අවුරුද්දක බඩු මාස හතෙන් ඇවිල්ලා… සීමා වැටෙන්න පෙර ඇති තරම් භාණ්ඩ ගෙනල්ලා

342

2020 වසරේදි ආනයනය කළ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ප‍්‍රමාණයට ආසන්න ප‍්‍රමාණයක් මෙම වසරේ (2021) පළමු මාස හතේදී ආනයනය කර ඇතැයි ආනයන වියදම් පරීක්‍ෂා කිරීමේදී හෙළි වී ඇත. ඒ අනුව මෙම වසරේ පළමු මාස 04 තුළ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයන වියදම් ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව විසින් සියයට සියයක මුදල් තැන්පතු අවශ්‍යතා නියම කළ භාණ්ඩ වර්ග 623ක ප‍්‍රමාණය ආනයනය කිරීම සඳහා ගිය වර්ෂයේ (2020) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 871.2ක් වැය වී ඇති අතර එම භාණ්ඩ වර්ග මේ වසරේ (2021) පළමු මාස හතට ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 753.4ක් වැය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.

දැඩි ආනයන සීමා පැවතියදීත් අදාළ භාණ්ඩ ආනයනය කිරීම මෙසේ වැඩි වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරය ඉදිරියේදී තවදුරටත් වැඩිවනු ඇතැයි අපේක්‍ෂාවෙන් බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ වසරේ (2021) ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී ජංගම දුරකථන ඇතුළු විදුලි සංදේශ උපකරණ ගෙන්වීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 250.3ක් ද, ගෘහ උපකරණ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 160.6ක් ද, රෙදිපිළි සහ උපාංග සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 102.3ක් ද, ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 63.8ක් ද, රබර් ටයර් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40.1ක් ද, වායු සමීකරණ යන්ත‍්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 34.4ක් ද, පලතුරු (ඇපල් සහ දොඩම් ඇතුළුව) ඇමෙරිකානු ඩොලර් මිලියන 33.6ක් ද. සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍ය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 19.9ක් ද පාන වර්ග සඳහා (බියර් සහ වයින් ඇතුළු) ඇමෙරිකානු ඩොලර් මිලියන 11.8ක් ද වෙනත් ආහාර හා පාන වර්ග සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 26. ක් ද ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සඳහා (එනම් සංගීත භාණ්ඩ. දුම්කොළ නිෂ්පාදන සහ සෙල්ලම් බඩු හා ලිපිද්‍රව්‍ය වැනි) ඇමෙරිකානු ඩොලර් මිලියන 10.1ක් ද වශයෙන් විදේශ විනිමය වැය වී තිබේ.

මහ බැංකුවේ මේ පියවර සමඟ මෙකී භාණ්ඩ ආනයනය අධෛර්යමත් වීමත් සමඟ මෙම භාණ්ඩවල තොග සැඟවීමෙන් ඒවායේ හිඟයක් ඇතිවීමට සහ ඒ අනුව එම භාණ්ඩවල වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට ද ඉඩ තිබෙන බව වෛළෙඳපොළ ආරංචි මාර්ගවලින් පැවසේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment