අවුරුදු රබානේ වගතුග

1111

ශී‍්‍ර ලාංකීය ජන සමාජයේ අඛණ්ඩ සංස්කෘතික පැවැත්ම උදෙසා අදාළ වන්නා වූ සාරධර්ම රාශියක් පෝෂණය කරන ප‍්‍රධානතම වැදගත් ජාතික උත්සවය වන්නේ සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයයි. අවුරුදු සමය පිළිබඳ පාරිසරික වෙනස් වීම මුලින්ම දැනුම් දෙන්නේ අවුරුදු කොහාය. දෙවනුව ඉදිරිපත් වන්නේ රබන් සුරල් හඬයි.

වර්තමානයේ රබාන කලඑළි බසිනුයේ අවුරුදු සමයේ පමණක් වුව ද අතීතයේ සිංහල ගැමි සමාජය තුළ එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට එක් වී තිබුණ බව නොරහසකි. එමෙන්ම සිංහල රජ දරුවන්ගේ පාලන සමයේදී රාජකීය උත්සවවලදී රබාන මුල්තැන ගත් වාi භාණ්ඩයක් බවට පත්ව ඇත.

එහෙයින් සිංහල ජන සමාජයේ විශේෂ වාi භාණ්ඩයක් වූ රබානට ඇත්තේ දිගු ඉතිහාසයකි. පොත පතේ හා ජන වහරේ සඳහන් වන ආකාරයට රබානේ උපත දඩයම් යුගය දක්වා දිවේ. වනාන්තරයේදී දඩයම් කරන ලද සතුන්ගේ හම් වියළෙන්නට ගස් පාමුල තබා තිබෙන විට ඒ මතට වැටෙනා ඵල හා අතුවලින් නැඟෙන ශබ්දය පදනම් කොටගෙන රබානේ උපත සිදු වූ බව ජනවහරේ පැවසේ. එපමණක් නොව ‘ආතෝi’ බ‍්‍රාහ්මණයා විසින් පංච තූර්ය නාදය පදනම් කොට ගෙන එහි කෙරුණු නිර්මාණයන් බව ද කියැවේ. එලෙස නිර්මාණය වූ රබාන වයමින් පළමු වරට නර්තනයක් ඉදිරිපත් කොට ඇත්තේ ‘මහා සම්මතා’ රජතුමා ඉදිරියේ යැයි ද මතයක් පවතී. එය පහත සඳහන් කාව්‍යයෙන් වඩාත් තහවුරු වේ.

රිවිකුල මහා සම්මත නරනිඳු හට සෙල්ලම් බලන්ට
විහළු නාටක දන් පඬිදන රැස් කරවා රඟ මඩලට
හරියට තාලම් ගසන්ට වාජ්ජමක් නැතුව උන්ට
සුරිඳුට වැඳ මහත් දුකින් සිටියෝ දෙවිඳුට පෙනෙන්ට

(රබන් උපත)

රබන් වාදනය සඳහා යොදා ගන්නා රබන් වර්ග දෙකකි. මහා රබාන හෙවත් බංකු රබාන හා අත් රබාන වශයෙනි. මහා රබාන බොහෝවිට වාදනය කෙරෙනුයේ සමූහයක් විසිනි. එහෙත් අත් රබාන වාදනය කරනුයේ එක් අයෙක් පමණි. තවද අත් රබාන බොහෝ විට භාවිත කරනුයේ රබන් කරකැවීමේ කි‍්‍රයාවට හෝ විරිඳු ගායනයන් සඳහාය. මහා රබාන ගැහැනු – පිරිමි දෙපක්ෂයම ගායනය සමග වාදනය කෙරේ.

රබන් වාදනය කිරීමේදී පාවිච්චි කරන ලද තාල, සව්දන්, සුරල් හා වන්දමාන රාශියක් තිබේ. තරග රබන් වාදනයේදී සිත් ගන්නා සුලූ රබන් පද වයන ආකාරය කොතෙකුත් අසා ඇත. මෙවැනි රබන් පදවල අලංකාර රසවත් මෙන්ම භාව්‍ය රසයෙන් ද යුක්තය.

තරිකිට තරිකිට තරිකිට කුන්දන්
දිරිකිට කුන්දන් දිරිකිට තරිකිට
කුන්දන් දිරිකිට කුන්දන් තාත්
කුදන් තක් තක් කුන් දත්තා

එමෙන්ම ගම්බද මිනිසා කලාව හැටියට සැලකුවේ ‘ශාස්තී‍්‍රය කම’ නොව කනට ඇහෙන වදන් ඔහුගේ රසස්වාදයට හේතු වූයේය. එලෙස ගෙතුණු රබන් පදයක් මෙලෙස දැක්විය හැකිය.

‘දොන්න බබත්තට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත’

එදා අවුරුද්දට ගම රසවත් කළේ අපේ රබානයි. රබාන ගැමියා විසින් රසවත් කළේ ගමේම උපන් රසවත් දෙයක් තෝරා බේරා ගෙන තැනූ සුරල් පදවලිනි.

‘ගසට පලච්චී විමනා
ගසින් වැටිච්චී විමනා
විමනා කකුද මනා
කුදං මනා දොං කුදමෙනා’

මෙය ද එකල ගමේ වූ ගස් මැද යන්නකුට සිදු වූ ඇබ්බැද්දියක් සිහිකර වන්නෙකි.

සවස් යාමයේ ඉර බැස යන වෙලාවට කොකුන්ගේ නිවහන් බලා පියාසර කරයි. එය ගැමි සුරල් පද නිර්මාණ කරන්නා දකිනුයේ මෙයාකාරවය.

‘කොක්කු දෙදහසක් ඇවිදින් පුත්තලමේ දොයි
එයින් දෙදහසක් ඇවිදින් අතරමඟදී දොයි’

අවුරුදු සමයේ පරිසරයේ පවතිනුයේ අපූරු සුන්දරත්වයකි. ගස්වැල්හි මල් පිපේ. කුරුලූ නාද දසතින් ඇසේ. මෙම පාරිසරික චමත්කාරය රබන් පදයක මෙසේ ගැබ්ව ඇත.

‘තාක්ක තෙයි තෙයි – තාක්ක තෙයි තෙයි
තේක්ක මල් පිපිලා – අන්න බලන් සකි
මෙන්න බලන් සකි – පාරට අතු නැමිලා’

අවුරුදු සමයේ අලූත් ඇඳුම් ගැනීමට විශේෂයෙන් කාන්තාවන් පෙළඹේ. අතීත සමාජයේ ඇඳුම් පැළඳුම් රැගෙන මුස්ලිම් වෙළෙන්දෙක් පැමිණේ. ඒ බැව් රබන් පදවල සඳහන් වනුයේ මෙයාකාරවය.

‘ඉදිං ගොඩ තම්බි – ටිකක් හිටපන්
මටත් රෙදි ගන්ට – ටිකක් හිටපන්’

අතීතයේ පටන් ජන සංගීතය හා බැඳී තිබූ රබන් වාදනය අද ගම්බද ප‍්‍රදේශවලින් පවා ක‍්‍රමයෙන් බැහැර වී යෑම කනගාටුවට කරුණකි.

විනී. ලයනල් ගලහිටියාව

advertistmentadvertistment
advertistmentadvertistment