අවිය පවර්ප්ලේ කරගෙන ශී‍්‍ර ලංකාව අද එංගලන්තය හමුවෙයි…. පැරදුණොත් අවසන් පූර්ව වරම් අහිමි වෙයි!

923

පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාවේදී පන්දු යැවීමෙන් සහ පිතිහරඹයෙන් එංගලන්ත කණ්ඩායමට පීඩනය එල්ල කර ඔවුන් පරාජය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (01 වෙනිදා) එංගලන්තය හා සාජා පිටියේදී තරග වැදීමට නියමිතය.

අද තරගය පිළිබඳව ඊයේ (31 වෙනිදා) සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ‍්‍රී ලංකා ද`ග පන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ දකුණු අප‍්‍රිකා කණ්ඩායමට එරෙහි තරගයේ ලකුණු 72ක් ලබා ගත් පැතුම් නිශ්ශංක ප‍්‍රකාශ කළහ.

එංගලන්ත කණ්ඩායම මේ වන විට තරගාවලිය තුළදී කිසිදු පීඩනයක් නැතිව තරග ජයග‍්‍රහණය කර ඇති බවත් ඒ ශක්තියම ඔවුන්ගේ දුර්වල ස්ථානය බවට පත් කිරීම වෙනුවෙන් පවර් ප්ලේ අවස්ථාවේදී කඩුල්ලක් දෙකක් දවා ගෙන ඔවුන් වෙත පීඩනය යොමු කිරීම පන්දු යවන්නන්ගේ සැලසුම වී ඇති බවත් මහීෂ් තීක්ෂණ පැවසීය.

පවර්ප්ලේ අවස්ථාවේදී පන්දු යැවීමට තමන් වැඩි කැමැත්තක් දක්වන බවත් එම ඕවර් 6 තුළදී පන්දු යවන්නන්ට කඩුලූ ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බවද තීක්ෂණ ස`දහන් කළේය.

මෙවර පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි වටය යටතේ එංගලන්ත කණ්ඩායම තමන් සහභාගි වූ තරග තුනම ජයග‍්‍රහණය කර ඇති අතර ශ‍්‍රී ලංකාව එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජයට පත් වී ඇත.

පන්දු යවන්නන් පවර්ප්ලේ අවස්ථාවේදී එංගලන්ත පිතිකරුවන් පීඩනයට ලක් කිරීමට ඉලක්ක කරද්දී කුසල් ජනිත් පෙරේරා සහ තමන් දෙදෙනා එම පන්දු වාර 6 තුළදී හැකි පමණි වේගයෙන් ලකුණු රැුස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පවසා සිටියේය.

‘‘කුසල් අයියත් මමත් අද බලන්නේ වේගවත් ආරම්භයක් ගන්නයි. පවර්ප්ලේ අවස්ථාවේදී වේගයෙන් පන්දුවට පහර දීලා පන්දු යවන්නන් පීඩනයට ලක් කර එංගලන්ත කණ්ඩායම වෙත ඒ පීඩනය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.’’

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටය යටතේ සහභාගි වූ තරග 3 දී පවර්ප්ලේ ඕවර් 6 තුළදී පිළිවෙලින් ලකුණු 41ක්, 53ක් සහ 39ක් ලබා ගෙන තිබුණි. පසු ගිය තරගයේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලබා ගත් ලකුණු 72 තමාගේ හොඳම පන්දු වාර 20 – 20 ඉනිම බවද පැතුම් නිශ්ශංක සඳහන් කළේය.

අද තරගය සඳහාද බොහෝ විට පසු ගිය තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායමම යෙදවීමට නියමිතව ඇතැයිද දැන ගන්නට ලැබෙන අතර එහෙත් තවමත් මේ තරගාවලියේදී අවස්ථාවක් නොලත් අකිල ධනංජය, ධනංජය ද සිල්වා, කමඳු මෙන්ඩිස් මෙන්ම තරග කිහිපයකට ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ද අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටිති.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 – 20 තරග 12කදී මේ වන විට එකිනෙකා මුහුණට මුහුණ මුණ ගැසී ඇති අතර ඉන් අවස්ථා 8ක් එංගලන්තය ජය ගෙන ඇති අතර ශ‍්‍රී ලංකාව තරග 4කින් ජය ගෙන තිබේ.

එමෙන්ම පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිවලදී කණ්ඩායම් දෙක අවස්ථා 4කදී එකිනෙකා තරග වැදී ඇති අතර ඉන් තරග 3ක් එංගලන්තය ජය ගෙන තිබෙන අතර ශ‍්‍රී ලංකාව එක් තරගයක් ජය ගෙන ඇත. එමෙන්ම මධ්‍යස්ථ ක‍්‍රීඩාංගණවලදී දෙරට හමු වූ හැම අවස්ථාවකම ජයග‍්‍රහණය හිමි වී තිබෙන්නේ එංගලන්ත කණ්ඩායමටයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව වැඩිම කඩුලූ ලබාගෙන ඇති ක‍්‍රීඩකයා ලෙස කණ්ඩායම තුළ දැනට සිටින දුෂ්මන්ත චමීර කඩුලූ 6ක් දවා ගෙන තිබෙන අතර එංගලන්තය වෙනුවෙන් ක‍්‍රිස් ජෝර්දාන් කඩුලූ 15ක්ද, අඩිල් රෂිඞ් කඩුලූ 7ක්ද දවා ගෙන සිටී.

ජොස් බට්ලර් සහ නායක එයින් මෝගන් ශ‍්‍රී ලංකාවට එරෙහි වැඩිම ලකුණු ලාභියෝ වෙති. ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට නම් ශ‍්‍රී ලංකාව අද තරගය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගය ජයග‍්‍රහණය කිරීම අනිවාර්ය වන අතර එමෙන්ම එංගලන්තය දකුණු අප‍්‍රිකාව සමග තරගයද ජයගත යුතු වේ.

එමෙන්ම දකුණු අප‍්‍රිකාව සහ ඔස්ටේ‍්‍රලියාව බංග්ලාදේශය හමුවේ පරාජය විය යුතු අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ජය ගත යුතු වේ. යම් ලෙසකින් ඔස්ටේ‍්‍රලියාව හා දකුණු අප‍්‍රිකාව ද තරග 3 බැගින් ජය ගත හොත් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩිම කණ්ඩායම අවසන් පූර්ව තරග ස`දහා තෝරා ගනු ලැබෙන බැවින් ශ‍්‍රී ලංකාව අද සහ කොදෙව් තරගය තුළදී ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගයක්ද වාර්තා කළ යුතු වේ.

ශ‍්‍රී ලංකා සංචිතය

පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර.

එංගලන්ත සංචිතය

ජේසන් රෝයි, ජෝස් බට්ලර්, ඬේවිඞ් මලාන්, ජොනී බෙයාස්ටෝ, ඔයින් මෝර්ගන් (නායක), ලියාම් ලිවින්ග්ස්ටෝන්, මොයින් අලී, ක‍්‍රිස් වෝක්ස්, ක‍්‍රිස් ජොර්ඩන්, ආදිල් රෂිඞ්, ටයිමල් මිල්ස්.

කුෂාන් සුබසිංහ සාජා නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment