අවුරුදු හතරක් නිහඬව හිටපු හිමාලි

326

සෙන්සේෂන් නැවැත්වීම අපරාධයක්….
මට සීමාවන් තිබුණා
….

රටම හඳුනන සෙන්සේෂන් නර්තන කණ්ඩායමේ හිමිකාරිය වන ඇය අද වන විට රටම දන්න රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි පුතකුගේ මවක්. වසර හතරකට පසු නැවත පුංචි තිරය හරහා ඔබේ ආලින්දයට ගොඩවන හිමාලි සිරිවර්ධන මීවිත සමග කළ සංවාදයක සටහනයි මේ.

අවුරුදු හතරක් නිහඬව හිටපු හිමාලි

කාලෙකට පස්සෙ ඔබේ රංගනය දැකගන්න ලැබෙනව?
 

දරුවා ලැබුණට පස්සෙ මම වසර කිහිපයක්ම රඟපෑමෙන් ඉවත් වෙලා හිටිය. ඉන් පස්සෙ මට ලැබුණ ටෙලි නාට්‍යයක් තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ‘ගගන පියවර.. මේ කාලෙකට පස්සෙ මට ලැබුණ හොඳ චරිතයක්. ඒ නිසා හරි ආසාවෙන් සම්බන්ධ වුණා. මේ අතර හිරු ටී වී නාළිකාවේ විකාශනය වන ‘ළංවී. සහ ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘දෙකඩ කඩ. යන නිර්මාණවලටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

දිගු නිහැඬියාවකට පසුව ඔබේ රගනය දකින රසිකයන්ගෙ ප්‍රතිචාර මොන වගේද?
 

ඇත්තටම අවුරුදු හතරක් පමණ වන දිගු කාලයක් පුරා මාව දකින්න නොලැබුණ එක ගැන විවිධ අදහස් පළ වුණා. ඇයි දැන් රඟපාන්නෙ නැත්තෙ කියල ගොඩක් දෙනෙක් අහපු
අවස්ථාත් තිබුණ. ඒ වගේම නර්තනයෙනුත් මාව දකින්න ආසාවෙන් ඉන්න පිරිසක් ඉන්නව. නැවත රංගනයට එකතුවීම ගැන මේ හැම දෙනාගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනව.

අවුරුදු හතරක් නිහඬව හිටපු හිමාලි
අවුරුදු හතරක් නිහඬව හිටපු හිමාලි

මේ චරිත තුන අතරින් ඔබේ කැමැත්ත?

ගගන පියවර නාට්‍යයේ මාලනී කියන චරිතයට මම වඩාත් කැමතියි. ඒක මම ආස කරන රඟපෑමක් තියෙන චරිතයක්.

මේ චරිතයත් ‘සඳගල තැන්න. ටෙලි නාට්‍යයේ චරිතයට සමානයි?

ඔව් අනිවාර්යයෙන්ම. මේ නාට්‍යයේ තියෙන්නෙත් බෙහොම දුප්පත් ගැමි චරිතයක්. ඉතිං මෙතනදි මට සඳගල තැන්නේ චරිතයත් මතක් වුණා.

චරිතය අභියෝගයක් වුණාද?

මෙතනදි මට තියෙනව මී හරක් බලාගන්න. කිරි දොවන්න වගේ දේවල්. ඇත්තටම අපිට ඒ වගේ අත්දැකීම් නැහැනෙ. මී හරක් අපිට හීලෑ නැහැ. එක දර්ශනයකදි මට උන් පන්නාගෙන යන්න තිබුණ. එතනදි මගේ සද්දෙට උන් හුරු නැති නිසා කුලප්පු වෙලා මිනිස්සුන්වත් පෙරළගෙන දිව්ව. ඒ වෙලාවෙ නම් මට බයත් හිතුණ. මේ වගේ දේවල් පොඩි අභියෝගයක් වුණා.

‘දෙකඩ කඩ’ නිර්මාණයේදි සුන්දර අත්දැකීම්වලටත් මුහුණ දුන්නා?

ඇත්තටම අපේ ගෙවල්වල ලොකු වතු නැහැ අතුගාන්න. රූගතකිරීම් අතරතුර මිහිර අයිය තමයි මෙහෙම අතුගාන්න නංගී කියල ඒ දේවල් කියල දුන්නෙ. මේ හැම දේකින්ම අපි දෙයක් ඉගෙනගන්නව. ජීවිතයට අත්දැකීම් එකතු වෙනව.

‘සෙන්සේෂන්. ඔබේ නර්තන කණ්ඩායමට මොකද වුණේ?

පුතා ලැබෙන්න ඉන්න කාලෙම මම නර්තන කණ්ඩායමේ වැඩ නතර කළා. ඒ නැවත  පටන්ගන්න හිතාගෙන. නමුත් රටේ තියෙන තත්ත්වයත් එක්ක නැවත පටන්ගැනීමේ අවස්ථාව ගිලිහිලා ගියා. කොහොම වුණත් ඒ බලාපොරොත්තුව අතහැරල නැහැ.

නැවත ආරම්භ කරන්න කියල රසිකයන්ගෙන් ඉල්ලීම් නැද්ද?

ඇත්තටම නර්තන කණ්ඩායම නතර කරන්න සිදුවීම අපරාධයක්. මේ වන විටත් රසිකයන්ගෙන් ඉල්ලීම් තියෙනව නැවත පටන්ගන්න කියල. ඒ වගේම බොහෝ දෙනෙක් දන්නෙ නැහැ කණ්ඩායම නතර කරල කියල. ඔවුන් ප්‍රසංග වලට ආරාධනා කරනව. අපි දෙයක් කරනව නම් පිළිවෙළකට කරන්න ඕන. පෙර තිබුණ තත්ත්වයෙන්ම නැතිව ඊට වඩා පහළට වැටෙන්න බැහැ. දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක කලින් වගේ කණ්ඩායම පවත්වාගෙන යන්න බැරිවෙන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් බලාගෙන ඉන්නව.

කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

හැමදාමත් ඔහුගෙන් මට නිදහස ලැබුණ. බලපෑම් තිබුණෙ නැහැ. ඔහු දන්නව මම දෙයක් කරන්නෙ තෝරාබේරාගෙන කියල. මගේ සීමාවේ ඉඳගෙන මම මගේ වැඩ ටික කරගෙන ගියා. දැන් ටිකක් හරි නිදහස සීමා වෙන්නෙ පුතාගෙ වැඩකටයුතු නිසා තමයි. ඒ නිසා වෙනදට වඩා කාලය කළමනාකරණය කරගන්න සිදු වෙලා.

නිහඬව ගෙවුණ කාලය තුළ රඟපෑමට ආරාධනා ලැබුණෙ නැද්ද?

රඟපෑමට ආරාධනා ලැබුණ. නමුත් පුතා ලැබුණට පස්සෙ මම ටිකක් මහත් වුණා. ඒ නිසා මම හිතුව ඇඟ හදාගෙනම නැවත රඟපෑමට එකතු වෙනව කියල. ඒකට මම ගොඩක් කාලය ගත්ත සහ මට ඕන වුණා පුතා එක්ක කාලය ගතකරන්න.

ඔබව රූපවාහිනියෙන් දකිනකොට පුතාගෙ ප්‍රතිචාරය මොන වගේද?

එයා ආසයි මාව රූපවාහිනියේ දකිනකොට. නමුත් ඒක පෙන්නන්නෙ නැහැ. ඒ වෙලාවට ටී වී එක දිහා නෙමෙයි” මගේ මූණ දිහා තමයි බලාගෙන ඉන්නෙ. මම ෂූටින් යනවට නම් එයා කැමති නැහැ. හොරෙන් තමයි යන්න වෙන්නෙ. නමුත් පුතා කලාවට කැමතියි වගේ පේනව. රඟපානව” ඩාන්ස් කරනව. ඉදිරියේදි කොහොම වේවිද කියල කියන්න බැහැ.

අලුත් ආරාධනා?

මේ දවස්වල ටෙලිනාට්‍ය වලට තමයි ගොඩක් ආරාධනා ලැබෙන්නෙ. නමුත් තෝරාබේරාගෙන තමයි ආරාධනා භාරගන්නෙ” පුතා වෙනුවෙනුත් මට කාලය වෙන්කරන්න ඕන නිසා. දැනටමත් ටෙලි නාට්‍ය තුනක් විකාශනය වන නිසා ටික කාලෙකින් පස්සෙ තමයි අලුත් නිර්මාණයක් භාරගන්න හිතන්නෙ. මොකද රූගතකිරීම් තියෙන ප්‍රදේශය” වැය වන කාලය වගේ තවත් ගොඩක් දේවල් දැන් හිතන්න වෙලා. ඒ අතර මට විශේෂයි කියල හිතෙන එකක් ලැබුණොත් භාර ගන්නව.

මවක් වීම නිසා චරිත තෝරාගැනීමේදී විශේෂ පරිස්සමක් තියෙනවද?

මවක් වීම නිසා කියල විශේෂ පරිස්සමක් නැහැ. කොහොමත් මගේ සීමාවල් තිබුණ. මම රංගන ශිල්පිනියක්. ඉතිං මට පුළුවන් වෙන්න ඕන මම ආසා කරන චරිතය රඟපාන්න. දරුවට බලපෑමක් වන තරමේ චරිත ටෙලි නාට්‍යවලදි අපිට ලැබෙන්නෙ නැහැනෙ. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කියල හිතෙනව නම් මගේ සීමාව තුළ ඉඳගෙන ඒක භාර ගන්නව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment