන්නෙ. අපේ රටේ තියෙන්නෙ ඒ රැල්ල නෙමෙයි. පැරණි කවි සම්මතය වෙනස් වෙන්න ඕන කිව්වට ඒකෙ හැඩතල මිසක් චින්තනය වෙනස් වෙලා නෑ. අපේ කවිය පිළිබඳ පාසල් මට්ටමෙන් හෝ විශ්වවිද්‍යාල මට්ටමෙන් හෝ ජනමාධ්‍ය මට්ටමෙන් හෝ කතිකාවක් පැවැත්වෙන්නෙ නෑ. ප්‍රචාරක කටයුතු නම් සිදුවෙනවා. නමුත් එය පලදායි සාකච්ඡාවකට පෙරළෙන්නේ නෑ. කෙටිකතාව සහ නවකතාව ගැනත් ඔය ටිකම කියන්න පුළුවන්.

අද පොත්වල අලෙවිය ගැන හිතමු. සම්මානයක් දිනාගත්ත නවකතාවක් ගැන පාඨකයො හිතන්නෙ එය කිසියම් තත්ත්වයක් සහිත පොතක් විදිහට. ඒ නිසා එය වැඩිදෙනා මිලදී ගන්න පෙලඹෙනවා. නමුත් අද නවකතා පොතක් මිලදී ගන්න වෙන්නෙ කීයකටද? රුපියල් 850 සිට ඉහළට. පසුගියදා පළවුණු නවකතා පොතක මිල රුපියල් 1250 ක්.

මේ අද ලේඛන කලාව මුහුණපා තිබෙන බරපතළ ගැටලුව. පුවත්පත්වල තත්ත්වයත් මීටම සමානයි. පුවත්පත් අලෙවියත් වේගයෙන් පහත වැටී තිබෙනවා. එයට අනුව පුවත්පත්වල පිටු සංඛ්‍යාව අඩුවෙලා තිබෙනවා. එවිට කැපී යන්නේ මොනවද? ශාස්ත්‍රීය ලිපි. ඉතුරුවෙන්නෙ දේශපාලන කතිකා, ජ්‍යොතිෂයට සම්බන්ධ ලිපි, ඊළඟට ඕපාදූප. මේකට මගෙ මිත්‍රයෙක් හොඳ වචන දෙකක් පාවිච්චි කළා. සෙක්ස් සහ ක්‍රයිම්… අද බොහෝ මාධ්‍ය තුළින් තොරතුරු විදිහට ජනතාවට ලැබෙන්නෙ මේවා. අද බොහෝ මාධ්‍ය තුළින් ජනතාවට ලැබෙන්නෙ මුද්‍රණය කරන ප්‍රමාණය විකුණා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු මිස ජනතාවට අවශ්‍ය, ජනතාව දැනුවත් කරන තොරතුරු නෙමෙයි. මෙය තමයි අවිචාර සමයක කලාවේ ස්වභාවය.

අද අපේ රටේ නාට්‍ය කලාවත් මේ ඉරණමට ගොදුරුවෙලා හමාරයි. අද අපේ රටේ නාට්‍ය කලාවක් නෑ. සද්භාවයෙන් නාට්‍ය කරන පිරිසකුත් නෑ. පාසල්වලටයි විභාගවලටයි ඉලක්ක කරගෙන තමයි අද නාට්‍ය නිෂ්පාදනය වෙන්නෙ. අද අලුතෙන් නාට්‍යයක් කරන්න අමාරුයි. නළුනිළියනට කළ යුතු ගෙවීම්, ප්‍රවාහන පහසුකම් ලබාදීම, සංගීතය සඳහා කළ යුතු ගෙවීම් ආදී වියදම් බැලුවාම අලුත් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බෑ. සුභසාධක කටයුත්තක් වගේ නාට්‍යයක් කරනව මිසක් අද වෙන ක්‍රමයක් නෑ.

මේ කලාවන් නඟා සිටුවීමේ වගකීමක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට තිබෙනවා නේද?

සංස්කෘතික දෙපාර්තමේන්තුව කරන්නෙ කටයුතු දෙකයි. එකක් සාහිත්‍ය උත්සවය පවත්වනව. අනෙක නාට්‍ය උත්සවය පවත්වනව. එච්චරයි. පුස්තකාල සේවා මණ්ඩලය දැන් මුදල් දෙන්නෙ නෑ පොත් මුද්‍රණයට. මහා බරපතළ මුදල් අහේනියක් අද මේ ආයතන තුළ ඇතිවෙලා තිබෙනවා. කලාව පවත්වාගෙන යෑමට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ගැන අද බලාපොරොත්තු වෙන්න බැහැ. අද රාජ්‍ය ආයතනවල සම්පත් දායකයින් ලබාදෙන බොහෝ පහසුකම් කප්පාදු වෙලා. ලබාදුන් යම් යම් දීමනා… ගමනාගමන පහසුකම් අහෝසි වෙලා. මම ගුවන් විදුලි සංස්ථාවත් සමග දීර්ඝ කාලයක් කටයුතු කරන කෙනෙක්. මෑතකදී ගුවන් විදුලියේ අධිකාරී මහත්මයෙක් මට කියනවා ඔබේ පැමිණීම අපට විශාල ගෞරවයක්. ඒත් අපට ප්‍රවාහන පහසුකම් ලබාදීමේ සහ ගාස්තු ගෙවීමේ අපහසුවක් තිබෙනවා කියල. අද බොහෝ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල ගුණාත්මක තත්ත්වය පිරිහීයාමට ඔවුන් කියන මේ අපහසුව හේතු වෙලා තිබෙනවා.

මේ විදිහේ අවිචාර සමයක් රට තුළ පවතින විට කලාවේ පිරිහීයාම වඩාත් වේගයෙන් සිදුවන දෙයක්. මේ එකවරම සිදු වූ දෙයක් නෙමෙයි. සෑම කලා ක්ෂේත්‍රයක් වෙතම ක්‍රමක්‍රමයෙන් පැතිරී ගොස් දැන් එහි උච්ච අවස්ථාවකට පත් වෙමින් තිබෙනවා. දැන් අපේ රටේ පොත් කියවන පරපුරක් නෑ. තාක්ෂණයට හුරු වූ පිරිසකුයි අද ඉන්නේ. තාක්ෂණය තුළින් හැමදේම ලැබෙන්නෙ නෑ. අධ්‍යාපනය, නිර්මාණය, සංස්කෘතිය, සාහිත්‍යය, නාට්‍ය කලාව වැනි බොහෝ ක්ෂේත්‍ර තුළ මේ බිඳවැටීම පෙනෙන්නට පටන් අරන් තිබෙනවා. වෙනත් භාෂාවකින් පරිවර්තනය කරල අද දරුවන් අතට ලැබෙන පොත් දිහා බලන්න. පරිවර්තනය කළ යුතු පොත් මොනවද කියල උපදෙස් දෙන්න විද්වත් මණ්ඩලයක් අද නෑ. ඒ. පී. ගුණරත්න, මුනිදාස කුමාරතුංග, කේ. ජී. කරුණාතිලක, මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි අය අද නෑ. එවැනි අය උපදින්නෙත් නෑ. අමරදේව, ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර වැනි අය අද නෑ. එවැනි අය උපදින්නෙත් නෑ. විභාග සමත් වුණු උගත්තු නම් ඉන්නව. කලාව පෝෂණය කරන්නට හැකි වාසනා ගුණයක් තිබෙන අය තමයි අපට හිඟ. අද අපේ රටේ ටියුෂන් පංති හරි ජනප්‍රියයි. දරුවො දහස් ගණනින් ඒවට යනව. ඔවුන් විභාගත් සමත් වෙනව. විභාග සමත් වුණා කියල නිර්මාණශීලී අය බිහිවෙන්නෙ නෑ.

මෙවැනි අවිචාර සමයක කලාකරුවකුගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද?

අපේ රටේ අද තිබෙන්නේ තැතිගැණුනු සමාජයක්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ යැයි රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේ ලියූ ගීතයක පද කිහිපයක් මේ වෙලාවෙ මගේ මතකයට එනවා.

අපි මේ ගත කරන්නේ අවිචාර සමයක් වුවත් අප කළ යුත්තේ දුර්මුඛ වීම නොවෙයි. මේ පවතින දුෂ්කරතා මැඬගෙන නිර්මාණකරණයේ නියැලීමයි. කලාකරුවාගේ වගකීම වියයුත්තේ, ඔහුගේ ඉලක්කය විය යුත්තේ නිවැරදි දිශාව වෙත ජන මනස යොමු කිරීමයි. මේ වගේ කාලෙක මම විශ්වාස කරන දෙයක් තමයි, අද අපට උවමනා වෙනවා කලාකරුවන්ගේ සංවිධානයක්. මහා සංගමයක්. දේශපාලකයන්ගේ අතකොළු බවට පත් නොවන සංවිධානයක්. අපේ රටේ මෙවැනි ව්‍යාකූල කාලවකවානුවලදී එවැනි සංවිධාන බිහිවුණා. ගුරුවරුන්ගේ, කලාකරුවන්ගේ, මානව හිතවාදීන්ගේ, යතිවරුන්ගේ එකමුතුවෙන් එවැනි ව්‍යාකූල අවස්ථා ජයගැනීමට හැකිවුණා. අද තිබෙන්නේ නොයෙක් රටවලට, නොයෙක් පුද්ගලයින්ට, නොයෙක් මතවලට ගැතිවීම නිසා රෝගාතුර වූ සමාජයක්. ඒ ගැති භාවයෙන් සමාජය මුදාගන්නට එදා මුනිදාස කුමාරතුංගයන්ට පුළුවන් වුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට පුළුවන් වුණා. සෙනරත් පරණවිතානයන්ට පුළුවන් වුණා. මාර්ටින් වික්‍රමසිංහයන්ට පුළුවන් වුණා. එහෙම නම් අපි මේකට විසඳුම හොයන්නට ඕන එතනින්. ඔවුන්ගේ නිවහල් උදාර චින්තනය යළි මෙහි වගාකිරීමෙන්.

සාකච්ඡා සටහන – පාලිත සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment