අවුරුදු හතරේ දැරියගේ කටට දුම්කොළ ඔබා සැරෙන් සැරේ මුහුණත් වතුරේ ඔබලා නපුරු කුඩම්මා අත්අඩංගුවට

878

වයස අවුරුදු 4ක කුඩා දැරියකට කෲර වධ හිංසා සිදු කරමින් සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

නෑබඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය දැරියගේ පියාගේ දෙවැනි බිරිඳ බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව සෑමදාම මෙම කුඩා දැරියට පහරදීම් හා වධ හිංසා පමුණුවන බවට ලැබුණු තොරතුරකට අනුව අඟුරුවාතොට පොලිසිය වැටලීම සිදු කර ඇත.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති විශාකා ධර්මපාල ඇතුළු නිලධාරීන් දැරිය පදිංචි නිවසට යන විටත් දැරිය නිරුවත්ව හඬමින් සිටි බව පොලිසිය පවසයි.

සැකකාරිය විසින් මෙම දැරියගේ කටට දුම් කොළයක් ඔබා වතුර බඳුනක වරින් වර මුහුණ ඔබා වේවැලකින් පහර දී ඇති බව අනාවරණය වී ඇත. දැරියගේ දඩබ්බර ගතිය නිසා මෙලෙස පහර දුන් බව සැකකාර කාන්තාව පොලිසියට පවසා ඇත.

දැරියගේ මව වෙනත් පුරුෂයකු සමග මීට ටික කලකට පෙර ගොස් ඇත. ඉන් පසු පියා මෙම සැකකාර කාන්තාව සමග ජීවත් වී තිබෙන බව පොලිසිය පවසයි.

දරුවා පොලිසියට රැගෙන එන විටත් කතා කරගත නොහැකිව හා කෙළින් සිට ගැනීමටවත් නොහැකි තරමට මත් ගතියෙන් සිට ඇත. දුම්කොළය කටට එබීමෙන් මත් වී ඇති බව පොලිසිය පවසයි.

දැරිය මිත්තනිය භාරයේ වෛද්‍ය පරික්ෂණයක් සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත. කුඩම්මා ඊයේ (23 දා) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා සහ නිලධාරීහු පරීක්ෂණ කරති.

ගල්පාත-චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment