අවුරුදු මාරුව අස්සේ සුසිල්ට ඇදුණු ස්වීප් එක…

371

බාධක කම්කටොළු රැසක් මැද්දේ තවත් වසරක් ගෙවී ගොස් නව වසරක් උදා විය. ජනතාව උපේක්ෂා සහගතව අලූත් වසර දෙස බලා සිටියේ මේ වසරේදී වත් රට හමුවේ ඇති බරපතළ ගැටලූ අර්බුද හා අභියෝග විසඳී ජනතාවට යම් සහනයක් දැනෙන කාල පරිච්ෙඡ්දයක් උදා වනු ඇතැයි කියාය.

මේ නිසාම ජනතාවගේ සිත් සතන් ආගම ධර්මය කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වී තිබෙන බව පෙනෙන්නට විය. සාමාන්‍ය ජනතාව පමණක් නොව, අලූත් අවුරුද්ද උදාවන මොහොතේ රට කරවන නායක කාරකාදීන් පවා සිටියේ ආගමික කටයුතුවලට මුල් මුල් තැන දෙමින් විශේෂ පුණ්‍යෝත්සවවල වීම විශේෂත්වයක් විය.

සාමාන්‍යයෙන් නම් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෑම වසරකම දෙසැම්බර් 31 වැනි දා රාත‍්‍රිය ගත කරන්නේ කතරගම කිරිවෙහෙර අභියස ය. අගමැති මහින්ද රාජපක්ෂ පමණක් නොව එම පවුලේ වැඩි දෙනා එදාට කතරගමදී දක්නට ලැබීම එතරම් විශේෂයක් නොවේ.

මෙවර එම පුණ්‍යෝත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම මැතිනිය ද සම්බන්ධ වී සිටියහ. පළමුවෙන්ම 31 වැනිදා හවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර වැඳපුදා ගන්නට ගියේය. එදින හවස කිරි වෙහෙර මළුවේ රටට ජනතාවට ජනාධිපති අගමැති තුමන්ලාට සෙත්පතා විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්විණි. මෙම අවස්ථාව සංවිධානය කළේ කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හාමුදුරුවන් වහන්සේ ය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඞී. වී. චානක, ප‍්‍රදේශයේ දේශපාලනඥයෝ කීපදෙනෙක්, දකුණු ආණ්ඩුකාර විලී ගමගේ, අමාත්‍යංශ ලේකම්වරු හමුදාපතිවරු ඇතුළු ප‍්‍රභූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

එම විශේෂ පුණ්‍යකර්මය අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා සහ එම මැතිනිය එතන සිටි අනිකුත් දේශපාලනඥයින්ගෙන් සමුගෙන පිටත් ව ගියේ කතරගම මහා දේවාලය වෙත යෑමට අවශ්‍ය බව පවසමිනි.

ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රභූ පිරිසට කිරි වෙහෙරේ සිට කතරගම දේවාලය දක්වා වූ දුර යෑමට ඉලෙක්ට්‍රොනික් පන්නයේ රථයක් සූදානම් කර තිබිණි.

කතරගමට එන ලක්ෂ ගණනක් දෙනා මේ ටික පයින් ඇවිදිමින් තමයි යන්නේ. අපි මේක ඇවිදලා ගියෙ නැත්තං කතරගම ඒමෙන් වැඩක් නෑ… ජනාධිපති එසේ කියන විට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ…. මමත් මේ කියන්නමයි හිටියේ යැයි කීවාය.

  • මල්ලියන්ට අවුරුද්දට
    ජනාධිපති තෑගි දීලා

සුදෝ සුදු වැලි තලාව ඔස්සේ වැටී ගිය මාවතේ දෙපයින් ඇවිදිමින් ජනාධිපතිවරයා කිරි වෙහෙරේ සිට කතරගම මහා දේවාලය වෙත එනු දුටු එම මාවත දෙපස මල් වෙළෙඳාමේ යෙදෙන තරුණ තරුණියන් මල් පොකුරු දෝතින් ගෙනවිත් ජනාධිපතිවරයාට දෙන්නට වූහ.

”අපෝ මට මොකටද මෙච්චර මල්… මල් දෝතක් තිබුණාම හොඳටම ඇති. ඔයගොල්ලා ඔක්කෝගෙන්ම මල් ගන්න ගියොත් මට වෙන්නේ මල් ලොරියක් පස්සෙන් අරන් යන්න…

”අපිට සල්ලි එපා සර්… අපෙන් මල් අරගෙන ගිහිල්ලා පූජා කරන්න… යුවතියෝ කෑගසන්නට වූහ….

”හරි හරි….මට ඔයාලගෙන් එක මල මල දෙන්නකෝ… එතකොට හරිනෙ…’

ඒ වුණාට ඒගොල්ලන්ගෙන් නිකම් මල් ගන්න එපා. සල්ලි දෙන්න… කියමින් අයෝමා රාජපක්ෂ මැතිනිය තම අත්බෑගය හැර එය තුළින් මුදල් ගෙන ජනාධිපතිවරයාට දුන්නේය. ජනාධිපතිවරයා සෑම අයෙකුටම රුපියල් දහසේ නෝට්ටුව බැගින් බෙදා දෙනු ලැබීය. එය දුටු අවට කඩවල සිටි සියලූම දෙනා ජනාධිපතිවරයා අභිමුවට දුවගෙන ආහ. එතන යම් පොරකෑමක් ඇතිවී ආරක්ෂක අංශ මැදිහත් විය.

”එහෙම කරන්න එපා. ඒගොල්ලන්ට මං ළඟට එන්න දෙන්න. ඔය විදියට පොදිය පිටින් නැතුව එක්කෙනා පස්සේ එක්කෙනා බැගින් ආවොත් තමයි මටත් පහසු… කියමින් ආරක්ෂක අංශවලට උපදෙස් දුන් ජනාධිපති එසේ ආ සෑම අයෙකුටම රුපියල් දහසේ නෝට්ටුව බැගින් බෙදා දීම ද අහම්බයෙන් සිදු වූ එක් සිද්ධියක් ලෙස කැපී පෙනුණි.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස කතරගම දේවාලය අභියස අෂ්ටඵල බෝධියට පැමිණියහ. බොහෝ අනුහස් ඇති තැනක් යැයි දකුණේ බෞද්ධ ජනතාව විශ්වාස කරන අෂ්ටඵල බෝධීන් වහන්සේ අභිමුව ද විශේෂ ආශිර්වාද පූජාවක් තිබිණි. එයට දක්ෂිණ ලංකාවේ සිටින ප‍්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගි වී සිටියහ. රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කපුගම සරණතිස්ස,

ගැටමාන්නේ ගුණානන්ද, කොබවක ධම්මින්ද ආදී ස්වාමීන් වහන්සේලා ඒ අතර වූහ. මහා පුණ්‍යෝත්සවයෙන් අනතුරුව කතරගම අවට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක වෙසෙන, පිරිවෙන් අධ්‍යාපනය ලබන කුඩා සාමණේර වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ද සිදු විය. මසකට රුපියල් 1000 බැගින් ප‍්‍රදානය කිරීමට හිමිකම්පත් ලබා දුන් මෙම ශිෂ්‍යත්වය ඉදිරියේ දී මුළු දිස්ත‍්‍රික්කය පුරාම ප‍්‍රචලිත කරන බව ජනාධිපතිවරයා කීවේය.

මේ වැඩ කටයුතු අතර නාමල් රාජපක්ෂ සිය බිරිඳ හා පුංචි දරුවා සමග එතැනට පැමිණියේය. නාමල් සහ බිරිඳ ජනාධිපතිවරයාට වැඳ කතාබහ කළහ.

ජනාධිපතිවරයා ඊළඟට ගියේ කතරගම අභිනවාරාමයට ය. විහාරධිපති හිමියන් සමග ද සැලකිය යුතු වෙලාවක් ජනාධිපතිවරයා කතාබහ කරමින් සිටියේ ය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහභාගි වන්නට තීරණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන සර්වරාත‍්‍රික පිරිත් දේශනාව ශ‍්‍රවණය කිරීමටයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත‍්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, ජගත් පුෂ්ප කුමාර දේශපාලනඥයින් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එය සංවිධානය කරන්නට මුල්ව සිටියහ.

  • කතරගම රකින්න
    අමරවීරගේ යෝජනාව

පහුවදා පළවැනිදා උදේ කතරගම අභිනවාරාම විහාරය අසල තවත් විශේෂ උත්සවයක් පැවැත්විණි. ජනාධිපතිවරයා මෙහිදී විශේෂ වාහන දෙකක් කතරගම මහා දේවාලය වෙත පූජා කළේය. එකක් මහා දේවාල බිමේ ඝන අපද්‍රව්‍ය හා කසළ ඉවත් කිරීම සඳහාය. අනෙක පරිසර හිතකාමී සංචාරක රථයකි. කතරගමට පැමිණෙන බැතිමතුන් සඳහා ගමනාගමනය පහසු කරවන ඉලෙක්ට්‍රොනික් රථයකි. මෙම උත්සව අවස්ථාවට චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහින්ද අමරවීර යන මැති ඇමැතිවරු ද පැමිණ සිටියහ.

”මොකක්ද මහින්ද ඔයාගේ ව්‍යාපෘතිය… ජනාධිපතිවරයා මහින්ද අමරවීර ගෙන් විමසා සිටියේය.

”මේ රටේ ගංගාවල්වල ස්වභාවික සෞන්දර්ය සහ පිරිසිදු බව වගේම පරිසරය ආරක්ෂා කරන්න අපි යෝජනා කරපු ව්‍යාපෘතියක් තියෙනවා සුරකිමු ගංගා කියලා… ඒ යටතේ කතරගම මැණික් ගඟ සංවර්ධනය කිරීම අපි ආරම්භ කරනවා. අපි ඒ පැත්තට ගිහිල්ල ම ව්‍යාපෘතිය බලමු සර්…’’

අමරවීරගේ පැහැදිලි කිරීමෙන් පසුව අමුත්තන් සියල්ලෝම අභිනවාරාමයේ සිට ඇවිදගෙන කතරගම මැණික් ගඟ අබියසට යන්නට වූහ.

‘‘අපි ඉස්සර කතරගම ආවම මේ පාලමෙන් නැඟලා ගඟ අතෑරලා යන්නෙ නෑ… ගඟට බැහැලා නාල ගෙඟන් එතෙර වෙලා පේවෙලා තමයි දේවාලෙට ගියේ… අද කවුරුත් හුරු වෙලා තියෙන්නෙ පාලමෙන් යනකොට ගඟ දිහා බලාගෙන යන්න. ඒක නිසා ගඟ අද අපිරිසුදු වෙනවා….”

‘‘ඒක තමයි සර් හේතුව. ගඟත් එක්ක බැතිමතුන්ගේ සම්බන්ධතාවය මගහැරුණට පස්සේ ගඟ ගැන තියෙන සැලකිල්ල නැතිවුණා. ගඟ අපිරිසිදු වුණා. ඒ අපිරිසුදු බව නැති කරලා පරිසරය ලස්සන කරලා ගඟ වඩාත් පිරිසිදු ලස්සන පරිසර පද්ධතියක් බවට පත් කිරීම තමයි කතරගම ‘සුරකිමු ගංගා’ ව්‍යාපෘතියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ….” අමරවීර මහතා පැහැදිලි කිරීමක් කළේය. කතරගම මහා දේවාලයේ දියවඩන නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා ද එහි සිටියේය.

‘‘එහෙම නෙවෙයි…. මිනිස්සුන්ට ගඟත් එක්ක අන්‍යොන්‍ය සම්බන්ධයක් ඇති කරන්න ඕන.”

‘‘ඒක තමයි සර් අපි පාලමෙන් යන්නේ නැතුව මිනිස්සුන්ට ගඟ දිගේ ඇවිදගෙන දෙපතුල් තෙමාගෙන එගොඩවෙලා දේවාලයට යන ආරක්ෂාකාරී මංතීරුවක් හදනවා….”

‘‘ඒක නම් ඉතාම හොඳ වැඩක්….” ජනාධිපතිවරයා අමරවීර ඇමැතිවරයාට ප‍්‍රශංසා කළේය… ජනාධිපතිවරයා පරිසරය සම්බන්ධ වැඩ කටයුතුවලට ඉතාමත්ම දැඩි අවධානයක් යොමු කර සිටියේය… කොබවක ධම්මින්ද හා කපුගම සරණතිස්ස හිමිවරු ද එම අවස්ථාවේ එතන සිටි නිසා ජනාධිපති උන්වහන්සේලා සමග ද මේ පරිසර ව්‍යාපෘතියේ වටිනාකම ගැන විශේෂ කතාබහක් කළේය.

ඉන් පසුව එදින හවස ජනාධිපති කතරගම සිට සිතුල්පව්ව රජමහා විහාරය වෙත ගියේය. මහ කැලේ මැදින් සිතුල්පව්වට යන
ගමන ඉතා සිත්ගන්නාසුලූ එකක් විය.

යාලට යන්නෙත් මේ පැත්තෙන්… කොහොමටත් අපි මේ යන්නෙ යාල කැලේ මැදින් නේ… ඉතින් සංචාරකයන්ගේ ආකර්ෂණයත් අපිට මේ ආගමික ප‍්‍රවේශය ඔස්සේ ම දියුණු කරන්න පුළුවන්…. සංචාරකයෝ හරි කැමැතියි මේවා මැදින් පුරාණ රජමහා විහාරස්ථාන බලන්න යන්න. එම අවස්ථාවට චමල්, ශෂින්ද්‍ර ඇතුළු තවත් මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගි වී සිටියහ… මුලින්ම රජමහා විහාරයට ප‍්‍රවේශ වන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා නව වාහල්කඩක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ ව්‍යාපෘතියක් ද සිදුවිය.

එම අවස්ථාව චමල්, නාමල්, ශෂී, අමරවීර ඇතුළු ඇමැතිවරුන්ට පැවරූ ජනාධිපතිවරයා සිතුල්පව්ව විහාරස්ථානය වෙත ගියේ එම ස්ථානයේ ද විශේෂ පුණ්‍යකර්මයක් සංවිධානය කර තිබූ නිසාය… ආශිර්වාද පූජාවකින් වැඩ කටයුතු ආරම්භ කෙරිණ. ජනාධිපතිවරයාගේ පූජාභූමි සංවර්ධන වැඩසටහන යටතේ සිතුල්පව්ව ප‍්‍රදේශයේ විහාරස්ථාන රැසක් කෙරෙහි අවධානය යොමු වී තිබුණත් ඒ බොහෝ විහාරස්ථානවලට පූජා භූමියක් ලෙස හිමිකමක් තිබුණේ නැත. එදින විහාරස්ථාන ගණනාවකටම එම හිමිකම් ඔප්පු ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගේ මේ සත්ක‍්‍රියාව මහා සංඝරත්නයේ නොමඳ ප‍්‍රසාදයට ලක්විය. විශේෂයෙන් පුණ්‍යානුමෝදනාවක් කළ මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා මේ කරගෙන යන උතුම් වූ වැඩපිළිවෙළ ගැන මහත් ප‍්‍රසාදයෙන් යුතුව කථා කරමින් අවවාදාත්මක දේශනාවක් කළේ ඒවාට යම් යම් බාධාවන් ඇති කරන දේශපාලන කල්ලි කණ්ඩායම් වෙතය.

‘‘ජනාධිපතිතුමා කරන සමහර දේවල්වල ප‍්‍රතිඵල ලැබෙන්නේ අද නෙවෙයි… ඒවයි ප‍්‍රතිඵල එන්න තව අවුරුදු විස්සක් විතර යාවි. එතකන් එතුමන්ගේ කකුලෙන් අදින්නේ නැතිව එතුමට ඒව කරගෙන යන්න ඉඩ දීලා උදව් කරන එක තමයි අපි හැමෝගෙම පරම යුතුකම විය යුත්තේ… පටු දේශපාලන වාසි ප‍්‍රයෝජන තකා ඒවාට විරුද්ධව කටයුතු කිරීම් අපි අනුමත කරන්නේ නැහැ…” උන් වහන්සේ දේශනා කළහ.

  • සජිත් කියපු දේවල්
    ආණ්ඩුව ඇහුවේ නෑලූ
අවුරුදු මාරුව අස්සේ සුසිල්ට ඇදුණු ස්වීප් එක…

සජිත් පසුගියදා හම්බන්තොට කටයුතු අවසන් කර ගියේ උතුරු නැගෙනහිර පළාත්වලටය. සක්වළ වැඩසටහන පාසල්වලට ගෙන යෑමත්, සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන රෝහල්වලට ගෙන යෑමටත්, ගම් මට්ටමින් සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමේ වැඩසටහනටත් ය.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පාසලකට පරිගණක උපකරණ ලබාදෙමින් සජිත් උතුරු නැගෙනහිර තමන්ගේ වැඩසටහන ආරම්භ කළේය.

‘මේ දශකය ඩිජිටල් තාක්ෂණය සමග යන දශකයක්. ඔබතුමා මේ වගේ වැඩසටහනක් තෝරා ගැනීම ගැන ස්තුතිවන්ත වෙනවා’ පාසල්වල විදුහල්පතිවරු සජිත්ට ස්තුති කළහ.

ඉන් පසුව පක්ෂ කාර්යාල විවෘත කිරීමටත්, ගොවි උද්ඝෝෂණවලටත් සජිත් සහභාගි විය.

‘‘කූඹියෝ වුණත් අවදානම් වෙලාවට ගන්න කෑම රැස් කරනවා. මේ වෙලාවේ රටට බත දෙන්න ඉන්න ගොවියා නැති කරලා. තවත් මාසයක් විතර යනවිට ගොවියාට ගහපු ගැහිල්ල තේරේවි සර්’ ගොවියෝ පැවසූහ.

‘‘ඔබතුමා මුල ඉඳලම ආණ්ඩුව ගත්ත කඩිනම් තීරණය ගැන විරෝධය දැක්වූවා. ඒත් ඔබතුමා කියපු දේවල් ආණ්ඩුව ඇහුවේ නෑ’’ තවත් ගොවියෙක් කීවේය.

‘‘ ඕනම තීරණයක් ගත යුතු වෙලාවේදී ගන්න ඕන. ඒ වගේම හරි තීරණය ගන්න ඕන. එහෙම නැතිව අත්තනෝමතික තීරණ ගැනීම නිසා තමයි මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. මේ තීන්දු ගනිපු මිනිස්සුන්ට අලාභයක් වෙලා නෑ. ඒත් රටට විශාල අලාභයක්, හානියක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බලය ගන්නකොට නම් ජාතික ආරක්ෂාව අංක එක, කාටවත් බය නැති නිර්භීත රටක් හදනවා කියලා කිව්වා. හැබැයි අන්තිමට අසූචි නැවක් ඉස්සරහ දණ ගහන්න සිදුවුණා’ සජිත් කීවේය.

ත‍්‍රිකුණාමලයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සජිත් ගිය අවස්ථාවේදී පොදුජන පෙරමුණු ක‍්‍රියාකාරීන් පිරිසක් පැමිණියේ සමගි ජන බලවේගයට එක්වීමටය.

‘අපිට පොහොට්ටුවට ඡන්දය දුන්න අත කපාගන්න වෙලා තියෙන්නේ. පොහොට්ටුවට ඡන්දේ දීලා අපි මහා විනාශයක් කරගත්තේ’ සමගි ජන බලවේගයට සහාය ලබාදීමට සූදානම් බව කී එම පිරිස පැවසුහ.

”මැෂින් තියෙනකම් සල්ලි අච්චු ගහලා ඕන කෙනෙක්ට සහන දෙන්න පුළුවන්නේ. මේවා සහන නෙමෙයි, මේවා සහගහණ වැඩ’’ තවත් අයෙක් පැවසූහ.

”මේ අයට සහන පැකේජයක් නෙමෙයි අසහන පැකේජයක් දීලා තියෙන්නේ’’ සජිත් කීහ.

කින්නියාවල පාලම් පාරුවෙන් ජීවිතය අහිමි වූ පවුල්වල අයට සහන ලබාදීම සඳහා සජිත් ගියේ ත‍්‍රිකුණාමලයේ සිටියදීය. ඉම්රාන් මහරුෆ් මන්ත‍්‍රීවරයා මෙය සංවිධානය කර තිබුණේය.

”පාලම හදනවා කියලා ආණ්ඩුවේ අය කිව්වට මේක හදනවාද කියලා ඇවිත් බලන්න කියලා මම ආණ්ඩුවේ අයට කියනවා. මේක විසි වැනි සංශෝධනයේ පාලමක්’ සජිත් කීය.

”ලබන 18 වැනිදා වන විට අවසන් ඩොලර් ටිකත් දාලා ණය ගෙවන්න වෙනවා. සහන පැකේජ් සියල්ලම බොරු බවට පත්වෙනවා. සමගි ජන බලවේගය මේ රට ගොඩ නැගීමට ගන්නේ අල්ලස දූෂණය නැති කරලා. දූෂණයක් නැති රටක් ගොඩ නැගීම තමයි අපේ ප‍්‍රමුඛ වගකීම වෙන්නේ. ලංකාව ගොඩ නගන්න බැරි දූෂණය වංචාව නිසා. පවුලේ කණ්ඩායම එකතුවෙලා ලංකාව මිනී පෙට්ටියකට දාලා ඇණ ගහලා. මොල හතානෝ පිටරටට ගිහින් මල් ශාලාවක් හොයනවා. කබ්රාල් මිනී පෙට්ටිය කනත්තට ගෙනියන්න පාර සුද්ද කරනවා. ඇමැතිවරු එකතුවෙලා අවමංගල උත්සවයේ කතාවලට සූදානම් වෙනවා. මේක තමයි දැන් ආණ්ඩුව එකතුවෙලා කරන දේ. මම ඔබෙන් අහන්නේ මේ විදියට කට්ටිය එකතුවෙලා මේ රට මිනී පෙට්ටියට දාලා ආදාහනය කරනකම් බලාගෙන ඉන්න පුළුවන්ද කියන එකයි’ සජිත් කීවේ රාජපක්ෂ පවුලට ටොක්කක් අනිමිනි.

  • කෝට්ටේ පාර්ශ්වයෙන්
    ජනාධිපතිට ගෞරව නාම

පසුගිය දෙවැනිදා ජනාධිපති විශේෂ උත්සවයක් සඳහා කෝට්ටේ ශ‍්‍රී රජමහා විහාරයට ගියේය. ඒ කෝට්ටේ කල්‍යාණි ශ‍්‍රී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ආරාධනයකින් එම සංඝ සභාව විසින් අභිනවයෙන් ලබාදෙන සම්මානයක් භාර ගන්නට ය. කෝට්ටේ ශ‍්‍රී රජ මහා විහාරයේ මංගල උපෝෂථාගාරයේ මෙම උත්සවය පැවැත්විණි. කෝට්ටේ කල්‍යාණි ශ‍්‍රී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ නායක ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් ඇතුළු කාරක සභාවේ මහ නාහිමිවරු 55දෙනාම තීරණය කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ කරගෙන යන ආගමික ශාසනික හා ජාතික වැඩපිළිවෙළ හමුවේ ශ‍්‍රී ලංකා දීපණ පද්ම විභූෂණ සම්මානය ලබා දෙන්නටය.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු ඇමැතිවරු පිරිසක් පැමිණ සිටියහ. ජනාධිපතිවරයා මෙම සම්මානයෙන් පුද දෙන්නට තම සංඝ සභාව තීරණය කළේ මන්දැයි පැහැදිලි කරමින් ගොඩපිටියේ රාහුල හිමියෝ දීර්ඝ අනුශාසනාවක් පැවැත්වූහ.

  • අවුරුදු මාරුවේ
    සුසිල් අමාරුවේ

සුසිල් පේ‍්‍රම්ජයන්ත යනු පසුගිය සතියේ අපේ රටේ දේශපාලන කතිකාව තුළ මහත් ආන්දෝලනයක්ක් ඇති කළ චරිතයක් විය. ඔහු රජයේ සහ රජය කරගෙන යන වැඩපිළිවෙළ ගැන අවස්ථා කිහිපයකදීම දැඩි විවේචන එල්ල කරන අයුරු අපට මතකය. පසුගිය සතියේත් ඊට පෙර සතිවලත් පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් සුසිල් පළ කළ යම් යම් අදහස් රජයට හා රජය කරවන නායකකාරකාදීන්ට එතරම් යහපත් වූයේ නැත. මේ නිසා මුළුමහත් පාර්ලිමේන්තුවේම ඇතැම් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු සිටියේ සුසිල් සම්බන්ධයෙන් දැඩි විවේචනයක ය. එහෙත් සුසිල් ගේ කතා නිහඬව අනුමත කරමින් බලා සිටින පිරිසක් ද වූහ. ඒ මෙම ආණ්ඩුව තුළ සිටින පරිණත වාමවාදී දේශපාලනඥයෝ ය.

අවුරුදු උදා වූ සති අන්තයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කතරගම ගොස් විවිධ පුණ්‍යකර්ම වලට සහභාගී වෙමින් සිටියදී සුසිල් පේ‍්‍රමජයන්ත සුපුරුදු පරිදි දෙල්කඳ පොළට ගියේය.

සාමාන්‍යයෙන් පොළේදී නොයෙකුත් පුද්ගලයන්, ජනතාව හා වෙළෙඳුන් සමග ද යම් යම් අදහස් හුවමාරු කර ගැනීම ඔහුගේ සිරිතයි. පසුගිය දෙවැනි ඉරිදා පොළේ දී මෙසේ සාමාන්‍ය ජනතාව සමග කතාබහක කරමින් සිටින විට මාධ්‍යවේදියෙක් ඒ අතර සිට සුසිල්ට මයික‍්‍රෆෝනයක් යොමු කළේය.

ඔහු ඒ වෙලාවේ රජය හා නායකයා සම්බන්ධයෙන් ඔහුගේ තිබෙන නොමනාපය ලෝබ නැතිව මාධ්‍ය හමුවේ කියා පෑවේය. ජනාධිපති තුමන්ගේ කණ්ඩායමක් සමඟින් හිතුවක්කාර ලෙස යම් යම් තීන්දු ගනිමින් වැඩ කිරීම, ඒවා ගැන කතා බහ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් අවස්ථාවක් ඇමැතිවරුන්ට ලබා නොදීම, රජයේ ඉදිරි කටයුතු ගැන කතාබහ කර තීන්දු තීරණ ගැනීම සඳහා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් නොපැවැත්වීම, රටේ අනාගත අභිවෘද්ධිය හා පැවැත්ම ගැන වගකීම් විරහිතව කටයුතු කිරීම් වැනි කාරණා ගණනාවක් ගැන සුසිල් ඉතා දැඩි විවේචනයක සිටියේය.

‘‘ඇයි මේ බඩු මිල වැඩි….?”

‘‘රජය ගත්ත විවිධ තීන්දු තීරණ නිසා පොහොර ප‍්‍රශ්නයක් මත අස්වැන්න අඩු වෙලා. ඵලදාව අඩුයි ඉල්ලූම් වැඩියි… එතකොට මිල වැඩි වෙන්වා…”

‘‘ඇමැතිවරු ෆේල් කියලා සමහරු කියනවා…. ඇත්තටම පාස්ද ෆේල්ද…?”

‘‘පාස් නම් මෙහෙම දේවල් වෙන්නෙ නෑනෙ… ඇමැතිවරු නෙවෙයි, වැඩපිළිවෙළ ෆේල්…”

දෙල්කඳ පොළ කොහොමටත් සංවාදශීලී මිනිසුන්ගේ තෝතැන්නකි. ඔහුගේ කතාවට එතැනට සෙනග එක් වූහ. ඇතැමුන් සුසිල්ගේ කතාව අනුමත කිරීම හා පැසසීම නිසා ඔහු තව තවත් උනන්දු විය. බජාර් භාෂාවෙන් කියන්නේ නම් සුසිල් තව තවත් චූන් විය. අවසානයේ ඔහුගේ කටින් බොහෝ දේ කියවෙන්නට විය.

ඉන්පසුව ඔහු එතන සිටි ස්විප් වෙළෙන්දෙකුගෙන් ස්විප් ටිකට් පතක් මිලදී ගත්තේය.

‘‘ඇයි ඔබතුමා වගේ කෙනෙක් ස්විප් ගන්නේ….?”

‘‘අපිට කොයින්ද ළමයො සල්ලි… මම ස්විප් ගන්නෙ කවද හරි වාසනාව තියෙනවා නම් ඇදේවි කියලා විශ්වාසයට…”

සුසිල් මෙසේ පළ කළ අදහස් එදින රාත‍්‍රියේ රූපවාහිනි ප‍්‍රවෘත්ති විකාශයන්වල මුල්තැනක් දී පළ කර තිබිණි. සුසිල්ගේ මේ අදහස් දැක්වීම රජයේ සමහර මන්ත‍්‍රීවරුන්ට රස මසවුළක් මෙන් රසවත් විය. සුසිල් ආණ්ඩුව විවේචනය කරමින් නොහොබිනා කතාවක් කරන්නේ යැයි කියා ඔවුන්ට පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙන්නට පටන් ගත්තේය.

සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්විණි. එහිදී සුසිල්ගේ මෙම කතාබහ ගැන ඇමැතිවරු අතර අදහස් හුවමාරු විය. සමහරු සුසිල්ගේ කතාව විවේචනය කරමින් ජනාධිපතිවරයාට කරුණු කීහ.

‘එයා කොහොමද මේ විදිහට ආණ්ඩුව විවේචනය කරන්නේ. ආණ්ඩුව ඇතුළේ ඉඳගෙනම වරප‍්‍රසාද භුක්ති විඳගෙන ම දැන් ආණ්ඩුව විවේචනය කරන එක මෝස්තරයක් වෙලා…. ඒක බෝවන රෝගයක්…”

‘ජනාධිපතිතුමනි…. මේ වෙලාවේ නිහඬව ඉන්න එපා. මේකට විරුද්ධව වහාම පියවරක් ගන්න. ආණ්ඩුවේ තීරණවලට නඩු දාපු ඇමැතිවරු ඉන්නවා. ඒ ගොල්ල ගැන කල්තියා තීන්දුවක් ගත්තා නම් මේ වගේ ප‍්‍රශ්න නැවත නැවතත් මතු වෙන්නේ නෑ. මේ වෙලාවේ නම් බලන් ඉන්න එපා… සමහර ඇමැතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළේ ය. ඒ අතර ප‍්‍රබල හඬක් නැගුවේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා ය.

ඒ කීවා සේම අඟහරුවාදා වන විට ජනාධිපතිවරවරයා තීන්දුවක් ගත්තේය. සුසිල් පේ‍්‍රම්ජයන්ත රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන්නට ලියුම අත්සන් කෙරිණි. සුසිල් පේ‍්‍රම්ජයන්තගේ අස් කිරීමත් සමඟම දේශපාලන කරළිය තක්බීර් වී ගියේය. බොහෝ දෙනා සලිත වූහ.

මේ අතර සුපුරුදු පරිදි රජයේ පසුපෙළ මන්ත‍්‍රීවරු අවදි විය. ඔවුන් ද විවිධ අවස්ථාවල ජනමාධ්‍යවල ඉඩකඩ ගනිමින් සුසිල්ගේ පට්ට පතුරු යවන්නට වූහ… තිස්ස කුට්ටිආරච්චි ඒ අතර ප‍්‍රධානියා විය. ඒ අතර ඔහු තමන්ට වාර්තා වූ බුද්ධි අංශ තොරතුරු පවා එළිදරව් හැර පාමින් කරුණු කීවේ මෙසේය.

‘‘සුසිල් පේ‍්‍රමජයන්තලා ඔයිට වඩා කුමන්ත‍්‍රණ කරලා තියෙනවා. ඒව දැන් බුද්ධි අංශ තොරතුරු ඔස්සේ හෙළිදරව් වෙනවා…”

තිස්ස කුට්ටිආරච්චි එසේ කියන විට ඊට සුසිල් පේ‍්‍රමජයන්ත ද මෙසේ පිළිතුරු දුන්නේය.

‘‘මං දන්නෙ නෑනෙ ඒ ගොල්ල බුද්ධි අංශයේ කියලා… එක්කෝ මේ මනුස්සයා බුද්ධි අංශ වැඩ කරනවා. එහෙම නැත්තං බුද්ධි අංශය මෙයාට තොරතුරු වාර්තා කරලා කියනවා. රටේ බුද්ධි අංශය එහෙමනං එහෙම බුද්ධි අංශයක් රටකට මොකටද…”

ඒ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුසිල් පේ‍්‍රමජයන්තට කතා කළේය.

‘‘අනේ සුසිල්…. මම නම් මේ ගැන මොනවත් දැනගෙන හිටියේ නෑ… මට මේ ශිරන්ති තමයි ප‍්‍රවෘත්තිය කිව්වේ… මේ දේවල් ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා…”

‘‘අපි කළු කෝට් අඳින මිනිස්සුනේ සර්…. ඇමැතිකම් නැතිවුණා කියලා අපිට අපේ රස්සාව නැති වෙන්නේ නෑ… ඒක නාමල් පවා දන්නවා…” සුසිල් කීවේය.

  • හොඳ සංචාරකයෝ ගේන්න
    expore 2022 උදව් වේවි
අවුරුදු මාරුව අස්සේ සුසිල්ට ඇදුණු ස්වීප් එක…

පසුගිය සති අන්තයේ ඔය අලකලංචි අතරේ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, මධුර විතානගේ මැති ඇමැතිවරු හා නිලධාරීන් සමග මාධ්‍ය කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියේ ලෝකයේ රටවල් අතර කර්මාන්ත ප‍්‍රවර්ධනයේ මහ ඉහළ පෙරළියක් කරන එක්ස්පෝ 2022 ප‍්‍රදර්ශනයට සහභාගිවීම සඳහාය.

ලොව රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිය රටවල අනන්‍යතාවය, කලාව සංස්කෘතිය, දේශීය කලා ශිල්ප හා කර්මාන්ත, සොබාව සෞන්දර්ය හා සංචාරක වත්කම්, පාරිසරික සුන්දරත්වය හා සංචාරක කලාප, වෙද හෙදකම් හා ඇදහිලි විශ්වාස ආදී නොයෙකුත් වටිනාකම් ඒ ඒ රටවල ආර්ථිකය සංවර්ධනය කරන ආකාරය ලොවට පෙන්වා දෙයි. මෙය අපේ රටේ ද දේශීය කර්මාන්ත ඉලක්ක හා සංචාරක කර්මාන්තයේ ඉලක්ක සපුරා ගැනීමට හැකි අනර්ඝ අවස්ථාවක් ලෙස සැලකිල්ලට ලක්විය. එක්ස්පෝ රටක වටිනාකම ලොව හමුවේ විදහාපාන සුවිසල් අවස්ථාවක් ලෙස හැඳින්විණ.

ඉකුත් 3 වෙනිදා ශ‍්‍රී ලංකාව සඳහා වෙන් වුණු දිනය විය. විදේශ ඇමැතිවරයා හා සංචාරක ඇමැතිවරයා සහභාගි වී සිටියේ එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අහමද් අලි සයික් මහතාද මෙම උත්සවයට සහභාගි විය. ප‍්‍රදර්ශනයේ උත්සව අවස්ථාව චන්න උපුලි රංගායතනයේ නැටුම් ගැයුම්වලින් වර්ණවත් විය. උත්සවයේ වටිනාකම ගැන දෙරටේ ඇමැතිවරු අදහස් දක්වනු ලැබූහ.

අවුරුදු හතළිහකට අධික කාලයක් තිස්සේ දෙරට අතර පවතින සබඳතා තවදුරටත් මෙවන් ප‍්‍රදර්ශනය තුළින් වර්ධනය වෙමින් ශ‍්‍රී ලංකාවට ලෝකයා හමුවේ තම හැකියාවන් විදහා පෑමට අවස්ථාවක් ලබාදෙන හොඳ වේදිකාවක් ලෙස දෙරටේ ඇමැතිවරු මෙම එක්ස්පෝ දර්ශනය හඳුන්වා දුන්හ. තේ මණ්ඩලයේත් ශ‍්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේත් ලක්සල ආයතනයෙත් ප‍්‍රදර්ශන කුටි මෙම ප‍්‍රදර්ශනයේ දී ශ‍්‍රී ලංකාව නියෝජනය කළහ.

එදින රාත‍්‍රියේ ආරාධිත අමුත්තන් හා මාධ්‍ය කණ්ඩායම වෙනුවෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න මහතාගේ නිවසේ පවත්වනු ලැබූහ. එහිදී අමාත්‍ය ජී. එල්., අමාත්‍ය ප‍්‍රසන්න හා මධුර විතානගේ සහ විදේශ ලේකම් මෙම එක්ස්පෝ ප‍්‍රදර්ශනයේ වටිනාකම ගැන ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කණ්ඩායමට ඉතා හොඳින් පැහැදිලි කර දුන්හ.

‘‘අපි අපේ වටිනාකම් ගැන ලෝකෙට කියලා නැහැ… අපි අපේ හැකියාවන් ගැන, අපිට තියෙන්නෙ සම්පත් ගැන, අපේ තියෙන ස්වභාවික සෞන්දර්යය ගැන ලෝකෙට කියලා මදි… ඒ වගේ දේවල් ගැන ලෝකෙට කියලා ලෝකේම ඉන්න ඉහළපෙළේ සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගැනීමට ලැබිච්ච මාහැඟි අවස්ථාවක් තමයි මේ ප‍්‍රදර්ශනය…. මධුර විතානගේ ඉතා පැහැදිලිව කීවේය.

අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද හේරත් සහ විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික ජීවන්දර ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

  • සෝභිත හිමියන් ගැන
    දිනේෂ් කියූ රහසක්

සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පසුගිය බදාදා විශේෂ කටයුත්තක් සඳහා කෝට්ටේ නාග විහාරයට පැමිණියේ, මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමෙන් අනතුරුව ය. මුල්ගල තැබීමේ අවස්ථාවේ පැමිණි සිටි මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට අවස්ථාවක් නොලැබුණද, සිය කතාවේදී, කොළඹ ඉතිහාසයේ, පෘතුග‍්‍රීසින්ට එරෙහි මුල්ලේරියාව සටන ගැනත්, වානේ සංස්ථාව පිහිටුවීමේ අවස්ථාව ගැනත් විශේෂයෙන් සඳහන් කළේය.

එම උත්සව වේදිකාවේදී, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සහ විමල් වීරවංශ අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් එකිනෙකා කතාකරමින් සිටිනුද දක්නට ලැබිණි.

උත්සවය අවසාන වනවාත් සමග ම දිනේෂ්, කඩිමුඩියේ කෝට්ටේ නාග විහාරයට පැමිණීම මාධ්‍ය දැනසිටියේ ද නැත. එහෙත් මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා මෙන්ම ම.එ.පෙ. නායකයන් කිහිප දෙනෙක්ද ඒ වනවිටත් එහි පැමිණ සිටියහ. එහිදී නව සාම විනිසුරු පත්වීම් ලැබූ පිරිසක්ද මුණ ගැසුණු අමාත්‍යවරයා පැමිණ සිටි පාක්ෂිකයන්ට සහ හිතවතුන්ට රහසක් ද හෙළි කළේය.

”දැන් නාග විහාරයේ ඉන්න නිසා මම කියන්නෙ, 1987 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ වෙලාවෙ මේ භූමියෙ වෙච්ච දෙයක්. මේක කියන්න ඇසින් දුටු සාක්ෂියක් අද ජීවතුන් අතර නෑ.”

”ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධ වුණා කියලා, එදා නාරාහේන්පිට අභයාරාමයෙදි, වෙඩි තියලා , තරුණයෝ දෙන්නෙකුත් මරලා, ඒ නායක හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න ආපු පොලිස් අධිකාරිට මම කිව්වා, මේක පන්සලක් සපත්තු ගලවලා එන්න කියලා. ඊට පස්සෙ අත්අඩංගුවට ගන්නෙ නාග විහාරයේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො කියලා කිව්ව නිසා, මම ගීතාංජන ගුණවර්ධනත් එක්ක, නාග විහාරයට ඇවිත්, සෝභිත හාමුදුරුවන්ව මගේ වාහනයේ නග්ගගෙන, ඇඳිරි නීතිය මැද්දෙ, කහතුඩුව විශ්වාසවන්ත පන්සලකට එක්කන් ගියා.”

”කොළඹ ඉතිහාසය කියන කොට, පෘතුගීසි, ලන්දේසි ගැන කියනවා මිසක් මේ සටන් ඉතිහාසය කියන්න කෙනෙක් නෑ, කොළඹ සංවර්ධන කමිටුවෙදි මම මේක අත්දැකලා තියෙනවා.”

කොළඹ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ද වන යදාමිණි ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පැවසීය.

”අද ජීවතුන් අතර නොසිටියත්, අපේ උරුමය රැකගන්නත්, සමාජයට සාධාරණය ගේන්නත් මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙනවා.”

එසේ කී දිනේෂ් මහා සංඝරත්නය ද බැහැ දැක එතැනින් පිටව ගියේය.

  • විපක්ෂයට වාසියට
    විවාදය ඕන රනිල්ටලූ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය බ‍්‍රහස්පතින්දා තම හිතවතුන් වන දේශපාලකයන් පිරිසක් කොළඹ 5 වැනි පටුමගේ සිය නිවසට ගෙන්වා ගත්තේය. ඔවුන් කථාබහ කළේ අලූත් අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු ප‍්‍රවර්ධනය කරන ආකාරය ගැනය. ඒ අතර වර්තමාන ආණ්ඩුව හා රට වැටී තිබෙන අර්බුදය ගැන ද කතා බහ කරන්නට ඔවුන් අමතක කළේ නැත.

”ජනාධිපතිගේ කතාවට, කල් තැබීමේ විවාදයක් ඉල්ලලා නායකතුමා ලියුමක් යැව්වාට පස්සේ ඒ රාජකාරිය කලින්ම කරන්න බැරි වෙච්ච කණ්ඩායම් දැන් මේ ඉල්ලීම වෙන තැනකට ගෙනි යන්න හදනවා.” රංගේ තමන්ට ලද තොරතුරක් හෙළි කළේය.

”එයාලා කියන්නේ ආණ්ඩුවේ උවමනාවට කරන්න හදනවා කියලායි. නමුත් නායකතුමා එදා විපක්ෂ නායක වෙලා ඉන්නකොටත් සැසිවාරය අවසන් කරපු වෙලාවල්වලදී මෙහෙම ලියුම් යවලා තියෙනවා කියලා ඒ අය දන්නේ නැහැනේ.” වජිර කීවේ සිනාසෙමිනි.

”මම මේ ලියුම යැව්වේ කාගෙවත් උවමනාවට හෝ කාවවත් අපහසුතාවයට පත් කරන්න නොවෙයි. ඉක්මනින් විවාදය ගන්නයි මට ඕන වුණේ. විවාදය ඉක්මනින් ගන්න එකේ වාසිය විපක්ෂයට මිසක් ආණ්ඩුවට නොවෙයි. මොකද ආණ්ඩුව තමන්ගේ සතියේ වැඩසටහන් සැලසුම් කරලා ඉදිරිපත් කළොත් අපිට කලින් මේ විවාදය ගන්න බැරි වෙනවා. උණුසුම ගියාට පස්සේ විවාදයක් අරන් වැඩක් නැහැනේ.” නායකයා කීවේ උපේක්ෂාවෙනි.

”මේක දැම්මේ ඡන්දයක් ඉල්ලලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කියලා තමයි ආණ්ඩුව පැත්තේ නම් කතාව තියෙන්නේ.” රුවන් තමන්ට ලද තොරතුරක් හෙළි කළේ එලෙසිනි.

”බැසිල් රාජපක්ෂගේ සහන මල්ල ගැන දැනගත්ත ගමන් ජනතාව අහන්නේ ඉස්සරහට ඡන්දයක් එනවද කියලායි. ඒ තරම්ම ජනතාවට ආණ්ඩුව විශ්වාස නෑ.” සංදිත් සමරසිංහ කීවේ සිනාසෙමිනි.

”රුපියල් ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි ඩොලර් නම් නෑ. රාජ්‍ය සේවකයෝ කියන්නේ බුද්ධිමත් පිරිසක් නේ. ඔවුන් දන්නවා මේ කරන්නේ රුපියල් 5000 ක් උඩ සාක්කුවට දාලා රුපියල් 10000 ක් යට සාක්කුවෙන් පොකට් ගහන්න කියලා.” රුවන් ද කතාවට එකතු විය.

”මෙහෙම මුදල් අච්චු ගැහුවාම උද්ධමනය වැඩි වෙනවා කියලා රටම දන්නවා. ඒ නිසා මේ 5000 වැඩි කිරීම ඇස් බැන්දුමක්” සාගල දැරුවේ එවන් මතයකි.

පිරිස තවදුරටත් ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි විකිණීම, කොරෝනා අර්බුදය හා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් අතර පවතින අර්බුදයන් ගැනද දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කළහ.

සමගි ජන බලවේගයේ මාධ්‍ය කමිටුව මීට සති කිහිපයකට පෙර තීරණය කර තිබුණේ රටේ ආර්ථික අර්බුදයට සමගි ජනබලවේගයේ විසඳුම් ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමටය. ඒ අනුව ආර්ථික ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හරහා සෑම සතියකදීම අදාළ ආර්ථික විසඳුම් ජනතාවට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් මාධ්‍ය කමිටුව මගින් සකස් කළේය.

ආර්ථිකය ගැන කරුණු දැක්වීමේ වගකීම පැවරුණේ හර්ෂ, කබීර්ට සහ ඉරාන්ටය. ඒ අනුව පසුගිය බදාදා සිට සෑම බදාදාවකම ආර්ථික විසඳුම් ගෙන එන ප‍්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය. එම සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේදී විපක්ෂ නායක කාර්යාලයේ ඉහළ මාලයේ මාධ්‍ය කමිටුව රැස්විය. ප‍්‍රවෘත්ති සාකච්ඡාව අවසන් කළ මන්ත‍්‍රීවරු තිදෙනා මාධ්‍ය කමිටුව පැවැත්වෙන තැනට ගියේ සාකච්ඡාවේ ප‍්‍රගතිය දැනුම් දීමටය.

”ප‍්‍රවෘත්ති සාකච්ඡාව කරනවා වගේම මාසයකට දවසක් දිස්ත‍්‍රික්ක මට්ටමින් ආර්ථික විසඳුම් ගැන ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වමු’’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කළ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය.

  • ජාතික පාසල් දාහෙන්
    පළමු එක ඌවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ හෙලිකොප්ටර් යානයකින් සිකුරාදා උදේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඈත කෙළවරක පිහිටි සියඹලාණ්ඩුව බලා පිටත්ව ගියේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉතා වැදගත් පියවරක් තබන්නටය. ඒ නම් සියඹලාණ්ඩුව ගමට ජාතික පාසලක් ලබා දෙන්නටය.

ලංකාවේ විශාලතම දිස්ත‍්‍රික්කය වුවත් දැන් මේ වන විට මුළු මොනරාගල දිස්ත‍්‍රික්කයට ජාතික පාසල් ඇත්තේ 9කි. මුළු ලංකාවටම ජාතික පාසල් ඇත්තේ ඇත්තේද 373 කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළ කරන ලද එක් යෝජනාවක් වූයේ ජාතික පාසල් දහසක් දිවයිනේ බිහිකිරීමය. එහෙත් පහුගිය දිනවල තිබූ කොවිඞ් ප‍්‍රශ්න වැනි අභියෝග නිසා ඉලක්කය මඟහැරී ගියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට ඉතා තදින් ජාතික පාසල් වැඩසටහන ලංකාවේ ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය විය. ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජාතික පාසල් 1000 යටතේ ඇති කරන පළමු ජාතික පාසල මොණරාගල සියඹලාණ්ඩුවට ලබා දෙන්නට තීරණය කළේය. සිකුරාදා උදේ සියඹලාණ්ඩුව බලා ජනාධිපතිවරයා පිටත්ව ගියේ ඒ නිසාය. ජාතික පාසලක් බවට දියුණු කරනු ලැබුවේ සියඹලාණ්ඩුව මහා විද්‍යාලයයි.

පාසල විවෘත කිරීමේ උත්සවයට මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියලූම මන්ත‍්‍රීවරු පැමිණ සිටියහ. දිනේෂ් ගුණවර්ධන, විමලවීර දිසානායක පියල් නිශාන්ත, තේනුක විදානගමගේ, ජගත් පුෂ්පකුමාර, තිස්ස කුට්ටිආරච්චි, වියාලේන්ද්‍රන් ඇතුළු කිහිප දෙනෙක්ද විය. බදුල්ලෙ චාමර සම්පත් එතැනට පැමිණියේ තරමක් අපහසුවෙනි… ඔහුගේ එක් පාදයක් ආබාධයකට ලක්ව තිබිණි.

අපේ මහ ඇමැතිතුමා කකුලත් කඩාගෙන වගේ… සහෝදර ඇමැතිවරු විහිළු කළහ…

ඔව් ඔව්… කකුල් කඩාගෙන තමයි අපි මේ ආණ්ඩුව බලයට පත් වන්නේ වැඩ කළේ… චාමර තරමක් නොමනාපයෙන් කීවේය.

හා අර ඉන්නේ වම්බටු ආරච්චියත්…

එසේ කිව්වේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ එක්තරා මන්ත‍්‍රීවරයෙකුට ය… විපක්ෂයේ මන්ත‍්‍රීතුමියකට වම්බොටු මතක් කරමින් කරන ලද අපහාසයක් නිසා ඌවේ මන්ත‍්‍රීවරු දැන් ඔහුට කියන්නේ වම්බටු ආරච්චි කියාය.

උත්සවය ඉතා ඉක්මනින්ම අවසන් විය. ජාතික පාසලක් ලැබීම සම්බන්ධයෙන් මොණරාගල මන්ත‍්‍රීවරු ඉතා සතුටට පත්ව සිටියහ. මොනරාගල සිට අම්පාරට යන තුරු මීට පෙර කිසිදු ජාතික පාසලක් නොවීය.

උත්සවය අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා යළිත් ඉතා ඉක්මනින් කොළඹ බලා පිටත්ව ආවේය.

පසුගිය සතියේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිටියේ තරමක් ලොකු කනස්සල්ලක ය. ඊට හේතුව ආණ්ඩුව ඇතුළේ සිටින පරණ දේශපාලනඥයින් ඉතා දැඩි ලෙස කලකිරීමකට ලක්ව සිටීමයි. ඒ සියලූ ප‍්‍රශ්නවල බර දරන්නට වූයේ අගමැති මහින්දට ය.

සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමඟම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ ගණනාවක්ම අගමැතිවරයාට කතා කළේය.

‘‘මේ යන විදිය නං ඒතරම් හොඳ නෑ අගමැතිතුමා. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු, වැඩ කරපු මිනිස්සු, මේ බලවේග පිහිටුවන්න මුල ඉඳල දරදිය ඇදපු මිනිස්සු අද පැත්තකට වෙලා නිහඬව ඉන්නවා. ඡන්දවලට අනිත් පැත්තට වැඩ කරමින් ඉඳලා මේ ළඟදි මේ පැත්තට පැනපු මිනිස්සු අද ආණ්ඩුව වෙනුවෙන් කතා කරනවා. ආණ්ඩුවේ විවාදයකට ගියත් කරුණු දන්න මිනිස්සු ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න දාන්නෙ නෑ. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අද වාද විවාදවලට දාන්නෙ කුණුහරුප දන්න මිනිස්සු මිසක් කරුණු දන්න මිනිස්සු නෙවෙයි. පහුගිය අයවැයේ දී අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් කතා කරන්න නීතිඥයෙක් කියලා දැම්මෙ එක්කෙනයි. ඒ නාමල් ඇමැතිතුමා විතරයි. කරුණු දන්න නීතිඥයො පැත්තකට වෙලා බලා හිටියා. චූදිතයෝ හැටියට උසාවියට ගිය අය පමණක් විවාදයේ කතා කළා… මෙහෙම ගියොත් කොහොමද අගමැතිතුමා අපි මේ ආණ්ඩුව රැක ගන්නෙ.

නීතිඥයකු වන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් පසුගියදා අගමැතිවරයාට මේ අවනඩු ඔක්කොම කීවේ තමන්ගේ පිලේ තමන්ගේ සමකාලීනයන්ට සිදුව ඇති අකරතැබ්බය මැනවින් විස්තර කරමිනි.

හැමදාමත් මෙවන් කතා හා අවනඩු අසන්නට දකින්නට ලැබෙන නිසා අගමැති මහින්ද රාජපක්ෂ ද විපිළිසරව සිටියේය.

අගමැති මහින්ද රාජපක්ෂ මැදමුලනෙන් කොළඹට ගෙන ආ මහින්ද සුළඟින් ඔහුට ගැලවෙන්නට බැරි විය. විමල්ලාගේ උදයලා ගේ වාසුලා ගේ ප‍්‍රශ්නද කප්පරකි. ඒ ප‍්‍රශ්න සුළඟක් වී පැමිණ මහින්ද මහතාගේ සරල සැහැල්ලූ මානසිකත්වයට ද වධ දෙන්නට පටන්ගෙන තිබිණි.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment