අවිශ්කට සහ කණ්ඩම්බිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම භාර දෙයි

244

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් තිළිණ කණ්ඩම්බි එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසත් පත් කරමින් නව පුහුණුකරුවන් කීප දෙනකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස මලින්ද වර්ණපුරත්, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සජීව වීරකෝන් ද පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන ද පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ කැපී පෙනෙන දස්කම් දැක්වූ පුහුණුකරුවන් කිහිප දෙනකු මෙලෙස ලංකා ‘ඒ’ කණ්ඩායම, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම්වල පුහුණු කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීමට පියවර ගෙන ඇත.

අවිශ්ක ගුණවර්ධන මීට පෙර ද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය යටතේ කටයුතු කර ඇති අතර තිළිණ කණ්ඩම්බි ලංකා ප්‍රිමියර් ලීග් ශූරතා දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේ නැඟී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත.

වයස 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු වමත් පිතිකරු ජෙහාන් මුබාරක් පත්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ නව පුහුණුකරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායම් හිටපු ප්‍රධාන පුහුණුකරුවකු වූ ඇන්ටන් රූක්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කර ඇති රූක්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට පත් වීමට පෙර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සහය පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින්ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

අවිශ්ක ගුණවර්ධන – ප්‍රධාන පුහුණුකරු, තිළිණ කණ්ඩම්බි – සහාය පුහුණුකරු, මලින්ද වර්ණපුර – පිතිකරණ පුහුණුකරු, සජීව වීරකෝන් – පන්දු යැවීමේ පුහුණුකරු, උපුල් චන්දන – පන්දු රැකීමේ පුහුණුකරු

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම

රුවන් කල්පගේ – ප්‍රධාන පුහුණුකරු, රුවින් පීරිස් – සහාය පුහුණුකරු, දර්ශන ගමගේ – පන්දු යැවීමේ පුහුණුකරු, ධම්මික සුදර්ශන – පිතිකරණ පුහුණුකරු

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම

ජෙහාන් මුබාරක් – ප්‍රධාන පුහුණුකරු, සම්පත් පෙරේරා – සහාය පුහුණුකරු / පිතිකරණ පුහුණුකරු, චමිල ගමගේ – පන්දු යැවීමේ පුහුණුකරු, ගයාන් විජේකෝන් පන්දු රැකීමේ පුහුණුකරු

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment