අවුරුදු හතක් අඩු නැතුව වකුගඩු විකුණූ රටක් !

398

රෝගීනට වකුගඩුත් නෑ සල්ලිත් නෑ!

වකුගඩුව දෙන මිනිහට සල්ලි නෑ!

වකුගඩු විකිණීම නීතියෙන් තහනම්!

ඇඟ කිලිපොළා යන ප්‍රවෘත්ති අහන්නට දකින්නට ලැබුණද රටේ ජනතාව ඉන්නේ නින්දෙන් ඇහැරුණු ගාණටය. සුළු අපරාධයක් සුදුවුණ කලෙකද කවි කොළ ගැසූ රටේ දැන් කිසිවෙකුත් කිසිවක් කතා කරන්නේ නැත. අවට සිදුවන දේ ගැන තැකීමක් නැත. නිවැරදිව කිවහොත් නිර්වින්දනය වන්නට එන්නත් ගැසූ කලෙක මෙන් වෙනදෙයක් වනතුරු ජනතාව බලා සිටින වගක් පෙනෙන්නට තිබේ. එවැනි තත්ත්වයක් තුළ වකුගඩුවක් නොව සර්වාංගයම කාට හෝ විකුණා දැමීමට කිසිවකුත් ගණනකට ගන්නේ නැත.

වකුගඩු ජාවාරම (තේරෙන භාෂාවෙන් කිවහොත් මිනිස් අවයව ජාවාරම) ගැන අප කතා කළ යුත්තේ එවන් පසුබිමකය. අනේ අපොයි! කියන අය වෙනුවට එහෙමද? කියන අය සිටින සමාජයක් අද බිහිව තිබේ. නොවැම්බර් මැද මාසයේ පටන් ගත් වකුගඩු ජාවාරමේ කතාව, දැන් හොඳම හරිය තෙක් පැමිණ තිබේ.

එහෙත් ඇත්තම කතාවනම් මේ ජාවාරමේ සුලමුල තරමක් පැරණි එකක් බවය. කොටින්ම කීවොත් 2015 වර්ෂය දක්වාම ඈතට යන එකකි. එම වර්ෂයේදී නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බවට හෙළිකරගනු ලැබුවේ ඉන්දියානු පොලිසියයි. ඊට පසුව එම වකවානුවේ පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණයකින් පසුව ශ්‍රී ලංකාවේ වකුගඩු ජාවාරම සම්බන්ධ රෝහල් හතරක සහ වෛද්‍යවරුන් හය දෙනෙකුගේ නම් හෙළිකර ගන්නා ලදී. 2016 වර්ෂයේදී වකුගඩු ජාවාරම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව බොහෝ දෙනකුට මෙවර ජාවාරම ගැන තොරතුරු ලැබෙන තෙක් අමතක වී තිබිණි. ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සේවා අධ්‍යක්‍ෂ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත්කර තිබුණි. පුදුමයට කාරණය වන්නේ හිටි හැටියේ එම පරීක්‍ෂණය අතරමඟ නතර වීමය.

● ඉන්දියාවෙන් ආපු ශ්‍රී නිවාස්

වකුගඩු ජාවාරම ආරම්භ වී ඇත්තේ ඉන්දියාව මුල්කරගෙනය. ඉන්දියාවේ මිනිස් අවයව ජාවාරම ගැන අමුතුවෙන් කිසිවකුටත් කියා දෙන්නට අවශ්‍ය නැත. ඒ නිසාම ඉන්දියාවේ පුද්ගලයෙක් මුල් වූ විට ඒ වැඩේ ටක්කෙටම හරියන බව පමණක් සිහිතබා ගත යුතය. ලංකාව වකගඩු ජාවාරමට සම්බන්ධ යැයි ලෝකයට මුල්වරට හෙළිදරව් වන්නේ ශ්‍රී නිවාස් නිසාය.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි බන්පාරා හිල් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වන පොලිසිය ‘පවන් ශ්‍රී නිවාස්’ අත්අඩංගුවට ගත්තේය. ඒ පැමිණිලි කළ කාන්තාව කියා තිබුණේ ශ්‍රී නිවාස් තම ස්වාමියාගේ වකුගඩු බද්ධය වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 34 ක් ලබාගෙන එය වංචා කළ බවය. ශ්‍රී නිවාස් ඒ ගනුදෙනුව ගැන කතාබහ කර තිබුණේ වකුගඩුවක් මිලදී ගැනීම, වකුගඩුව බද්ධ කිරීමේ සැත්කම් ගාස්තු, රෝහල් ගාස්තු, නවාතැන් හා ගුවන් ටිකට්පත් යන සියලුම දේ සඳහාය. එහෙත් ඒ කිසිවක් සිදුවුණේ නැති තැන අදාළ වින්දිතයන් පොලිසි යන්නේය. පොලිසිය අත්අඩංගුවට ගත් ශ්‍රී නිවාස් ගැන විමර්ශනය කරන විට ශ්‍රී ලංකාවද සම්බන්ධ මේ පිළිකුල් සහගත කතාව ගැන හෙළිදරව් විය.

‘ශ්‍රී නිවාස්’ සිය ජාවාරම ආරම්භ කර තිබුණේ සිය වකුගඩුවද විකුණා දමමිනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී නිවාස් වකුගඩු විකිණීම සඳහා අසරණයන් පොළොඹවා ගන්නේ තමන්ද වකුගඩුවක් පරිත්‍යාග කර ඇත්තෙකු බව ප්‍රකාශ කරමිනි. ශ්‍රී ලංකාවේ වකගඩු ජාවාරමෙන් ලැබෙන මුදලින් ඔහු සතයක් ඉතිරි කර තිබුණේ නැත. සියල්ල කැසිනෝ සූදුවට වියදම් කර තිබුණි. 2015 වර්ෂයේදී මේ සිදුවීම් මාලාව හෙළිදරව් වීමෙන් පසු දුර නොගොස් නතර වුණු විමර්ශන කමිටුවෙන්ද පසු බොහෝ දෙනෙක් සිතුවේ වකුගඩු ජාවාරම් සිදුවීම අහවර බවය. එහෙත් නැවත වතාවක් ඒ කතාබහ මතුව ආවේ උතුරුකරයෙනි.

● යාපනයේ තරුණයන් ඉන්දියාවට

යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු උතුරේ දුප්පත් තරුණයන් වකුගඩු විකිණීමට පොළඹවා ජාවාරම්කරුවන් මගින් ඔවුන් කොළඹ පෞද්ගලික රෝහල්වලට සහ ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව වැනි රටවල පුද්ගලික රෝහල්වලටද යවා ඇතැයි එම තොරතුරුවලින් කියැවිණි. එකල එකී වෛද්‍යවරයා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සහ රහස් දැන සිටි සමාජය හඳුන්වා තිබුණේ ‘වකුගඩු හන්ටර්’ යන අන්වර්ථ නාමයෙනි. අදාළ වෛද්‍යවරයා සුදුසු වකුගඩු දායකයන් පරීක්‍ෂා කර කොළඹ සිටින තැරැව්කරුවකුට යොමු කර තිබිණි. අදාළ තැරැව්කරුවා ලංකාවේදී හෝ විදේශයේදී ධනවත් පුද්ගලයන් හට එම වකුගඩුව විකිණීම සිදුකරනු ලැබ තිබිණි. එකල මෙම වකුගඩු පරිත්‍යාග කරන්නට (සැබවින්ම සිදුවන්නේ අවයව කොල්ලයකි.) රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ලබාදී තිබිණි. ‘වකුගඩු හන්ටර්’ වෛද්‍යවරයාට රුපියල් ලක්ෂ 10 – 12 අතර මුදලක් ලබාදී තිබේ. එවකට වකුගඩු රෝගයෙන් පෙළෙන ධනවත් පුද්ගලයන් (දේශීය – විදේශීය) වකුගඩුවක් සඳහා ඩොලර් 122,000 ක් පමණ ලබාදී තිබිණි. කෙසේ හෝ ඉතා කෙටි කාලයක් තුළදී රටේ බොහෝ දෙනෙකුට මේ ජාවාරම අමතකව ගොස් තිබිණි.

තවත් අතකට ජීවිතය දෙන්නට යතිවරුන්, මිනිසුන් සිටි රටේ අවයවයකට මුදලක් නියම වන්නට පටන් ගත්තේ එතැන් සිටය. වර්තමානයේ රාජගිරියේ පිහිටි රෝහල ගැන කියැවෙන කතා බොහොමයක ඇත්තේ රටක් අවමානයට පත්කළ ඒ ඇත්තය. 2016 වර්ෂයේදී අදාළ විමර්ශනයන් හරිහැටි සිදුවූයේ නම් මේ තරම් අලජ්ජි සිදුවීමකට මග පෑදෙන්නේ නැත.

1987 අංක 49 දරන පනතේ 17 වැනි වගන්තියට අනුව වකුගඩුවක් විකිණීම හෝ මිලදී ගැනීම අවුරුදු දෙකකට නොවැඩි සිරදඬුවමක් සහ රුපියල් 15000 කට නොඅඩු දඩයකට යටත් වරදකි. එහෙත් වකුගඩු ජාවාරම ජයටම සිදුවන්නේය. කෙනෙක් වකුගඩුවක් විකුණන්නේ ව්‍යාපාර ආරම්භ කරන්නට නොවේ. මාලිගා තනන්නට නොවේ. ජීවත්වන්නටය. එහෙත් ජාවාරම්කරුවන් ඩොලර්වලින් විශාල ප්‍රමාණයක් ලබාගනිද්දී වකුගඩු ලබාදෙන අසරණයට ලබා දෙන්නේ සොච්චම් මුදලකි.

වකුගඩුවක් ලබාදුන් පසුව සාමාන්‍ය ආකාරයට ජීවත්වීම ලෙහෙසි පහසු නැත. එය සැබැවින්ම අවදානමකි. සැත්කම පිළිබඳ වගකීමක් නැත. පොතක පතක සඳහන් වන්නේ නැත. ‘සිස්ටම්’ එකකට යන්නේද නැත. ඒ නිසාම හදිසි අර්බුදයකදී රෝහලට ගොස් වෛද්‍යවරයෙකුට ඒ ගැන කියන්නට හැකියාවක් නැත. පොලිස් පොතක පැමිණිල්ලක් ලියන්නට බැරිය. කළ හැකි එකම දේ නිවසට වී හීල්ලීමය. මේ ජාවාරමේ පිළිකුල් සහගතම කාරණය වන්නේ මුදලක් වෙනුවෙන් තම වකුගඩුව ලබාදුන් පසුව ඊටද වංචා කිරීම්ය. ‘වකුගඩු ජාවාරමක්’ මේ රටේ තවමත් තිබෙන බව රට දැනගත්තේ එවැනි වංචාවක් නිසාය. නැත්නම් මේ මොහොත වනවිටත් මේ හිරිකිත ජාවාරම නිස්කාන්සුවේ කරගෙන යන බව සැකයක් නැත.

● වකුගඩු ලෙඩා අමාරුවේ දමන අමනයන්

මෙහිදී සිදුව ඇත්තේ වකුගඩු ලබාදෙන පුද්ගලයාට පමණක් නොව ලබාදෙන පුද්ගලයාටද වංචා කිරීමය. බොහෝ විට එවැනි ජාවාරම්වලදී මෙය සුලබව සිදුවන්නකි. ඒ අදාළ වෛද්‍යවරයා ගැන ඊට සම්බන්ධ අනෙකුත් අය එකතුව කරනු ලබන වංචාවකි. ඒ විවිධ නිධන්ගත රෝගවලින් පෙළෙන අයගේ වකුඩුවක් නිරෝගී වකුගඩුවක් ලෙස විකිණීමය. එම වකුගඩු බද්ධ කිරීමට ලක්වන රෝගියාට එතැනින් පසු දෙවියන්ගේම පිහිටය. මේ ජාවාරමේ එවැනි අධම ක්‍රියා නැතැයි කියන්නට හේතුවක් නැත.

ඊට ආසන්තම සිදුවීම පසුගිය දිනවල අදාළ නඩු විභාගයේදී හෙළිවීම එක් අතකින් දෛවෝපගත සිදුවීමකි.

මේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අදාළ රෝහලේ හිමිකරුවාද මේ වනවිට වකුගඩු අකර්මණ්‍යවීමේ රෝග තත්ත්වයකට පත්ව හිදී. ඔහුට අවශ්‍ය වකුගඩුව බද්ධ කිරීම සඳහා එම රෝහලෙහිම කම්කරු රැකියාවක නිරත සේවකයෙකුගේ වකුගඩුව වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 95ක් දෙන බවට පොරොන්දුවී තිබේ. එම සේවකයාට වකුගඩුව රෝහල් හිමිකරුවා ලබාදී ඇත්තේ ලක්ෂ 10 කටත් අඩු මුදලකි. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ බව අනාවරණය කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාය. දිලීප පීරිස් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම වෛද්‍යවරුන් 1987 අංක 48 දරන මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ පනත මෙන්ම 2006 අංක 16 පනත යටතේ මිනිස් වෙළෙඳාම යටතේද වැරදි සිදුකර ඇති බවය. එමෙන්ම, වකුගඩු පරිත්‍යාග කරන අයට දීමනා නොදෙන බවත්, 1987 අංක 41 මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ පනතේ සඳහන් ආකාරයට දෙපාර්ශවය මුණගස්වා ලිඛිත කැමැත්ත මත වකුගඩුව දිය යුතු බවත් දිලීප පීරිස් මහතා පවසා තිබිණි.

තැන, තැන මිනිසුන් මරාදමන, පාසල් අසළටම ගොස් කුඩු විකුණන රටක් ලවක් දෙවක් නැතිව අවයව විකිණෙන්නට පටන්ගත හොත් මේ රට වැඩිකල් නොගොස් මළ රටක් බවට පත්වෙනු නිසැකය. මේ රටේ වකුගඩු රෝගයද යහමින් තිබෙන බව අමතක කළ හැකි කාරණයක් නොවේ. රජරට වකුගඩු රෝගියකුගේ නිවසට ගොඩවැදී බලන්න. එම නිවසේ සිටින අනෙක් සාමාජිකයන්ද මනසින් දැඩිලෙස රෝගාතුරව සිටින බව දැකගත හැකිය. එසේ වූ රටක මෙවැනි අශිෂ්ට සිදුවීමකට වටපිටාව සෑදී තිබීම
ගැන අප ලජ්ජා විය යුතුය.

අප මුලින් කී පරිදි 2016 වර්ෂයේදී ඉන්දීය පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ මෙැවැනි සැත්කම් 60 කට ආසන්න සිදුවීම් පමණි. සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිට වූ විමර්ශන කමිටුව දියකර හැරිය පසු එදා මෙදාතුර සැත්කම් කිහිපයක් සිදුවූයේ දැයි දන්නේ අදාළ පාර්ශ්වයන් පමණි. මේ වනවිට අදාළ පෞද්ගලික රෝහලෙහි වෛද්‍යවරු පස්දෙනෙකුට සහ තවත් අයෙකුට අතුරු විදේශ ගමන් තහනමක් පනවා තිබේ. විමර්ශන කටයුතු දිගින් දිගටම සිදුවන බව කියැවේ. මේ තරම් විශාල ජාවාරමක් එකී පිරිසට පමණක් මෙහෙයවන්නට හැකියාවක් නැති බව අපේ විශ්වාසයයි. ඊට අනුග්‍රහය දැක්වූ අනුබල දුන් තවත් පිරිස් සිටිය හැකිය. 2016 කමිටුව විසුරුවා හැරියා මෙන් මේ විමර්ශන අතර මග නතර නොවිය යුතුය යන්න අපි විශ්වාස කරමු.

චන්දිම ටයිරසි බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment